වර්ෂ 2018 ක්වූ  මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා




සමුගත් නිධානය

සමුගත් නිධානය

හෙළ සිනමාවේ මහා සිනමාවේදියා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය උත්සවය පසුගියදා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි. මේ සඳහා ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමැතිවරුන් සමඟ ඉන්දීය සිනමා අධ්‍යක්ෂ අධූර් ගෝපාල් ක්‍රිෂ්ණන් සමඟ දෙස්, විදෙස් කලාකරුවන් සේම ඔහුට ආදරය කළ මහජනයා ද පැමිණ සිටියහ.

මුලින්ම කතෝලික ආගමානුකූලව දේහයට අවසන් ආගමික කටයුතු ඔහුගේ නිවසේදී සිදු කෙරිණි. අනතුරුව දේහය නිදහස් චතුරශ්‍රය වෙත රථ පෙරහරකින් රැගෙන ගිය අතර ජාතික චිත්‍රපට සංස්ථාව අසල දී කලාකරුවන්ගෙන් පුෂ්පෝපහාර පිදීමක් ද මග දෙපස රැස් වූ මහජනයාගේ පුෂ්පෝපහාර පිදීමක් ද සිදු විය.

අනතුරුව නිදහස් චතුරශ්‍ර පීඨිකාවේදී මහජනයාට ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී තිබුණි. පසුව මතක වස්ත්‍ර පූජාවක්, පැන් වැඩීම ඇතුළු බෞද්ධ ආගමික වතාවත්වලට සුමිත්‍රා පීරිස් මහත්මිය ඇතුළු ඥාතීහු සහභාගි වූහ. අනතුරුව ගුණකථන කිහිපයක් පැවැත්විණි. ගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ඉන්දීය සිනමා අධ්‍යක්ෂ අධූර් ගෝපාල් ක්‍රිෂ්ණන්, මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය සහ පවුලේ ඥාතියෙක් විසිනි. ගරු රංජිත් මැල්කම් කාදිනල් අගරදගුරුතුමා විසින් කිතුණු ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව කලාකරුවන් විසින් දේහය සංදේශය සිනමා පටයේ නිර්මාණය කළ බලකොටුවේ අනුරුවට තැනූ චිතකය වෙත දේහය රැගෙන ගියහ.


නිශ්ශංක විජේරත්න