වර්ෂ 2018 ක්වූ  මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා




විජය නන්දසිරි පිළිරුවට මුල පුරයි

විජය නන්දසිරි පිළිරුවට මුල පුරයි

චිත්‍රපට නිෂ්පාදකවරයකු විසින් තමන්ගේ පළමු සිනමා නිෂ්පාදනයේ ප්‍රධාන චරිතය රඟපෑ රංගන ශිල්පියා වෙනුවෙන් පිළිරුවක් නිර්මාණය කරන වග සරසවියට වාර්තා විය. ඉකුත් ඉරිදාවේ එම කටයුත්තේ මුල්ගල තැබිණි. එලෙස පිළිරුවක් තැනෙනුයේ නැසීගිය අති දක්ෂ චරිතාංග නළු විජය නන්දසිරිගේය. ඔහු ද්විත්ව චරිත රඟපෑ එල ඩබල සිනමාපටයේ නිෂ්පාදක ජගත් ඇපලදෙනිය විසින් එම කර්තව්‍යට මූලිකත්වය ගෙන තිබේ. විජය විසූ ගල්කිස්ස කලාපුර නිවස ඉදිරිපිට මෙම පිළිරුව ඉදි කරනු ලැබේ. ඔහු වියෝ වී දෙවසරක් සපිරෙද්දී මෙය විවෘත කිරීමට නියමිතය. එල ඩබල සිනමාපටයෙහි අධ්‍යක්ෂණය ද ජගත් ගෙනි. මෙය ඔහුගේ කුලුඳුල් සිනමාපටය වන අතර එය නොබෝ දිනකින් තිරගතවීමට නියමිතය.


ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අභාවය නිමිතිකොටගෙන සරසවිය නිකුත් කරන ලද විශේෂ කලාපය එතුමන්ගේ අවමඟුලදා එහි නොමිලේ බෙදාහරින ලදී. අතිගරු ජනාධිපති සහ අගමැතිතුමන් එම විශේෂ කලාපය කියවන අන්දම සරසවිය කැමරා ඇසට පත්වූයේ මෙලෙසය.


අමරදේව නමින් ගම්මානයක්

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ඉදි වූ ආදර්ශ ගම්මානයක් පණ්ඩිත් අමරදේවයාණන්ගේ නමින් ශ්‍රී අමරදේව ගම ඉකුත්දා විවෘත විය. මෙම අවස්ථාව සඳහා විමලා අමරදේව මැතිනිය, රංජන, ප්‍රියන්වදා සහ සුභානි යන අමරදේවයාණන්ගේ පුතු සහ දියණියන් දෙදෙනා ඇතුළු කලා සහෘදයන් රැසක් සහභාගී වූහ. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෙදින ප්‍රධාන දෙසුම පවත්වන ලදී. අමරදේවයාණන් ගැයූ ගී ගායක ගායිකාවන් විසින් ගයා උත්සව සභාව රස ගන්වන ලදී.


පිළියන්දලට අධි සුඛෝපභෝගී සිනමාහලක්

මුලින්ම යශෝධරා

පිළියන්දල නගරයට මෙතෙක් අවශ්‍යතාවක්ව පැවති අධි සුඛෝපභෝගි සිනමා ශාලාවක් ස්කයි ලයිට් නමින් පසුගියදා විවෘත විණි. එහි ආරම්භක චිත්‍රපටය යශෝධරාය. නවතම ත්‍රිමාණ තාක්ෂණයෙන් යුතු මෙම සිනමා ශාලාව පිහිටියේ පැරැණි දයා සෙවන භූමියේය. සුවපහසු අසුන්, වෘතාකර ශබ්ද රටා සහිත මෙම ඩිජිටල් සිනමාහල ප්‍රේක්ෂකයාට සුවපහසු ගෙන දෙන සියලු අංගවලින් සමන්විතය. මෙම නව සිනමාහල මාලඹේ ස්කයි ලයිිට් ඇතුළු සිනමා ශාලා රැසක හිමිකාරිත්වය දරන සුරංග ද අල්විස්ට අයත්ය.


 ටෙලිනිසේ අලුත් පුටු ඩග්ලස්-නාලන්-බන්දුල

ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ නියුතු නිර්මාණවේදීන්ගේ එකතුවෙන් බිහි වුණ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ 25 වෙනි සංවත්සර වසර (2018 / 2019) සඳහා පසුගියදා පැවති නිලවරණයේදී නීතිඥ ඩග්ලස් සිරිවර්ධන සභාපති ධූරයට ද, නාලන් මෙන්දිස් ලේකම් ධූරයට ද, බන්ධුල වීරක්කොඩි භාණ්ඩාගරික ධූරයට ද තේරී පත්වුණ අතර සෙසු නිලයන් සඳහා පහත සඳහන් අය තේරී පත් වුහ.

ආසන්න පෙර සභාපති - උදයකාන්ත වර්ණසූරිය, උප සභාපතිවරු - අනුර මාධව ජයසේකර, චන්දන සමරසේකර, උප ලේකම්වරු - ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, කිංස්ලි ලෝස්, සංස්කාරක - සෙනේෂ් බණ්ඩාර දිසානායක, සංවිධායක - චන්දන ලියන ගුණවර්ධන, සුභසාධක හා මහජන සම්බන්ධ නිලධාරී - රාජා රණසිංහ, ප්‍රචාරක නිලධාරි - කිත්සිරි හේවාගමගේ, විධායක සභාව - ආනන්ද අබේනායක, සුරේෂ් අබේසේකර, වසත් චන්ද්‍රසිරි, ප්‍රියන්ති පීරිස්, ප්‍රියා රණසිංහ, නිව්ටන් විදාන පතිරණ, ජානක හාල්පාන්දෙනිය, අමරසේන වඩුගේ, රංජිත් අනුරාධ පීරිස්, නිරෝෂන් ඉලේපෙරුම, දමිතා අබේරත්න


 අමෝමාගේ ප්‍රේම ජවනිකාව

විද්වත් කතිකාව භූ විද්‍යා සමීක්ෂණයේදී

අනෝමා ජනාදරී විසින් රචිත ලිංගික අධ්‍යාපනික ග්‍රන්ථය ප්‍රේම ජවනිකා පිළිබඳ පාඨක විද්වත් විචාර කතිකාවතක් මෙම මස 16 වැනිදා සවස පිටකෝට්ටේ භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශ ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. වෛද්‍ය ජානකී විදානපතිරණ, මහාචාර්ය කොල්වින් ගුණරත්න, වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මෙහිදී දෙසුම් පවත්වති.