වර්ෂ 2018 ක්වූ  මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා




වැඩියෙන්ම වියදම් කළ අලුත් ඇවෙන්ජර්ස්

ඇන්තනි රූසෝ හා ජෝ රූසෝ අධ්‍යක්ෂණයක්

වැඩියෙන්ම වියදම් කළ අලුත් ඇවෙන්ජර්ස්

සිනමා ලෝකයේ ඉහළ ජනප්‍රියත්වයක් ළඟා කරගෙන සිටින මාවල් සිනමා විශ්වයේ සුපිරි වීරයන් වන අයන් මෑන්, කැප්ටන් අමෙරිකා, තෝර්, හල්ක්, ස්පයිඩර් මෑන්, බ්ලැක් පැන්තර්ගේ වික්‍රමයන් දෙස කවුරුත් බලා සිටින්නේ නොඉවසිල්ලෙන්.

ලෝකයේ කතාබහට ලක් වූ මෙම වීරයන් දැන් නැවතත් රිදී තිරයට ඇවිත්. ඇවෙන්ජර්ස් චරිත සහ ගාඩියන්ස් ඔෆ් ද ගැලක්සි චරිත එක්වන අපූරුතම අවස්ථාවක් ලෙසත් එය හඳුන්වා දෙන්න පුළුවන්.

මාවල් සිනමා විශ්වයේ සුපිරි වීරයන්ගේ වික්‍රමයන් ගෙන එන සුපිරි වීර චිත්‍රපට 22ක් ප්‍රේක්ෂකයින් වෙත ගෙන ඒමට මාවල් ස්ටුඩියෝස් ආයතනය සැලසුම්කර ඇති අතර ඒ අතරින් සිනමා නිර්මාණ 18ක් මේ වන විටත් රිදී තිරයේ දිග හැරී අවසන්.

අයන් මෑන් ත්‍රිත්වය (2008, 2010, 2013), දි ඉන්ක්‍රඩිබල් හල්ක් (2008), තෝර් (2011), කැප්ටන් ඇමෙරිකා : ද ෆස්ට් ඇවේන්ජර් (2011), මාවල්ස් : දි ඇවෙන්ජර්ස් (2012), තෝර් : ද ඩාර්ක් වර්ල්ඩ් (2013), කැප්ටන් ඇමෙරිකා : ද වින්ටර් සෝල්ජර් (2014), ගාඩියන්ස් ඔෆ් ද ගැලක්සි (2014), ඇවෙන්ජර්ස් : ඒජ් ඔෆ් අල්ට්‍රන් (2012), සහ ඈන්ට් මෑන් (2015), කැප්ටන් අමෙරිකා : සිවිල් වෝ (2016), මොක්ටර් ස්ට්‍රේන්ජ් (2016), ගාර්ඩියන්ස් ඔෆ් ද ගැලැක්සි - 2 (2017), ස්පයිඩර් මෑන් : හෝම්කමින් (2017), තෝර් : රැන්ග්රොක් (2017) සහ මේ වසරේ පෙබරවාරි 16 වැනිදා සිට මෙම එකතුවට බ්ලැක් පැන්තර් (Black Panther) ද එක් වුණා.

මාවල් සිනමා විශ්වයේ 19 වැනි චිත්‍රපටය සේම ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටය ලෙසත් ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ මෙම චිත්‍රපට ගොන්නට එක් වන නවතම චිත්‍රපටය යි.

පසුගිය අප්‍රේල් 27 වැනිදා සිට ලොවපුරා තිරගත කිරීම ඇරඹි ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, ඇන්තනි රූසෝ හා ජෝ රූසෝ සොයුරන් විසින්. මෙම චිත්‍රපටය ඉන්ෆිනිටි වෝ පලමු කොටස වන අතර දෙවැන්න ලබන 2019 වසරේ මැයි 3 වැනිදා එලිදැක්වීමට නියමිතයි.

ඇවෙන්ජර්ස් කණ්ඩායමේ විසිර යාමත් සමඟින් පිටසක්වල අඳුරු කලාපයක බලය පතුරුවාගෙන සිටින තානෝස්හට සිය බලය පතුරුවා ගැනීමට යම් තරමක පහසු තත්ත්වයක් උදාවීමත් සමඟ විශ්වයේ බලසම්පන්නතම වස්තූන් වන අපිරිමිත පාෂාණ (Infinity Stones) හය තමා සතුකර ගැනීම තානෝස්ගේ එකම අරමුණ බවට පත් වේ.

