වර්ෂ 2018 ක්වූ  මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා




අද කෝලම් ගැනයි

සැම තරුණයන්ගෙ              සිත
මත් කරවන ලෙසින් දැන් එත

අද කෝලම් ගැනයි

පහතරට මුහුදු පළාත්වල සුවිශේෂ වූ ගැමි නාට්‍ය විශේෂයක් ලෙස කෝළම් නාට්‍ය හඳුන්වා දිය හැක. 'වෙස් මුහුණු පැලඳ කරන රංගනය' කෝළම් නමින් සරලව හඳුන්වනු ලබයි.

කෝලමේ උපත් කතාව

මහා සම්මත රජුගේ බිසව ගැබ්බර වූ බැවින් ඇයට නැටුම් බැලීමේ දොලදුකක් ඇති වූ බව කියැවේ. නොයෙක් දේශයන්ගෙන් පැමිණ අනේකවිධ නැටුම් ඉදිරිපත් කළ ද ඒ කිසිවකින් ඇයගේ දොලදුක සන්සිඳවීමට සමත් නොවුණි. ශක්‍ර දේවේන්ද්‍රයා විශ්ව කර්මයා ලවා වෙස් මුහණු සාදවා එම වෙස් මුහුණුත්, කෝළම් රඟ දැක්වෙන පොතකුත් රජුගේ උයනේ තැබු බව සඳහන් වේ. රජු නළුවන් ලවා කෝළම් රඟදක්වා බිසවගේ දොලදුක සන්සිඳ වූ බව කියැවේ.

කෝලම් නාට්‍යයේ අකෘතිය

මෙහි ආකෘතිය ප්‍රධාන කොටස් 02 කින් යුක්ත වේ.

1. පූර්ව රංගය - 'තානායම් පොළ' පිළියෙල කරන ආකාරය පිළිබඳ කියැවෙන පුවත

2. අපර රංගය - කතා වස්තුවක් රඟ දැක්වීම

පූර්ව රංගය

කෝලම් රංගභුමිය තානායම් පොළ ලෙස හැඳින්වේ. මෙම පූර්ව රංගයේදී චරිත කිහිපයක් පැමිණ අපරංගයේදී රඟ දැක්වීමට යන කතාව රජුුට හා බිසවට නැරැඹීමට හැකිවන ලෙස තානායම්පොළ පිළිවෙල කිරිම සිදු වේ. මෙහිදී පැමිණෙන චරිත හා ඔවුන්ගේ කාර්යභාරය පහත සඳහන් වේ.

1. කාරියකරවන රාළ හෙවත් සබේ විදානේ කෝළම් රංගය ඇරැඹීම සඳහා කාරියකරවන රාළ හෙවත් සබේ විදානේ පළමුව තානායම් පොළට පැමිණෙයි. මොහු තෙරුවන් නමැද කෝළම් පොලේ කවි ගායනා කරනු ලබයි. පැමිණෙන චරිත කවියෙන් හඳුන්වාදීමත්, ඔවුන් සමග සංවාදයේ යෙදීමත් මොහු විසින් සිදු කරයි.

2. අණබෙර කෝළම (පනික්කිලේ)

රජුගේ අණ පැවසීමට එන මොවුන් මඳ වෙලාවකින් රජුු හා බිසව කෝලම් නැරැඹීමට එන බව සබයට පවසයි. මොහු අධික ලෙස බීමත්ව සිටී. මොහු හඳුන්වා දෙන කවියක් පහත දැක්වේ.

අණ බෙර කරන්න ට
දවුල ලාගෙන උරරි ට
ගම් ගම්වලම සි ට
කරයි අණ බෙර රාජ පනත ට'

රජුගේ පණිවිඩ ගෙන එන්නා හෙවත් රාජ්‍ය මාධ්‍ය බීමත්ව සිටින විට රජුගේ පණිවිඩය නිසි ලෙස ජනතාව වෙතට යනවාද යන පැනය කෝලම් නාට්‍යකරුවා මෙහිදී මතු කොට දක්වන්නට ඇතැයි අපට සිතිය හැක.

3. නොංචි අක්කා

මැය අණබෙර කරුගේ මහලු බිරිඳයි. ඇය තම සැමියා සොයා තානායම් පොළට පැමිණෙයි. සැමියා බීමත්ව බිම වැටී සිටියි. ඇය හඬමින් වැලපෙමින් තම සැමියාව ඔසවා ගෙන යන්නට දරන උත්සාහය හාස්‍යජනකය.

4. හේවා කෝලම

රජුගේ හේවා භටයන් වන මොවුන් පැමිණෙන්නේ රජුට ආරක්ෂාව සැපයීම සඳහාය. නමුත් ඔවුන් පැමිණ කරලියේ නොයෙකුත් පෙරළි කරති. මොවුන්ගේ මුහුණ කඩු පහරවල් වැදී තුවාල වී ඇත. කුඩැල්ලන් කා මූණ විකෘතව ගොස් ඇත. යුද්ධය ජයග්‍රහණය කර එන මොහු හඳුනා ගැනීමට මොහුගේ බිරිඳට පවා නොහැකි වේ. මොහුව හඳුන්වා දෙන කවියක් පහත දැක්වේ.

