වර්ෂ 2018 ක්වූ  මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා




25 වසරක සැමරුම දා නුර්තිය පණ ලබයි

25 වසරක සැමරුම දා නුර්තිය පණ ලබයි

ඇය විමලා කාන්තාය. ගර්ට්රූඩ් මාග්‍රට් වෙල්බිඩර් නමින් ජනිතව ජාතික සංස්කෘතියට අනුව විමලා කාන්තා නමින් හෙළ කලාවට පිවිසි ඇය දක්ෂ නිළියක් වාගේම ගායිකාවක් ද වූවාය. හෙළ කලාවේ ප්‍රවර්ධනයට පමණක් නොව සංගීත ක්ෂේත්‍රයේ විපුල කීර්තියක් රට තුළ ජනිත කිරීමට ද හේතු විය.

ලංකාවේ එකම පවුලක දූ දරුවන් පිරිසක් මේ අන්දමේ විවිධ කුසලතා ඇති ශිල්පීන් බවට පත් කිරීමට ඇය ලද සුවිශේෂී භාග්‍යයකි. විමලා කාන්තා කලාවට දැක් වූ ඇල්මත්, ගෞරවයත්, කැපවීමත් ඒ තුළින් පිළිබිඹු වේ.

තම දරුවන් කුඩා කල සිටම ආගම ධර්මය තුළ මනා ශික්ෂණයක් ලබා දි විවිධ කලාවන්ගෙන් ඔවුන්ගේ ජීවිත පෝෂණයටත් සුන්දරත්වයටත් පත්කර තැබීම ඇගේ අරමුණ හා අධිෂ්ඨානය වූයේය. ඒ දරුවන් ද ඕනෑම කලාවක් ග්‍රහණය කර ගැනීමට පුළුවන් අන්දමේ කාය ශක්තියක් හා කර්ණ ශක්තියක් ජන්මයෙන්ම උරුම කරගෙන සිටියේය. එනිසා එකිනෙකාට නොදෙවැනි දක්ෂතාවයන්ගෙන් පිරිපුන් තම කුසලතාවයන් පවත්වාගෙන කලා ලොවේ ජය කෙහෙළි නංවමින් ඒ හැම ජාතික මෙහෙවරකම යෙදී සිටිති.

රටේ ජාතියේ අවශ්‍යතාවය මැනවින් විමර්ශනය කොට වටහාගත් විමල් කාන්තා තම ජ්‍යෙෂ්ඨ පුතණුවන් ධර්මසිරි තබලා වාදනයේ සුවිශේෂී දක්ෂතාවක් ඇති ශිල්පියකු බවට පත් කොට සංගීත ආචාර්යවරයකු කළාය. ජ්‍යෙෂ්ඨ දියණිය සුජාතා අත්තනායක දෙස විදෙස් පතළ කීර්තියක් දිනූ ගායිකාවක් හා සංගීතවේදිනියක් බවට පත් කළ අතර ඇය අධ්‍යාපන අධ්‍යක්ෂිකාවක් ද වුවාය.

සිංහල සිනමාව ආක්‍රමණය කරමින් දකුණු ඉන්දියානු ගායිකාවන්ගෙන් සිංහල චිත්‍රපට පසුබිම් ගායනය රැකගත්තේ සුජාතා අත්තනායකගේ මිහිරි හඬ ඒ වෙනුවට ආදේශ කිරීම තුළිණි. තුන්වැනියා වූ ෆ්ලෝරා දේවි වේදිකාව පමණක් නොව සිනමාව, ගීතය, ගුවන් විදුලිය ද ස්පර්ශ කිරීමට සමත් වූ ශිල්පිනියක් විය.

කනිෂ්ඨ දියණිය රංජනී නර්තනයටත් ගායනයටත් එකසේ සමත් ශිල්පිනියන් වූවාය. ඇය නර්තන ගුරුවරියක් ද, ගුරු උපදේශිකාවක් ද විය. දක්ෂ ඩ්‍රම්ස් වාදකයකු වූ සුසිල් අද කාගෙත් කතාබහට ලක් වන්නේ ඩ්‍රම්ස් වාදකයකු පමණක් නොව දක්ෂ රංගන ශිල්පියකු ද, කණ්ඩායම් සංගීත ශිල්පියෙකි. ටවර් හෝල් විකට නළුවෙකි.

මේ සියලු දෙනා එක්ව පවුලේ හැකියාව ද එකතු කරගෙන පසුගිය දින ලලිත කලා මාතා විමලා කාන්තා 25 වන අනුස්මරණ මාතා උපහාර නුර්ති ගිී ප්‍රසංගය ටවර් හෝල් රංග ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා ආධුනික හා ප්‍රවීණ ශිල්පීන් රැසකගේ සහභාගිත්වය එම ප්‍රසංගයේදී දැකගන්නට හැකිවිණි. විමලා කාන්තා මාතාව ටවර් හෝල් යුගයේ කළ මෙහෙවර එදින නැවත නැවත ඉස්මතු වීම පැමිණි ප්‍රේක්ෂකයන් අතීතයට ගෙන යන්නට සමත් විය. මේ එම නුර්ති ප්‍රසංගයේ විශේෂ අවස්ථා අප සරසවිය සටහන් කර ගත් අයුරුයි.