වර්ෂ 2018 ක්වූ  මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා




පියුමි හංසමාලි එකම දවසක චිත්‍රපට දෙකකින් එකවර තිරයට

පියුමි හංසමාලි එකම දවසක චිත්‍රපට දෙකකින් එකවර තිරයට

අන්තර් ජාලය ඔස්සේ නිතර ආන්දෝලනාත්මක පුවත් මවන්නියක වූ පියුමි හංසමාලි රංගනයෙන් දායක වූ මුල්ම චිත්‍රපට යුගළ මෙම මස එකම දිනයකදී තිරගතවීමට නියමිත බැව් සරසවියට වාර්තා විය.

වස්සානේ සඳ සහ රයිගමයයි ගම්පලයයි එම චිත්‍රපට යුගලයයි. වස්සානේ සඳ උදයකාන්ත වර්ණසූරියගේ අධ්‍යක්ෂණයකි. පියුමි සමඟ අනුජ් රණසිංහ, ඕෂධී හිමාෂා, ඇන්ජලෝ සංජු බාන්ස් යන නව පරපුරේ නළු නිළියන් ඇතුළු රවීන්ද්‍ර රන්දෙණිය, සුවිනීතා වීරසිංහ, ශ්‍රීනාත් මද්දුමගේ, අනුලා කරුණාතිලක, කිරුළ හේරත්, කුමාරි සේනාරත්න, ගිවන්ත අර්ථසාද් මෙහි රංගනයෙන් දායක වෙති.

පියුමි රයිගමයයි ගම්පලයයි සිනමාපටයේ රඟපාන්නේ ගැමි චරිතයක්. එහි සෙසු ප්‍රධාන නළු නිළියන් ලෙස විජේරත්න වරකාගොඩ, ගිරිරාජ් කෞශල්‍ය, කුමාර තිරිමාදුර, රෝහිත මාන්නගේ, ලක්ෂ්මන් අමරසේකර, හේමන්ත ජයලත් රංගනයෙන් දායක වේ. රයිගමයයි ගම්පලයයි සමඟින් තවත් නවක අධ්‍යක්ෂවරයෙක් සිනමාවට එකතු වේ. ඒ ලලිත් ප්‍රේමතිලකයි.

නව සමඟි ක්‍රීඩා සමාජය 10 වැනි වරට සංවිධානය කරන 'සන්ෆලවර් කලර් නයිට්' සංගීත ප්‍රසංගය මේ මස 12 වැනි සෙනසුරාදා රාත්‍රී 9 ට කැස්බෑව නව සමඟි ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

නිරෝෂා විරාජිනි, ෂෙහාන් මිහිරංග, ප්‍රියංකර පෙරේරා, රුවන් හෙට්ටිආරච්චි, අසංග ප්‍රියන්ත, ආත්මා ලියනගේ, චලක චමුපති, ශෂිකා නිසංසලා, නිහාල් නෙල්සන් ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවෝ රැසක් මෙහිදී ගී ගයති.

නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ 'සන්ෆලවර්' වාදක මණ්ඩලය සංගීතය සපයයි. ප්‍රවීණ ගුවන් විදුලි, රූපවාහිනී නිවේදක, රංගන ශිල්පි ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ විචිත්‍ර කථනයෙන් දායක වෙයි.

දේශීය නාට්‍ය කලාවේ ප්‍රගමනය උදෙසා විධිමත් වැඩ පිළිවෙළක් ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සංස්කෘතික හා සුබ සාධන පදනම කටයුතු යොදා ඇත. මේ යටතේ දේශීය නාට්‍යවේදීන්ගේ එකමුතුව නමින් ස්ථාපිත කෙරෙන සංචිතය සඳහා දිවයින පුරා විසිරී සිටින නාට්‍ය කලාවට ලැදි නවක කලාකරුවන් ඒකරාශි කිරීමේ අරමුණ ඇතිව ඔවුන් ලියාපදිංචි කිරීම මේ දිනවල අරඹා ඇත.

ඒ සඳහා අයැදුම්පත් මැයි 15 ට ප්‍රථම වර්ණ ඡායාරූපයක් ද සමඟ පහත ලිපිනයට යොමු කරන ලෙස එම පදනම ඉල්ලීමක් කරයි. ලේකම්, සංස්කෘතික හා සුබසාධන පදනම, දේශීය නාට්‍යවේදීන්ගේ එකමුතුව, අංක 17, පළමු මහල, ජුබිලි වෙළෙඳ සංකීර්ණය, නුවර පාර කෑගල්ල. 0716831112 අංකයට ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.


ජීවන් හඳුන්නෙත්ගෙන් මට පුරුෂයෙක් ඕනෑ

රංජිත් වර්ණකුල රචනා කරන ලද නවතම වේිදිකා නාට්‍යය ජීවන් හඳුන්නෙත්තිගේ අධ්‍යක්ෂණයෙන් 50 වැනි දැක්ම එළඹෙන 13 වැනි දින බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකා ගත කෙරේ. ඒ සවස 3.30 සහ 6.30 ටයි.

ජීවන් හඳුන්නෙත්ති, රින්ස්ලි වීරරත්න, රොෂානා ඔන්ඩච්චි, ජයන්ත අතපත්තු, උදය කුමාරි රණසිංහ, නිලන්ති හීන්දෙනිය රංගනයෙන් දායක වෙති.