'අනේ යුද කල හැටි
කනේ කටේ නාසයේ ලේ කැටි
ඇලේ කට වැටි වැටී
අනේ හේවා රාල එන හැටි'

රජුගේ සොල්දාදුවාගේ ඛේදජනක ඉරණම කෝළම් නාට්‍යකරුවා මෙමඟින් මනා ලෙස නිරුපණය කරයි.

5. පොලිස් කෝලම

බැටන් පොලු අතින් ගත් මොවුන් රජු පැමිණීමට පෙර ජනතාව හැසිරවීමේ අරමුණින් සබයට පැමිණිය ද මොවුන් පැමිණ සිදු කරන්නේ ජනතාව අඩන්තේට්ටම් කිරීමයි.

6. ආරච්චි රාල

මුදලිගේ අණ පරිදි තානායම්පොළ පිළියෙළ කිරිමට ආරච්චි රාළ පැමිණේ. මෙහු පැමිණ සිදු කරන්නේ ජසයාගේ රූමත් බිරිඳ ලෙංචිනාට ආලවන්තකම් පෑමයි. මොහු සමඟ හෙංචාද පැමිණෙයි. තල් අත්තක් රැගෙන පැමිණ ආරච්චිගේ හිසට උඩින් අල්ලයි. විටෙක එය අමතක වී ලෙංචිනාට ආලවන්තකම් පෑම නිසා ආරච්චිගෙන් බැණුම් ඇසීමට සහ පහර කෑමට ලක් වෙයි.

7. ජස කෝළම

මොහු පේඬි රදා ලෙස ද හඳුන්වයි. රෙදි පොට්ටනියක් බැඳගෙන කොර ගසමින් පැමිණෙන මොහු උඩට උඩුවියන් බැඳීමට පයට පාවඩ බැඳීමටත් පැමිණේ. මොහු හඳුන්වා දෙන කවියක් පහත දැක්වේ.

පෙර සිට පැවත එන
සිරිතට පොදිය බැඳ ගෙන
උරපිට තබා ගෙන
යෝධ (මෝඩ) ජසයා ඒය දුව ගෙන

ජසයා ද කවියකින් තමාව හඳුන්වා දෙයි.

'මේ ගම් පියසේ හේනේ මාමලා
කොච්චර හිටියත් මං වගෙ වෙන නැත
රජ වාසලයෙන් සළුපිලි අරගෙන
යන්නෙමි රජු වඩිනා පෙරමුණයට'

8. ලෙංචිනා

ජසයාගේ රූමත් බිරිඳ ලෙංචිනා නම් වේ. ඇය තම සැමියා සොයා තානායම් පොළට පැමිණේ. ඇය අඟර දඟර පාමින් සබයේ හැසිරේ. ඇය හඳුන්වා දෙන කවියක් පහත දැක්වේ.

'සැම තරුණයන්ගෙ සිත
මත් කරවන ලෙසින් දැන් එත
මේ සබයට දිවුනත
ඒය රුසිරෙන් පේඬි කත'

ලෙංචිනාට ආලවන්තකම් පාන ආරච්චි රාළත්, ඒ නිසාම කෝප වන ජසයාත් අතර වන මෙම ජවනිකාව හාස්‍යයෙන් පිරී යයි.

9. මුදලි කෝලම

මුදලි පැමිණීමත් සමඟ ඉහත හාස්‍යමය ජවනිකාව අවසන් වේ. මුදලි කඩුකස්තාන පැලඳ පැමිණෙයි. මොහුගේ චරිතයෙන් උද්දච්ච බව හා අහංකාරකම මතු වේ. රජු පැමිණීමට පෙර තානායම්පොළ නිසි ලෙස පිළිවෙල වී ඇත්දැයි අවසාන වශයෙන් බැලීමට මොහු පැමිණේ.

රජු සහ බිසව පැමිණීමත් සමඟ කෝලමේ පූර්වරංගය අවසන් වේ.

අපර රංගය

අපර රංගයේදී රජු සහ බිසව පැමිණීමෙන් පසුව සම්පූර්ණ කතාවක් රඟ දැක්වේ. අපර රංගයේදී රංග දක්වන කතා අතර පහත දැක්වෙන කතා සුවිශේෂී වේ.

1. මනමෙ කතාව
2. සඳකිඳරු කතාව
3. ගෝඨයිම්බර කතාව
4. කාපිරි කතාව

කෝලම් රංග ශෛලිය

කෝලම් නාට්‍යයේ රංග ශෛලියේ විශේෂ ලක්ෂණ පහත පරිදි හඳුනා ගත හැකිය.

