වර්ෂ 2018 ක්වූ  මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවේ මුල් සොයා පුංචි රෝමයට රවුමක්

සිනමාවේ මුල් සොයා පුංචි රෝමයට රවුමක්

ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ පුරෝගාමින්ගෙන් බොහෝ දෙනාගේ නිජබිම වූයේ ඓතිහාසික මීගමුව පුරවරයයි. චිත්‍රපට නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු කාර්මික ශිල්පීන්, නළු නිළියන්, ගීත රචකයින්, ගායන ශිල්පීන් මෙන්ම විවිධාකාර ක්ෂේත්‍රයන්හි නිරත කුසලතා පූර්ණ කලාකරුවෝ සිංහල සිනමාව පෝෂණය කිරීමට දායක වූවන් අතර වූහ.

ඒ අතර බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, රුක්මණී දේවි, එඩී ජයමාන්න, හියුගෝ ප්‍රනාන්දු, ඇන්ඩෘ ජයමාන්න, බෙනඩික්ට් ප්‍රනාන්දු, බොනිපස් ප්‍රනාන්දු, පිටිපන සිල්වා, විජිත මල්ලිකා අද ජීවතුන් අතර නැති අය අතරින් කිහිප දෙනෙකි. අද අප අතර සිටින ජ්‍යෙෂ්ඨ කලාකරුවන් දෙදනෙක් වෙති. ඇන්ටන් ග්‍රෙගරි සහ බර්නාඩ් රෙජිනොල්ඩ් යන දෙදෙනා මේ වන විට 75 වන වියට පා තැබීමට සූදානමින් සිටිති. ඉන් පසුව මීගමුවෙන් බිහි වූ සිනමාකරුවන් අතළොස්සට ක්ලීටස් මෙන්ඩිස්, රන්ජන් රාමනායක, කාංචනා මෙන්ඩිස්, ශලිනි තාරකා ආදීන් එක් වෙති.

71 වසරක් ගත වූ කතානාද සිනමාව වෙනුවෙන් අප කැප වූ සිනමාකරුවන් අතර වයස්ගතම සිනමාකරුවා සොයා යෑම කාලෝචිත යැයි සිතූ හෙයින් අප විසින් දිනයක් යොදා ගත්තෙමු. මීගමුව කොළඹ අධීවේගී මාර්ගය ඔස්සේ කොළඹ හලාවත මාර්ගයට පිවිසි අප මුලින්ම පා නැගුවේ මීගමු බෝලවලාන මාර්ගයෙන් මඳක් දුර ගොස් වම් දෙසට දිවෙන මාර්ගයටයි.

එවිට අප නෙත් ගැටුණේ සිංහල සිනමාවේ ප්‍රථම නිළිය, ගායිකාව ලෙස රිදී තිරයේ කිරුළු පළන් රුක්මණී දේවිය නම් රූමතිය විසූ ජයරුක් නිවෙසයි. සිංහල සිනමාවේ විකට රජා ලෙස අභිසෙස් ලැබූ එඩී ජයමාන්නයන් රුක්මණී දේවියගේ දයාබර ස්වාමි පුරුෂයා වෙමින් විසුවේ ද මෙකී ජයරුක් නිවෙසේය. කඩවුණු පොරොන්දුවෙන් සිනමාවට පිවිසි එඩී ජයමාන්න නළුවකු ලෙස පමණක් නොව සිනමා රසිකයින්ගේ හදවත් තුළ ජීවත් වූයේ දක්ෂ ගායන කුසලතා ද ප්‍රකට කරමින්ය.

අද ඒ සුන්දර සිනමා තරු යුවලගේ සුන්දර රූපකාය දැකගන්නට වත්මන් සිනමා ලෝලීන්ට නැතිවා පමණක් නොව ඒ සොඳුරු නිවහනේ භුක්තිය ද වෙනත් කෙනෙකුට සවි වී ඇති බව එහිදී අපට ප්‍රත්‍යක්ෂ විණි. එඩී රුක්මණී යුවලගේ පවුලේ කෙනෙකුටවත් එම නිවෙසේ පදිංචි වන්නට වරම් නොලැබී තිබීම අභාග්‍යකි. ඒ දෙස බලා සුසුම් හෙළමින් සිටි අපගේ හදවත්වලට මැවිලා පෙනේවි රූපේ යන ගීතයේ හඬ දෝංකාර දෙන්නාක් මෙන් හැඟෙයි.

තව ටික දුරක් ඒ මඟ ගෙවා යන අපට ඈතින් දිස් වූයේ 'මිනර්වා' නිවෙසය. මිනර්වා නිවෙසේ මුල් හිමිකරුවා වූයේ 'කඩවුණු පොරොන්දුව' නාට්‍යයේ නිර්මාතෘ සිංහල සිනමාවේ ප්‍රථම නළුවා බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නය. රංගනයට අමතරව, චිත්‍රපට අධ්‍යක්ෂණය, තිර නාටක රචනයෙන්, නිෂ්පාදනයෙන් සිය දායකත්වය සිනමාවට ලබා දුන්නෙයෙ. අද දවසේ මේ සිනමාකරුවා මිනර්වා නිවෙසේ අපට දැකගන්නට නැත. සිනමා රසිකයන් වෙනුවෙන් ඔහුගේ නිර්මාණ පමණක් ඉතිරිව පවතියි.