වෙරළේ මුහුදු රැල්ලේ

ප්‍රියන්ත ප්‍රනාන්දු සමුගනී

එදා ගායන ලොව දිග්විජය කළ සී. ටී. ප්‍රනාන්දු සළකුණ ඔහුගේ අභාවයෙන් පසු ජනහදට සමීප කළ සී. ටී. ගේ ආදරණීය පුත්‍රයා වූ ප්‍රියන්ත ප්‍රනාන්දු පසුගියදා සදහටම වෙන්ව ගියේය. අකල්හි සී. ටී. වියෝ වුණත් ප්‍රියන්ත නිසා එම අඩුව බොහෝ සෙයින් සපිරුණේ ඔහුගේ ගායන ශෛලිය ද සී. ටී. ට ඉතාම සමීප බැවිනි. පුරා දශක හතළිහකට අධික කාලයක් ගායන ලොව ජය කෙහෙළි නැං වූ ප්‍රියන්ත විදෙස්ගතව සිටියදී හදිසි අසනීපයකට ලක් විය.

එහිදී ප්‍රතිකාර ලබා මෙරටට පැමිණ යළිත් රෝගාතුර වී රෝහල්ගතව සිටියදී හෘදයාබාධයකින් මිය යන විට ඔහුගේ වයස අවුරුදු හැට පහකි. දෙදරු පියකු වූ ඔහු සිය පියාගේ ගීතවලට අමතරව ස්වතන්ත්‍ර ගී තිහකට අධික ප්‍රමාණයක් ගැයීය.

අභාග්‍යකට ඉන් ජනප්‍රිය වූයේ වෙරළේ මුහුදු රැල්ලේ, නිරන්ජලා කාටදෝ (ඉන්ද්‍රානි පෙරේරා සමඟ) වැනි ගීත කිහිපයක් පමණි. ප්‍රියන්තගේ අවසන් කටයුතු ඉකුත් සෙනසුරාදාවේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු විය.


 ශාන්ත සහ මහේෂ් දහවැනි වරට මිතු හා බැඳෙති

ඩිල්ෂාන් පුංචි තිරයේ

පබා, පබළු, අමා, සදා, වරාමලී, මේඝා, රිතු, නෙතු, පිනි ටෙලිනාට්‍යවලින් පසු අපූරු ටෙලි නාට්‍යයක මුහුරත් උලෙළක් පැවැත්විණි. ඒ බෙල්ලන්විල රජ මහා විහාරයේදීය. ඒ නවතම ටෙලි සිතුවම මිතුයි. මෙම ටෙලි නාට්‍ය ස්වාධීන රූපවාහිනි සේවය වෙනුවෙන් අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ශාන්ත සොයිසායි. මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ තිර රචනයකි. මෙම නවතම ටෙලි නාට්‍ය ශාන්ත සොයිසාගේ සහ මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ දහවන ටෙලි වෘත්තාන්තයයි. මිතු ටෙලි නාට්‍යයට දායක වන ප්‍රධාන නළු නිළියන් සහ කාර්මික ශිල්පීන්, ආරාධිත කලාකරුවන් රැසකගේ සහභාගිත්වක් එදින දක්නට ලැබිණි. බෙල්ලන්විල බෝ මළුවේදී පහන්පැලක් තනා මල් පහන් සුවඳ දුම් පුදා සුභ මොහොතින් නවතම ටෙලි සිත්තමේ වැඩ කටයුතු ඇරැඹිණි.

හඳුන්වා දෙන චානුක ප්‍රබුද්ධ මෙහි මියුරු වාසුලමුදලි වෙයි. ශලිනි තාරකා මිතු ප්‍රතාපසිංහ වේ. කලකට පසුව රංගනයට එක්වන මංජුලා තිළිණි ද මිතු ටෙලි නාට්‍යයට එක්වන අතර නිරෝෂන් විජේසිංහ, නයනා කුමාරි, ජයංගනී දික්කුඹුර, වත්සලා දියලගොඩ, සහන් රංවල, චාමර ප්‍රියදර්ශන, ශිරාන් ශාන්ත, ගයාන් මාපලගම, හේෂාන් මල්ලව, චම්පික ප්‍රියදර්ශන, බුද්ධික කළිඳු, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් කෝපි කඩේ රංගනයට එක්වීමෙන් පසු ඔහුගේ දෙවන රංගන දායකත්වය ලෙස මිතුට එක්වීම ද විශේෂත්වයකි. එහි ළමා නළු අභිෂේක් සොයිසා සෙසු නළු නිළියන් අතර වෙති.

මිතු ටෙලි වෘතාන්තයට කැමරකරණයෙන් රොෂාන් පෙරේරා ද සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රසන්න නිරෝෂන් ද, කලා අධ්‍යක්ෂණයෙන් බන්දුල වීරසේකර ද, වේෂ නිරූපණයෙන් අනුර ජයසේකර ද, සංස්කරණයෙන් එල්. ජයකොඩි ද නිෂ්පාදන කළමනාකරණයෙන් වික්ටර් කුරේ ද දායක වේ.