විශ්වය ආරම්භයේ සිටම වසර දහස් ගණනක් පුරා ඒ පිළිබඳ විවිධ අංශ සමඟින් බැඳී විශාල බලවත් වස්තූන් ලෙස පිළිගැනෙන මෙම සෑම අපිරිමිත පාෂාණයකටම ආවේණික වූ අසහාය බලයක් ඇති අතර ජනප්‍රවාදයේ එන පරිදි අපිරිමිත පාෂාණ තමන් සතුකර ගන්නා පුද්ගලයාට විශ්වයේම බලය හිමිවේ.

බල තණ්හාවෙන් වියරු වැටී සිටින තානෝස් අපිරිමිත පාෂාණ තමන් සතුකර ගැනීම සඳහා දියත් කරන දැවැන්ත මෙහෙයුමත්, එය අසාර්ථක කිරීම සඳහා ඇවෙන්ජර්ස් කණ්ඩායම හා අභ්‍යවකාශ වීරයන් වන ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි කණ්ඩායම එක්ව සිදුකරන සටනත් ඉන්ෆිනිටි වෝ චිත්‍රපටයේ මුල් කොටසේදී අපට දැක ගන්න ලැබෙනවා.

ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ නිර්මාණය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 300–400ත් අතර මුදලක් වැය වී ඇති බව වාර්තා වෙනවා.එය මාවල් සිනමා විශ්වයේ මෙතෙක් අධිකම පිරිවැයක් දරා නිර්මාණය කළ චිත්‍රපටය සේම ලොව වැඩිම පිරිවැයක් දරා නිපදවන ලද චිත්‍රපට ලැයිස්තුවේ ද ඉහළම ස්ථානයක් හිමි වනු ඇති බවත් හොලිවුඩ් ආරංචි ගෙන එනවා. මාවල් සිනමා විශ්වයේ ඇවෙන්ජර්ස් සහ ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි සුපිරිවීරයක් එකට එක්වන චිත්‍රපටයක් ලෙසත් ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ විශේෂයි.

ඒ වෙනුවෙන් රොබර්ට් ඩව්නි ජූනියර්, ක්‍රිස් හෙම්ස්වර්ත්, මාර්ක් රුෆොලෝ, ක්‍රිස් එවන්ස්, ස්කාර්ලට් ජොහැන්සන්, බෙනඩික්ට් කුම්බර්බැචි, චැඩ්වික් බොස්මන්, ටොම් හෝලන්ඩ්, එලිසබෙත් සල්සන්, සෙබස්තියන් ස්ටැන්, වින් ඩීසල්, සෝ සල්ඩානා, බ්‍රැඩ්ලි කූපර්, ජෝෂ් බ්‍රෝලින්, ක්‍රිස් පැට් ඇතුළුව ඇවෙන්ජර්ස් සහ ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි සුපුරුදු චරිත සමඟින් ඔබට හමුවට එනවා. 2012 වසරේදී ඇවෙන්ජර්ස් චිත්‍රපටවල සංගීත නිර්මාණය කළ ඇලන් සිල්වෙස්ට්‍රි මේ වෙනුවෙන්ද සංගීත අධ්‍යක්ෂණය කළා.

මාවල් ස්ටුඩියෝස් මේ වසර ආරම්භය සමඟින් තිරගත කෙරුණු Black Panther චිත්‍රපටය ආදායම් වාර්තා සමඟින් අති සාර්ථක ලෙස තිරගත කෙරුණා. අනතුරුව රිදී තිරයට පැමිණි ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ චිත්‍රපටයද අනෙකුත් ඇවෙන්ජර්ස් චිත්‍රපට සේම සාර්ථකත්වයක් ලබාගනු ඇති බව හොලිවුඩ් ආරංචි මාර්ග ගෙන එනවා. මේ වන විට IMDb දර්ශකයේ එයට 9.5/10ක මනාපයක් හිමි වී තිබෙනවා.