සිනමාවට දායාද කළ ජයමාන්නයන්ගේ පුත් ගාමිණී ජයමාන්න ද අද ජීවතුන් අතර නැත. මිනර්වා නිවෙසේ ගාමිණී ජයමාන්නගේ බිරිඳ, දියණිය කල් ගෙවති. දෙස් විදෙස් සිනමාකරුවන් ආගිය මිනර්වා නිවෙස පසුකර මේ අප යන්නේ මීගමුවේ විසූ තවත් සුවිශේෂ කලාකරුවෙකුගේ මතකය ආවර්ජනය කරමිනි. තමන්ටම ආවේණික වූ රංග ශෙලියකින් සිනමා රසික හදවත්වලට සමීප වූ ඔහු හියුගෝ ප්‍රනාන්දු වේ. සිනමා ලොවේ කවුරුත් ඔහු ඇමතුවේ හියුගෝ මාස්ටර් යන ආදර නාමයෙනි.

රංගන ශිල්පියකු ලෙස කඩවුණු පොරොන්දුව චිත්‍රපටයට එක් වූ හියුගෝ මාස්ටර් සිංහල සිනමාවේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියා ද වේ. හියුගෝ මාස්ටර් කඩවුණු පොරොන්දුවේ ගීත රචකයකු ලෙස එක් වෙමින් චිත්‍රපට ගීත සාහිත්‍යයේ ප්‍රථම ගීත රචකයා ලෙස ඉතිහාසයට එක් වෙයි.

හියුගෝ මාස්ටර් ප්‍රථම චිත්‍රපට යුග ගීතය ගයන්නේ රුක්මණී දේවිය සමඟිනි. 'සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා එම මධුර ගීතයයි. එඩී ජයමාන්න රඟමින් තිරයට ගයන 'තක්කිට තරකිට උඩ පැන නටන්න හිතුණා', 'ළපටි රූපෙ ඈගේ දැක ගැහෙති මාව . . . . ' යන ගීත ඇතුළු ගීත රැසක් සලරූ ගීත ඉතිහාස පොතට එක් කරන්නට සමත් වුණි. කඩවුණු පොරොන්දුවෙන් රංගනයට පිවිසි මොහු රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 65 ක් පමණ වේ. චිත්‍රපට සහය අධ්‍යක්ෂක මෙන්ම දෙබස් රචකයා ලෙස ද ක්ෂේත්‍රය තුළ සිය දස්කම් ප්‍රදර්ශනය කිරීමට ඔහුට හැකි වුණි.

හියුගෝ මාස්ටර් සොඳුරු කලාකරුවාගේ 'මීගොමු' නම් නිවසේ අද ජීවත් වන්නේ බ්‍රිටෝ ප්‍රනාන්දුය. බ්‍රිටෝ හියුගෝ මාස්ටර්ගේ වැඩිමල් පිරිමි දරුවාය. හියුගෝ මාස්ටර්ගේ සෙසු දරුවන් වෙනත් තැන්වල පදිංචියට ගොස් තිබිණි.

මීගමු නගර මධ්‍යයේ පිහිටි නිවෙස් තුළ විසූ තවත් කලාකරුවන්ගේ නම් කිහිපයක් අප මතකයේ රැඳේ. බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට නළුවකු ලෙස ප්‍රකටව සිටි බොනිෆස් ප්‍රනාන්දුගේ නිවෙස යාබද නිවෙසක විජිත මල්ලිකා නම් ජනප්‍රිය සිනමා නිළිය ජීවත්ව සිටියාය.

සුහද දිවි පිදුම චිත්‍රපටයේ 'බලන්න ලස්සන ආකාසේ කුරුල්ලේ පියඹා යති සුවසේ' යන ගීතය ගයමින් පා පැදියක යන දර්ශනය බොනිෆස් ප්‍රනාන්දුගේ රංගන විලාශය මතකයේ රැඳෙන අවස්ථාවකි.

රුක්මණී දේවි සමඟ යුග ගී ගැයූ ක්‍රිස්ටි ද මැල්, සිනමා නළු බර්ට්‍රම් ප්‍රනාන්දු ද එකල මීගමු කලාකරුවන් අතර සිටියහ.

මාතලන් චිත්‍රපටයට රචනා කළ 'රන්වන් දුල් කරලින් පැසිලා නැමිලා බර වීලා', 'සඳ කොමලී තරු පිරිවරලා', 'හනික යමං පුල්ලි ගොනෝ', 'මඟ බල බල ඇතිය මගෙ සුදා' ඇතුළු චිත්‍රපට රැසකට ජනප්‍රිය ගීත රැසක් ලියූ බෙනඩික් ප්‍රනාන්දු ජීවත්වූයේ ද මීගමුව නව බස්නැවතුපොළට නුදුරු නිවෙසකය. ඔහු අප මතකයේ නොමියන්නේ රංගනයෙන් ද අප මුසපත් කළ නිසාය. මාස්ටර් චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයකු ද වෙයි.