වර්ෂ 2018 ක්වූ  මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා




ලිංගික අපචාරවලට එරෙහිව මෙවර ‘කාන්’ අවි ගනිති

ලිංගික අපචාරවලට එරෙහිව මෙවර ‘කාන්’ අවි ගනිති

ලොව සිනමා උලෙළ අතර වඩාත්ම වැදගත් සිනමා උළෙලක් ලෙස සැළකෙන ප්‍රංශයේ කාන් සිනමා උලෙළ පසුගිය 08 වැනිදා උත්සවශ්‍රීයෙන් ආරම්භ කෙරුණා. යුරෝපයේ සුන්දරතම සිනමා උළෙල ලෙසින් නම් ලබා ඇති එහිදී විශිෂ්ටතම සිනමා නිර්මාණය සඳහා පිරිනැමෙන පැල්මාදෝ සම්මානය වෙනුවෙන් තරග කිරීමට මෙවර ප්‍රංශය, ජපානය, චීනය, දකුණු කොරියාව, ලෙබනනය, එක්සත් රාජධානිය, පෝලන්තය, ඉතාලිය, ස්පාඤ්ඤය, කසකස්තානය, රුසියාව, ඉරානය, තුර්කිය සහ ඊජිප්තුව නියෝජනය කරමින් චිත්‍රපට 21ක් සුදුසුකම් ලබා ගෙන සිටිනවා.

මැයි 08 වැනිදා සිට මැයි 19 වැනිදා දක්වා ප්‍රංශයේ කාන්හිදී පැවැත්වෙන 71 වැනි කාන් සිනමා උලෙළෙ ආරම්භ කෙරෙන්නේ, අශ්ගාර් ෆර්හාදි විසින් අධ්‍යක්ෂණය කෙරුණු මනෝමය ත්‍රාසජනක කතා පුවතක් ගෙන එන Everybody Knows (Todos lo saben)  චිත්‍රපටයෙනි. මැයි 19 වැනිදා කාන් සිනමා උලෙළ නිමාවට පත් කිරීමට නියමිතව තිබෙන්නේ ටෙරි ගිලියම් විසින් අධ්‍යක්ෂණය කෙරුණු The Man Who Killed Don Quixote චිත්‍රපටයෙනි. මෙවර සිනමා උලෙළේ දැන්වීම් පත්‍රිකාව හැඩ වී තිබෙන්නේ ප්‍රංශ නවරැල්ලේ චිත්‍රපටයක් වන ශාන් ලූක් ගොඩාර්ඩ් විසින් අධ්‍යක්ෂණය කර 1965 වසරේ තිරගත කෙරුණු Pierrot le Fou (Pierrot the madman) චිත්‍රපටයේ පෝස්ටරයෙනි. මෙවර ජූරියේ සභාපති ලෙසින් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියානු ජාතික සම්මානනීය නිළි කේට් බ්ලාන්ෂේ විසිනි. ලොව විශිෂ්ටතම අධ්‍යක්ෂකවරයෙකු වූ ස්ටැන්ලි කුබ්‍රික් විසින් අධ්‍යක්ෂණය කළ 2001: A Space Odyssey  චිත්‍රපටයේ පනස් වැනි සංවත්සරය සමරමින් මෙවර කාන් සිනමා උලෙළේ දී එය නැවතත් තිරගත කිරීමට නියමිතයි.

කාන් සිනමා උලෙළ කාලයක පටන් කාන්තා නියෝජනය පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබූ සිනමා උලෙළක් ලෙසත් කතාබහට ලක් වී තිබෙනවා. පසුගිය වසරේ 70 වැනි කාන් සිනමා උලෙළේදී චිත්‍රපටවල කාන්තා චරිත කොපමණ තිබේ ද යන්න බලා ලකුණු ලබා දීමක් සිදු කෙරුණු අතර එහිදී සිනමාව යනු ගැහැනු - පිරිමි භේදයක් හෝ රටක් හෝ සීමාවක් නොමැති දෙයක් බවට ඇතැමෙක් චෝදනා කර සිටියා. කෙසේ නමුත් ජූරියේ අදහස වුයේ, රංගනය කෙරෙහි කාන්තාවන් ධෛර්යවත් කරවීම එයට හේතුව බවයි. මෙවර කාන් සිනමා උලෙළේ අධ්‍යක්ෂවරියන්ගේ දායකත්වය ඉතාමක් සතුටුදායක මට්ටමකින් සිදු වී ඇති බව වාර්තා වෙනවා.

