වර්ෂ 2018 ක්වූ  මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමාවේ පිය රජු

සිංහල සිනමාවේ පිය රජු

සුළුපටු නොමැති යුග පුරුෂයො බිහි වූවේ
ලක් මෑණියන්ගේ පිනකට බව කීවේ
මතු දියුණුව පිණිස පෙරමුණ ගෙන ආවේ
පිය රජු ඔබය අප සිංහල සිනමාවේ

සිනමා කලා ලෝකෙට තිබූ අව හිරය
නැති කර දමන්නට ඔබගත් මෙහෙ වරය
බැබැළෙයි අදත් කවදත් ලොකු පොඩි තිරය
ඔබ නැති සොවින් දුක්වන මතු පර පුරය

'ගම්පෙරළියයි' 'රේඛාවයි' 'නිධානය යි
රඟ මඬලෙදි දක්වන ලද විදානය යි
සිනමා ලෝකයේ සක්විති රඳනය යි
කවියයි කලාවයි ඔබ හට සදා ණය යි

චාමර සල සලා හදවත් පණ පෙව්ව
නැග එන කලාකරුවගෙ සරතැස නිව්ව
අවුරුදු අනූ නවයක් කාලය ගෙව්ව
ඔබ වෙන් වුණේ ඇයි රස හසරැළි මැව්ව

සිදුහත් උපත බුදු බව ලැබු වෙසක් දිනේ
පරිනිර්වාණ තෙමඟුල ලද වෙසක් දිනේ
'ලෙස්ටර්' දැයෙන් සමුගන්නා වෙසක් දිනේ
නිවනට යන්න මේ උත්තම වෙසක් දිනේ
 

පත්තඬුවන සිරිවර්ධන

මිනුවන්ගොඩ


සිනමාවේ රන් සලකුණ

නිධානයයි රන්සළුයි සිහල තිරේ
උදානයකි යුගයෙන් යුග රසය පිරේ
දෙලොවක් අතර සිනමා රන් රුවන් පුරේ
කවදත් නැගි ජය දද ලක නිලම් බරේ

රන් සලකුණ ලෙස්ටර් හෙළ සිනමාවේ
නංවා යශෝ ගී සර පෙරටම ආවේ
වෙන් වී ගියත් සදහට සිරි ලංකාවේ
යළි උපදින්න පා මෙත් ගුණ මුදිතාවේ

 

විරාජ් හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය


අඹරින් මැකී ගිය රන් රේඛාවට

සිංහල සිනමාව ලොවට හඳුන්වා දුන්නා
හරවත් සිතුවම් ගණනාවක් සිනමාවට දුන්නා
ඒවා නැරඹුමෙන් අපට සතුටක් ගෙන දුන්නා
අමතක නොවන ලෙස මතකේ රැව් දුන්නා

රේඛාවෙන් ඇරැඹි සිනමාවේ මුල් වරට
ගොළු හදවතක් මවාගෙන පිය නැඟුවේ බැද්දේගමට
අඳුරුයි සිනමා ලොවම ඔබ නැති පාළුවට
පතනෙමු නිවනේ මඟ අපි නිරතුරු ඔබට
 

සෝමා එච්. පතිරණ - කහවත්ත
විජයානන්ද පොඩිනිලමේ - නුගේගොඩ


ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාට

සිංහල සිනමාවක් කෙරේ පුුරෝගාමීව කටයුතු කළ ඔබතුමාගේ නාමය සිනමා වංශ කතාවේ රන් අකුරින් ලියවෙනු ඇත. ඔබ නිවනින් සැනසෙන්නට ඒ පිනම ඇති.

රංජනී අමරසිංහ

වල්පොල


සිනමාව ගොඩනැඟූ පීතෘවරයා

ගොළු හදවත, අවරගිර, රේඛාව, මඩොල්දූව, ගෝඩ් කිංග්, බැද්දේගම, ගම්පෙරළිය, නිධානය, වෑකන්ද වලව්ව, වීර පුරන් අප්පු, රන්සළු, අහසින් පොළවට චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ සැබෑ දේශීය සිනමාවේ පීතෘවරයාණන් වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාට නිවන් සැප ලැබේවා.

බී. ජි. සුමනරත්න

තෙල්දෙනිය


සිනමාවට යෝධයන් බිහි කළ ලෙස්ටර්

කෘතහස්ථ සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමනි, අයාලේ ගිය අපේ සිංහල සිනමාව ජාත්‍යන්තර තලයට ඔසවා තැබුවේ ඔබතුමායි. ආසියාවේ ප්‍රවිණ දක්ෂ සිනමාකරුවන් අතර අද්විතීය ස්ථානයක නම තබා තිබූ ඔබගේ සිනමාකරණය ඉතා උසස් මට්ටමක තිබුණි. සිංහල සිනමාවට ඔබතුමා හඳුන්වා දුන් බොහෝ ශිල්පීන් පසු කලෙක සිංහල සිනමාවේ පතාක යෝධයන් බවට පත් වූ වග සියලු දෙනා දන්නා කරුණකි. එම උසස් රඟපෑම් ඇති ශිල්පීන් හඳුන්වා දීම ගැන ඔබට පැසසිය යුතු කරුණකි. ජාතියේ පිනට උපදින ඔබතුමා වැන්නන්ගේ අභාවය නිසා අඩුවන හිඩැස පිරවීමට කිසි කෙනෙකුට කළ නොහැක්කකි. එය සැමදා හිස්ව පවතීවි. ඔබතුමාට ප්‍රේ්ක්ෂක අපගේ උත්තම ප්‍රණාමය පුදන අතර ඔබට නිවන් සුව පතමු.

අයිලීන් සෝවිස්

රාගම


අපට අහිමි වූ නිධානය!

සිතියමක් අත නැතිවම
සියක් ආයු ලැබ
කටුක අරගල මැද
අලුත් ලොවක් සොයමින්
දුරු නොදුරු රට
අතික්‍රමණය කොට
මෙ මහ පොළොව මත
ඔබ එදා නිධන් කළ නිධානය
ඔබ අද නික්ම ගිය පසු
හද ගැඹෙහි ලා සුරකින්නට
ඉතිරි විද මෙ බිමේ පොඩි ඉඩක්
සිනමාවක් . . .?

නිහාල් ගුණවර්ධන

නුගේගොඩ


ශ්‍රී ලාංකේය සිනමාවේ පුරසඳ බැස යයි

සිංහල සිනමාවේ මහා සිනමාවේදියාණෝ ඔහුය. අපේ සිනමාවට අගනා වටිනා විශිෂ්ට නිර්මාණ රාශියක් දායාද කළ සිනමාවේදියාණෝ ඔහුය. විශිෂ්ට ගණයේ නළු නිළියන් රැසක් අපේ සිනමාවට අපේ ජාතියට දායාද කළ මහා සිනමාවේදියාණෝ ඔහුය. ඔහු ගරු නම්බු, කීර්ති ප්‍රශංසා, විශිෂ්ටත්වය, ශ්‍රේෂ්ඨත්වය, සම්මාන සොයා නොගියේය. ඒ සියල්ලක් ඔහු කරා නිරායාසයෙන්ම පැමිණියේය. ඔහු හා සම කළ හැකි වෙනත් කලාකරුවෙක් මේ පුංචි රටේ සිටියා නම් ඒ නැසීගිය සම්මානනීය ගායන ශිල්පී විශාරද පණ්ඩිත් අමරදේවයන් පමණි. රට, ජාතිය, සිංහල සිනමාව වෙනුවෙන් සදා නොමැකෙන අමිල මෙහෙවරක් ඉටු කළ මහා සිනමාවේදියාණෙනි, ඔබට නිවන් සුව අත්වේවායි පතමි.

ඡ්‍යෝතීර්වේදී

අනුර දේවරාජ

ගලිගමුව


සිනමාවට පාඩුවක්

ආදර්ශවත් සිනමා නිර්මාණ සිනමාවට නැඟූ ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අභාවය මුළු සිනමා කර්මාන්තයටම, රසික අපට සහ ලංකාවට ලොකු පාඩුවකි. ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණෙනි ඔබට නිවන් සුව පතමි.

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය


යළි යළිත් ඔබ පැමිණේවා

ලෝක පූජිත අද්විතීය ලෝක වාර්තා තැබූ ලොවම වසඟ කල සිනමා නිර්මාණ බිහි කළ ලෝකයේ සිටි වැඩිමහල් සිනමාවේදියාණන් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා අද මුළු ලොවම කම්පා කරමින් අප අතරින් සමුගෙන ගොසිනි.