* කදුරු ලීයෙන් සාදන ලද වෙස් මුහුණු භාවිතය මෙහිදී ප්‍රමුඛ වේ. පේඬිගේ මුහුණ මෝඩයකුගේ ස්වභාවය විදහා දක්වන අතර පනික්කිරාලගේ මුහුණ අහිංසකය. මුදලිගේ වෙස් මුහුණේ ඇත්තේ පුහු මාන්නයකි. මේ අනුව සාත්වික අභිනය එක හැඟීමකට සීමාසහිත වන අතර වාචික අභිනයට බාධා පැමිණේ. වෙස් මුහුණු පැලඳ රංගනයේ යෙදීම නිසා රංගනය අධි තාත්වික වේ.

* ස්තී‍්‍ර චරිත පිරිමින් විසින් රඟපෑම මෙහි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි.

* සබේ විදානේගේ චරිතය හෙවත් කාරියකරවන රාලගේ චරිතය ද කෝළම් රංග ශෛලියේ විශේෂ ලක්ෂණයකි. පැමිණෙන චරිත කවියෙන් හඳුන්වාදීමත් චරිත සමඟ සංවාදයේ යෙදීමත් මොහු විසින් සිදු කරයි.

* කෝළමේ අගය වැඩිවීමට එහි ඇති නැටුම් නිර්මාණ බලපායි. සෑම චරිතයකටම සුවිශේෂී වූ ගමන් තාලයක් දක්නට ලැබේ.

කෝලම් නාට්‍යයේදී සංගීතයට ද සුවිශේෂ තැනක් හිමි වේ. භාවිතා වන ප්‍රධාන සංගීත භාණ්ඩය පහත රට බෙරයයි. හොරණෑව සහ ගෙජ්ජිය ද කෝළම් නාටකයේ රසය වැඩි කිරීමට හේතු වේ. කෝළමේ එන ගායනා තොවිල් තාල අනුව යන නමුත් කපිරිඤ්ඤා සංගීතයේ ආභාෂය ද දක්නට ලැබේ.

මේ අනුව බලන කළ කෝලම රංග ශෛලිය තුළ දක්නට ලබෙන්නේ නාට්‍ය ධර්මී ලක්ෂණ බව අපට අවබෝධ කර ගත හැකිය.

කෝළම් රංග භුමිය

වෘත්තාකාර රඟ මඬලක් වන මෙය තානායම්පොළ නමින් හැඳින්වේ. එක් පැත්තක පහන් පැලකි. බෙරකරු හා පොතේ ගුරුට බිම පැදුරක් එලා ඇත. තානායම්පොළ පිටිපස පිහිටි මඩුව නේපත්‍යාගාරය නම් වේ. නළුවන් වෙස් වලා ගන්නේ මෙහි සිටයි. මඩුවත් රංග භූමියත් අතර දොරකඩ වෙස් අත්ත නමින් ආවරණයක් ඇත. එය ගොරොක් අතු සිටුවා හරහට පුවක් පටි බැඳ ගොරොක් සහ පුවක් කොළවලින් සරසා ඇත. තම වාරය එනතුරු කෝලම් නළුවෝ මෙම වෙස් අත්ත පිටුපසට වී සිටිති.

කෝලමේ සහ සන්නියකුමේ ඇති සමානකම්

කෝළම් නාටකය සඳහා සන්නියකුමේ ආභාෂය ලැබී ඇතැයි ඇතැම් විචාරකයෝ පවසකි. මේ සඳහා පහත උදාහරණ දැක් විය හැක.

1. ඉදිරිපත් කිරීම්වල සමාන බව.
2. යොදා ගන්නා සංගීත භාණ්ඩ සමාන වීම
3. කවි, ගායනා සමාන වීම

කෝලම් නාටකයේ ජීවන දෘෂ්ටිය

කෝලම් නාටකය තුළ දක්නට ලැබෙන්නේ උපහාසයයි. එය ඉහළ පැලැන්තිය වෙත එල්ල කරන ලද අපහාසයක් පමණක් නොවේ. එහිදී සමාජයේ සියලුම චරිත, කුල, රැකියා, විෂමාචාර ක්‍රියා උපහාසයට ලක් වේ.

* ප්‍රබූ පැලැන්තිය සරදමට ලක් කිරිම

උදා: ආරච්චි කෝළම, මුදලි කෝළම

* සමාජයේ විවිධ කුල උපහාසයට ලක් කිරීම

උදා: රදා කුලය (රෙදි අපුල්ලන)

* විවිධ වෘත්තින් හා ඔවුන්ගේ කාර්යයන් උපහාසයට ලක් කිරීම .

උදා: අණබෙර කෝළම, පොලිස් කෝළම

* විවිධ සංක්‍රමණික ජන කණ්ඩායම් උපාසයට ලක් කිරිම

උදා: කාපිරි කෝළම, දෙමළ කෝළම

* සමාජ විෂමාචාර ක්‍රියා උපහාසයට ලක් කිරීම

උදා: අනියම් සබඳතා

1. ලෙංචිනා

* පගාව ගැනීම

2. ආරච්චි

* අනිසි ලෙස බලතල පාවිච්චිය

3. ආරච්චි, පොලිස්