වර්ෂ 2018 ක්වූ  මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා




මේ මා දැයි මට අදහාගන්නත් බැරිවුණා

මේ මා දැයි මට අදහාගන්නත් බැරිවුණා

සිංහල සිනමාවට පෑයූ පුණ්‍යවන්ත තාරකාව

පල්ලවී සුභාෂ්

හිමයේ ගොසින් මල් යහනක සිටිනවද
කොමල අනගි සිරිපා දෙක රිදෙනවද
හිගේ නැතිව දෙවියෝ මුර කරනවද
මගේ ඇත් රජුනි ඔබ අද කොතැනකද

ඈ සිය හිමි වෙනුවෙන් අනන්ත අප්‍රමාණ දුක් වින්දාය. දීපංකර බුදුන් දවස කළ ප්‍රාර්ථනයෙන් ආත්ම ගණනාවක් පෙරුම් දම් පුරමින් බෝසතාණන් වහන්සේගේ පාද පරිචාරිකාව ලෙසින් පැමිණ බුදු වන ආත්මයෙහි යශෝදරාව වූ ඇය ලෝකයේ පරමාදර්ශී කාන්තා රත්නය බවට පත් වූවාය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අසිරිමත් වෙසඟේ සමස්ත ලංකාවාසීන් වෙනුවෙන් රිදී තිරයට නැඟූයේ මේ පරමාදර්ශී කාන්තා රත්නයේ ප්‍රේමණීය ගමන් මඟයි. ඈ බිම්බා දේවී හෙවත් යශෝදරාවයි.

‘යශෝදරා’ සිනමා නිර්මාණයේ යශෝදරාවගේ චරිත නිරූපණය උදෙසා අති මහත් වූ වාසනා මහිමය ලබන්නේ ඉන්දීය නිළියක වන පල්ලවී සුභාෂ්ය. බුදුන් උපන් දේශය ජන්ම ලාභය කොට ගත් ඈ ‘යශෝදරා’ වෙනුවෙන් මෙරට දිගු කාලයක් ගත කළාය. එසේම පසුගිය දිනක පැවති එකී සමාරම්භක අවස්ථාව සඳහා ද ඇය මෙරටට පැමිණ සිටියාය. සමාරම්භක මොහොතේ සිට ඈ වෙත ගලා ආ ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් පිළිබඳ ඈ සිටියේ මහත් බලාපොරොත්තු සහගතවය.

‘යශෝදරා චිත්‍රපටයේ රෑගත කිරිම් ඉවර වෙලා මම මගේ මවු රටට ගියා. ඊට පස්සේ චිත්‍රපටය මට නරඹන්න ලැබුණු පළවෙනි අවස්ථාව තමයි මේ සමාරම්භක මොහොත. ඇත්තටම මටම හිතාගන්න බැරි වුණා මේ ඉන්නේ මමද කියලා. නරඹපු බොහොමයක් දෙනා මගේ රංගනය පිළිබඳ සතුටින් කතා කළා. මට අති විශාල සතුටක් තිබෙනවා මේ චිත්‍රපටයට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳ.’

පල්ලවී ජීවය දෙනුයේ ශ්‍රී සම්බුද්ධත්ව චරිතාපදානයේදී අපට හමුවන සුවිශේෂීම වූ කාන්තා චරිතයකටය. බුද්ධ චරිතයේ අප හඳුනා ගත් සේම හඳුනා නොගත් කාන්තා චරිත අනේකවිධ ප්‍රමාණයක් ඇතත් ඒ අතරින් බෝසතානන් වහන්සේ ඇති දැඩි කළ මහා ප්‍රජාපතී ගෝතමියත්, සිද්ධාර්ථ ගෞතමයාණන්ගේ ප්‍රිය බිරිය යශෝදරාවනුත් සුවිශේෂීය. සුවහසක් ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අති ගෞරවයට පාත්‍ර වූ යශෝදරා චරිතය රිදී තිරයේ ප්‍රතිනිර්මාණය සැබැවින්ම අභියෝගාත්මක කාර්යයකි. ඒ අභියෝගය බාර ගත්තී පල්ලවීය.

‘යශෝදරා චරිතය පිළිබඳ මුලින් මට නිසි අවබෝධයක් තිබුණේ නෑ. බුදුන් උපන් දේශයේ ඉපදුණාට මම හින්දු ආගම අදහන්නියක්. ඒත් සුනිල් සර් මුණ ගැහිලා මේ චරිතය පිළිබඳ විස්තර කලාට පස්සේ මම ඒ චරිතය වෙනුවෙන් සුදානම් වෙන්න පටන් ගත්තා. ඒ පිළිබඳ ලියවුණු පොත් කිහිපයකුත් මම කියවන්න පටන් ගත්තා.

මේ සියල්ලටම වඩා ‘යශෝදරා’ නිරූපණය කරන්න මට ප්‍රධාන උපකාරකයා වුණේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස්. මම දින ගණනාවක් වැඩමුළු සඳහා සම්බන්ධ වුණා. විවිධ ක්‍රියාකාරකම් කළා. චරිතය පිළිබඳ සුනිල් සර් දුන් උපදෙස් හොඳින් පිළිපැද්දා. මට හිතෙනවා චරිත නිරූපණය සාර්ථක වුණා නම් ඒකට ප්‍රධාන හේතුව අධ්‍යක්ෂවරයා මාව මෙහෙයවපු ආකාරය කියලා.’

