වර්ෂ 2018 ක්වූ  මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා




රංගනයටයි මාධ්‍යයටයි මං එක ලෙස ආදරෙයි

රංගනයටයි මාධ්‍යයටයි මං එක ලෙස ආදරෙයි

අශාන්ති වරුණසූරිය

අශාන්ති වරුණසූරිය විටෙක රංගන ශිල්පිණියකි. තවත් මොහොතකදී නිිවේදිකාවක ලෙසින් ඔබ හමුව එයි. කලක් අශාන්ති මාධ්‍යවේදිනියක හැටියට ද කටයුතු කළාය.

එමෙන්ම නැසීගිය රංගනවේදී විමල් කුමාර ද කොස්තා සමඟ යුග ගීයක් ගැයූ එකම රංගන ශිල්පිණිය ද අශාන්තිය. මේ සංවාදය ඒ බහු චරිතධාරිණිය සමඟිනි.

* ඔබේ උපන්ගම කොහේද? එතනින්ම මේ කතාවට මුල පිරුවොත් හොඳයි?

මං ඉපදුණේ මාතලේ. ඊට පසුව කොළඹ එනවා. හැදුණේ වැඩුණේ මෙහෙ. ඉගෙන ගත්තේ කැලණිය ධර්මාලෝක විදුහලෙන්.

* පාසල් වියේදීම නේද මුලින්ම රංගනයට එකතු වුණේ?

ඔව්. ඒකාංගික නාට්‍යයකට එකතු වුණේ. එතකොට මට අවුරුදු දහයක් විතර ඇති.

* පාසලෙන් ඉවත් වූ වහාම ඔබ මාධ්‍යවේදිනියක් වෙනවා?

රංගනටයි මාධ්‍යයටයි මං එක ලෙස ආදරය කළා. වර්තමානය වන විට අංශ ගණනාවක් නියෝජනය කළත් මුල් යුගයේ ආස කළේ රංගනයටයි, මාධ්‍යයටයි. ඒ අතරින් මාධ්‍ය ඉස්සර වුණා.

බෞද්ධයා පත්තරේට ලිපි සපයමින් මං මාධ්‍යවේදියක වුණා. ඊට පසුව මාධ්‍ය ආයතන ගණනාවකම සේවය කළා. මෙරට ප්‍රමුඛ පෙළේ පුවත්පතක කර්තෘවරියක් හැටියටත් හිිටියා. ඒ අතර තමයි රඟපෑවේ.

* මොනවද ඔබ රඟපෑ නිර්මාණ?

අදිසි, මං නැතිදා, සයිබර් ක්‍රයිම්ස් වගේ නාට්‍යය කළා. ඒ අතරින් මට කෝපි කඩේ විශේෂයි. මං එහි රඟපෑවේ පාසල් ගුරුවරියකගේ චරිතය. ඒක ගෙඩක් මිනිසුන් අතරට ගියා.

සුමිත් ගල්හේනගේ යළිත් ඔබ එන්න සහ හීන යන චිත්‍රපටවල රඟපෑවා. සුමිත් අයියගෙම බෝසත් ගමන බෞද්ධ පෝය නාට්‍ය මාලාවේ මං ඉන්නවා. ඒක විකාශය වන්නේ බෞද්ධයා නාළිකාවේ.

* වේදිකා නාට්‍ය කිහිපයකමත් ඔබ සිටිනවා නේද?

වේදිකාව ගැන නම් කතා නොකරම බැහැ. මං වඩා මූලිකත්වය දෙන්නේ වේදිකාවට. කවුරුත් යන්නෙ නෑ, බලරංග, හරිම බඩු දෙකක් සහ පාසල් නාට්‍ය ගණනාවකටම මං මේ දිනවල සම්බන්ධ වී සිටිනවා.

* විමල් කුමාර ද කොස්තා නැමැති විශිෂ්ට රංගනවේදියා සමඟ වේදිකාවේ එකම යුග ගීතය ගැයුවේ ඔබ?

ඇත්තටම ඒ ගැන හරිම සතුටුයි. කවුරුත් එන්නෙ නෑ නාට්‍යයෙහි ඒ සින්දුව තියෙන්නේ. මං එහි අංග විකල ළමයකුට රඟපාන්නේ. ඔහු ජීවත්ව සිටින කාලේ මං වේදිකාවේ ඔහුත් සමඟ අනන්තවත් මේ ගීය ගයලා ඇති. මං වගේ කෙනෙකුට එවන් වූ විශිෂ්ටයකු සමඟ ගීයක් ගයන්න ලැබීම භාග්‍යයක් කොට මා සලකනවා.

* මේ දිනවල ඔබේ නිවේදන කටයුතු සිදුවන ආකාරය ගැන සඳහනක් කළොත්?

නේෂන් ටී වී සහ ලයිෆ් ටී වී නමැති ඩයලොග් සැටලයේ නාළිකා යුවළේ සේවය කරනවා. ජාතික නාළිකාවකට එන්නයි අදහස් කරගෙන ඉන්නේ.

* ඔබ නියෝජනය කරන අංශවලින් ඔබ වඩාත් කැමැති කුමන අංශයටද?

ඒ සෑම අංශයක්ම හොඳයි. කලා ලොවේ වැඩ කටයුතු කරගෙන යද්දී දුක හිතෙන දේවල් වෙනවා. ඒවා විඳ දරාගෙන ඉදිරියට යනවා. මේ අංශ අතරින් මං වඩාත් කට්ට කමින් වැඩ කළේ මාධ්‍ය අංශයේ. අනේ මන්දා ඇයි කියන්න. අනෙක් ඒවාට වැඩිය හිිත් රිදීම් වුණෙත් ඒ ජීවිතය තුළදී තමයි.

* ඔබේ පවුලේ විස්තර මොනවාද?

මමයි, අම්මයි, මල්ලියි.

* ඒ අයගෙන් ඔබේ කලා චාරිකාවට මොන වගේ පිටිවහලක්ද ලැබෙන්නේ?

ඉතාම ඉහළයි. අම්මා තමයි මගේ එකම වාරුව. ඇය නැත්නම් අශාන්ති කෙනෙක් නැහැ.

* පුංචි තිරයේ පෙම්වතිය වෙන්නට නොහැකි වුණේ ඇයි?

මං පෙම්වතියට වඩා වෙනස් වූ විවිධ චරිත කරන්නයි කැමැති. වේදිකා නාට්‍යවල වුණත් එහෙමයි. එක්තරා රාමුවක කොටු නොවුණ නිසාම මට විවිධ පරාසයන්ගෙන් යුතු චරිත ලැබුණා.

* ