වර්ෂ 2018 ක්වූ  මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා




කුසල් නිසා කුසල්

කුසල් නිසා කුසල්

කලාකරුවන් අතින් සිදුවන විරල සිදුවීම් ගැන මේ ඉඩකඩෙහි නිරන්තරයෙන් පළ වෙනවා. ඇතැම් ඒවා අගය කළ යුතු කටයුතු වන අතර ඉන් සමහර සිදුවීම්වල ඇත්තේ උපහාසයක්ම පමණයි. ඒත් මේ අර්ජුන කමලනාත්ගේ සිදුවීම පළමු ගණයට වැටෙන්නක්. ඒ කියන්නේ අගය කළ යුත්තකි. කුසල් සිනමාපටය තිරගතවන කාලේ තමයි මේක වුණේ. සුපුරුදු පරිදි අර්ජුන චිත්‍රපටය තිරගත වෙද්දී චිත්‍රපට ශලා ගානේ ගියේ එහි සාර්ථකත්වය ගැන සොයා බැලීමටයි. ඔහොම යද්දී එක්තරා චිත්‍රපට ශාලාවක ලොබියේ වයසක ජෝඩුවක් වාඩි වෙලා ඉන්නවලු. ඒ වෙලාවේ චිත්‍රපට දර්ශනයත් පටන් අරන්. අර්ජුන කුතුහලයෙන් යුතුව මේ දෙදෙනා ළඟට ගිහිල්ලා. අර්ජුනව දැකපු ගමන් දෙදෙනාම අසුනින් නැගිට්ටලු.

අනේ මේ අපේ අර්ජුන මහත්තයනෙ.

අර්ජුන හිනාවකින් ඔවුනට සංග්‍රහ කළාලු.

කුසල් බලන්නද ආවෙ.

අර්ජුන එහෙම ඇහැව්වට පස්සේ දෙදෙනා බිම බලා ගත්තලු.

ඔව්. අපේ මුණුපුරෝ එක්කගෙන ආවේ. කටවුට් දැකලා චිත්‍රපටය බලන්නම ඕන කිව්වා. ඔන්න දෙන්නා දැන් ඇතුළේ.

වයසක ජෝඩුවේ පිරිමි කෙනා එහෙම හෙමින් මිමිනුවාලු.

එතකොට ඔයාලා නොගියේ?

අර්ජුනගේ ප්‍රශ්නයට දෙදෙනාම මඳ වේලාවක් නිහඬව හිටියලු.

අපි දෙන්නට සල්ලි නැහැ මහත්තයෝ චිත්‍රපට බලන්න. තිබුණු සල්ලිවලින් තමයි පොඩිවුන් දෙන්නව ගෙනාවේ.

ඒක අහපු ගමන් අර්ජුන වහාම තමන්ගේ මුදල්වලින් ටිකට් දෙකක් අරගෙන ඒ දෙදෙනාව ශාලාවට යැව්වලු. චිත්‍රපටය බලලා ඒ අය එදා ගෙදර ගියේ අර්ජුනට නොසෑහෙන්න තුති පුදලලු.