පල්ලවී ලාංකේය සිනමාපටයක රංගනයට එක්වන මුල්ම අවස්ථාව යශෝදරාය. ඉන් ඉහත ඈ මරාති, කණ්නඩ, මලයාලම්, දෙමළ, තෙලිඟු වැනි චිත්‍රපට 23 කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇත.

ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපන් ඈ එරට වඩාත් ප්‍රචලිත වූයේ නිරූපණ ශිල්පිණියක හා වෙළඳ දැන්වීම් නිරූපණ ශිල්පණියක වශයෙනි. කුඩා කාලයේ පටන්ම කලාව කෙරෙහි ආසක්තව කටයුතු කළ ඇය සිය කලා දිවිය අරඹා ඇත්තේ මරාති නාට්‍යවලිනි.

පසුකාලිනව ඇය චිත්‍රපට හා ටෙලිවිෂන් මාධ්‍යයට ද ඉන්පසු හින්දි ටෙලි විෂනයට ද අවතීර්ණ වූවාය. සිය ජිවිතයේ තමන් විවිධ භාෂාවලින් යුත් නිර්මාණ රැසකට දායකත්වය දුන්නියක වශයෙන් ‘යශෝදරා’ චරිතයට ඈ බෙහෙවින් පෙම් බඳින්නීය.

‘සිංහල භාෂාව පිළිබඳ මට කිසි අවබෝධයක් නොමැති වුණාට සුනිල් සර් යශෝදරාගේ චරිතයේ සුවිශේෂිත්වය මට ඉතාම හොඳින් පැහැදිලි කරලා දුන්නා. චිත්‍රපටය රූගත වුණ සෑම මොහොතකම හැම දර්ශනයකදීම ඒ ඒ රූප රාමුවේ තිබිය යුතු හැඟීම් ඔහු මට විස්තර කළා.

ඒක කොයිතරම් හොඳට මම අවබෝධ කරගත්ත ද කියනවා නම් අඬන දර්ශනවලට මට ග්ලිසරින් පාවිච්චි කරන්න ඕන වුණේ නැහැ. යශෝදරාගේ චරිතයට ඕන කරන හැඟීම් මට ඉබේම ඇති වෙන්න පටන් ගත්තා. මගේ සිනමා ජීවිතේ මම ගොඩාක් අත්දැකීම් මේ චිත්‍රපටය නිසා එකතු කර ගත්තා.

රූගත කිරීම් ඉවර වෙන තුරුම අපි ඔක්කොම හිටියේ හරියට එක පවුලක් වගේ. මට මතක හැටියට මම දවස් 45 ක් මේ වෙනුවෙන් ලංකාවේ හිටියා. චිත්‍රපටයට උපරිම දායකත්වය පිරිනැමුවා වගේම අපි හරිම සතුටින් ඒ කාලය ගත කළා. ඒ දවස් ටිකේ හරියට චොක්ලට් කන්නත් ලැබුණා.

පල්ලවී ඉන්දියානු සිනමාවේ චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූවෙකි. (Kunku Zale Vairi, Aaila Re, Tuza MaZa Jamena, Polisachi Bayko, Saga Soyre, No Problem, Chakravyuha, Premsutra, Asa Me Ashi Tee, Dhava Dhava Khun Khun Om, Happy Journey,Naruda Donoruda, Rascalවැනි චිත්‍රපට ඒ අතර වේ.

අධිරජ ධර්මාශෝක නම් ටෙලිවිෂන් නාට්‍යයේ ද ඇය රංගනයට එක්වන බැවින් බෞද්ධාගම පිළිබඳ යම් දැැනුමක් ඇය සතුයි. බෞද්ධාගම පිළිබඳ ඇය දන්නා දේ පිළිබඳ කළ විමසුමකදී ඇය කියා සිටියේ අධිරජ ධර්මාශෝක වැලඳ ගන්නා ධර්මය නේදැයි කියාය.

‘ලංකාවට මම ආසයි. ලංකාව හරි ලස්සන රටක්. පහුගිය රූගත කිරිම්වලට ආවම නුවරඑළිය, ගාල්ල වගේ තැන්වල මට ඇවිදින්න යන්න පුළුවන් වුණා. ලංකාවේ කැන්ඩියන් සාරි එකට මම හරි ආසයි. මගේ සිනමා ජීවිතේට මේක ලොකු අත්දැකීමක්.

නැවතත් මෙවැනි අභියෝගාත්මක චරිතයක් ලැබුණෙත් මම කරන්න සූදානම්. යශෝදරා චිත්‍රපටයේ සිද්ධාර්ථගේ චරිතය නිරූපණය කළෙත් ඉන්දියානු නළුවෙක්. අපි දෙන්නා අතරේ හොඳ අවබෝධයක් ගොඩ නඟා ගන්න පුළුවන් වුණා. ඇත්තටම චිත්‍රපටය නරඹන තුරු මටත් හිතාගන්න බැරි වුණා මේක මේ තරම් ලස්සන ඇති කියලා. මේ ඉන්නේ මම ද කියලත් වෙලාවකට මට හිතුණා’.