පරිණත මෙන්ම නවක අධ්‍යක්ෂවරියන් 20 දෙනෙකුගේ පමණ දායකත්වයක් මෙවර කාන් සිනමා උලෙළේ කැපී පෙනෙන අතර කාන්තා චරිත මූලික කරගෙන නිර්මාණ කෙරුණු සිනමා නිර්මාණ ද ඒ අතර වන බව කාන් සිනමා උලෙළේ තොරතුරු ගෙන එනවා. විදෙස් මාධ්‍ය එය වාර්තා කර සිටින්නේ කාන්තාවන් සිය සටන ආරම්භකර ඇති බව සඳහන් කරමින්. මෙවර උලෙළේ තරගකාරී අංශයට සුදුසුකම් ලබා සිටින Girls of the Sun  ඉභද චිත්‍රපටය එවා හුසේන්ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය යි. බලය පිළිබඳ ඓතිහාසික සටන්වලදී පුරුෂ පාර්ශවයේ දායකත්වය මූලික වුවත් කාන්තාව පිළිබඳවද නව මානයකින් බැලීමට මඟ පෙන්වන චිත්‍රපටයක් ලෙස මෙය විචාරක අවධානයට ලක් වී ඇත. උද Un Certain Regard අංශයට ඉන්දියාව නියෝජනය කරමින් නන්දිතා දාස් අධ්‍යක්ෂණය කළ Manto චිත්‍රපටයද ඇතුළත් වී තිබේ. නිළියක මෙන්ම අධ්‍යක්ෂිකාවකද ලෙසින් ඉන්දීය සිනමාවේ සුවිශේෂ ස්ථානයක් හිමි නන්දිතා දාස් මීට පෙර දෙවරක් කාන් සිනමා උලෙළේ ජූරිය නියෝජනය කර තිබෙනවා. ඉන්දු - පකිස්තාන විශිෂ්ට ලේඛකයකු වන සාදත් හසන් මාන්තෝගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වී ඇති මෙහි මාන්තෝගේ චරිතයට පණ පොවන්නේ නවසුදීන් සිද්දික් විසිනි.

පසුගිය වසරේ අගභාගයේදී ඇමෙරිකානු චිත්‍රපට නිෂ්පාදකවරයකු සහ අධ්‍යක්ෂවරයකු වන හාවී වින්ස්ටන්ට එරෙහිව පැතිරී ගිය අපවාද චෝදනා හොලිවුඩයම දෙවනත් කරන්නට සමත් වුණා. මේ සමඟින් ලෝක සිනමා ක්ෂේත්‍රය ඇතුලුව අනෙකුත් රැකියා ස්ථානයන්හි සිදුවන ලිංගික අපචාර සිදුවීම්වලට එරෙහිව නැඟි සිටීමට උපකාර කිරීම අරමුණු කොටගෙන රංගන ශිල්පිනියන්, අධ්‍යක්ෂවරියන් සහ ලේඛිකාවන් විශාල පිරිසකගේ දායකත්වයෙන් 'ටයිම්ස් අප්' නමින් ව්‍යාපෘතියක් ද ආරම්භ කෙරුණා. එයට සහය පළ කිරීම පිණිස පසුගිය ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළෙට බොහොමයක් රංගන ශිල්පිනියන් පැමිණියේ කළු පැහැති ඇඳුමින් සැරසීගෙනයි. මෙවර කාන් සිනමා උලෙළෙ ද ලිංගික අපචාරවලට එරෙහිව විශේෂ වැඩපිළිවෙලක් දියත්කර තිබෙනවා. කාන් සිනමා උලෙළේ සංවිධායකයන් ද අපචාර සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති අතර සම්මාන උලෙළ පැවැත්වෙන මැයි 8 වැනිදා සිට 19 වැනිදා දක්වා ලිංගික අපයෝජන දැනුම්දීම වෙනුවෙන් ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක්ද ක්‍රියාත්මකයි. කාන් සිනමා උලෙළේ සංවිධායකයන් පවසන්නේ, සිනමා ක්ෂේත්‍රයේ කටයුතු කරන කාන්තාවන් වෙනුවෙන් මෙම සේවාව ආරම්භ කළ බවයි.

එසේම මෙවර කාන් සිනමා උලෙළේදී පෙර සම්ප්‍රදායන් වෙනස් කරමින් නව නිතී හඳුන්වා දීමටද කටයුතු යොදා තිබෙන බව සංවිධායක මණ්ඩලය දැනුම් දී තිබෙනවා. ඒ අනුව මීට පෙර මෙන් පස්වරුවේදී මංගල දර්ශන පැවැත්වෙන චිත්‍රපටවල මාධ්‍ය දර්ශන පෙරවරුවේ නොපැවැත්වෙනු ඇති. ඩිජිටල් මාධ්‍ය ඉතා වේගවත්වීම මෙම තීරණය ගැනීමට ප්‍රධානතම හේතුව බව කාන් සිනමා උලෙළේ අධ්‍යක්ෂ පවසා සිටිනවා.

කාන් සිනමා උලෙළේ බොලිවුඩ් දායකත්වය වෙනුවෙන් ඓශ්වර්යා රායි බච්චන්, සෝනම් කපූර්, දීපිකා පදුකොන් සහ කන්ගනා රනවුත් මීට පෙර කාන් සිනමා උලෙළේ රතු පලසේ කැපී පෙනුන බොලිඩුඩ් තරු වෙනවා. මෙවර ඔවුන් සමඟින් තවත් පාකිස්තාන යොවුන් තරුවකට ද අවස්ථාව ලැබී තිබෙනවා. ඇය මහිරා ඛාන්. 2011 වසරේදී Bol පාකිස්තාන චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය පසුගිය වසරේදී ශාරුක් ඛාන් සමඟින් Raees චිත්‍රපටයට දායක වෙමින් බොලිවුඩයටද පැමිණියා.