ඔබතුමන්ගේ 99 වන උපන් දිනය වෙනුවෙන් සුමිත්‍රා පීරිස් මැතිනිය දායාද කළ වෛශ්ණාවී චිත්‍රපටය තිරගත කිරීමෙන් සිනමා රසිකයන් ලෙස අපි අපමණ සතුටක් ලැබුවෙමු. සැමගේ අපමණ සෙනෙහස ලබමින් ජීවත් වූ ඔබතුමන් නැවතත් අප අතරම ඉපදී රේඛාව චිත්‍රපටයෙන් සිනමාවේ දොරටු විවර කළා සේම අපේ සිනමාව තව තවත් ලොව බබලවන්න යෝධ ශක්තියක් වේවා.

සෝමරත්න ද සිල්වා

අහුන්ගල්ල


සිනමාවේ පීතෘවරයාණෙනි

හෙළ සිනමාවේ කළුවලාවන් අතරට රිදී 'රේඛාව'ක් එක් කරමින් 'බැද්දේගම' සිලිඳුට 'අක්කර පහ'ක් තෑගි කොට 'දෙලොවක් අතර' සිටි 'පුරන් අප්පු' ට 'නිධානය'ක් ලබාදී 'මඩොල්දූව'ට වී සිටි 'වෛෂ්ණාවි'ට 'රන්සළු' පලඳා ජීවන මඟ නිමා කළ ලාංකේය සිනමාවේ පීතෘවරයාණනි ඔබට නිවන් සුව ලැබේවා.

අත්තනගල්ලේ

විමලසේන හපුතන්ත්‍රි


සිනමා නෞකාවේ හද ගැස්ම නැවතුණි

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කලාකරුවාණන් විශිෂ්්ට ගණයෙහි කලාත්මක සිනමා කෘතීන් නිර්මාණයෙහිලා දක්ෂ වුත් විරල ප්‍රාඥයෙකි. එතෙර මෙතෙර සිනමාව දිනා ලෝ සුපතල ජ්‍යෙෂ්ඨතම සිනමාකරුවා ඔහුය. ඔහු සතු ප්‍රතිභා ප්‍රභාවන් නිබඳව ඇගැයූ සෑම සියලු ජනතාවගේ පරම පැතුම, අපේක්ෂාව වූයේ සියක් ආයු ලැබ දිවි මංගල්‍යයෙහි සැරිසැරීම වුව ද උතුම් වෙසක් පුන් පොහෝ දිනයේදී 'ලෙස්ටර්' නැමැති යෝධ සිනමා නෞකාවේ හදගැස්ම සදහටම නැවතුණි. පිරවිය නොහැකි හිඩැස, කෙදිනක හෝ දැක්මට නොලැබෙන නිර්මාණ පැතිකඩයන් විග්‍රහ කරමින් මෙනෙහි කරමින් සිදු වු පාඩුව කෙලෙසක නම් පිරිමසාලිය හැකිද?

රන්මුතුගල

සරත් ලියනගේ


හෙළ සිනමාවේ පුරෝගාමියාට මොක් සුව!

ශ්‍රී ලංකාවේ සිංහල චිත්‍රපට නිපදවීමට හැකි බව සාර්ථකව ඔප්පු කරමින් 'රේඛාව' නම් චිත්‍රපටයක් මුල්වරට අධ්‍යක්ෂණය කළ ශ්‍රී ලාංකික පුරෝගාමියාට සදා මෝක්ෂ සුවය ලැබේවායි පතමු.

කෑගල්ලේ තටාකය පාරේ

තිලකරත්න විල්වල සහ

මැණිකේ විල්වල


කල සේවය සදා අනුස්මරණීයයි

පසුගියදා දැයෙන් සදහට සමුගත් මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිඳුන් 1956 ආරම්භ කළ සිනමා ගමන තුළ ඔහු විසින් කළ සේවාව සදා අමරණීයයි. මැතිඳුනි ඔබට නිවන් සුව පතමි.

කැලණියේ

දයාරත්න ගනේගොඩ


මොක්සුව පතමු

දකුණු ඉන්දීය ආභාසය ලබා තිබූ ලාංකේය සිනමාව දේශීයකරණය කළ ජීවන රඟමඬලෙන් සමුගෙන ගිය මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට මොක්සුව පතමි.

අතුල රම්‍යසිරි

පානදුර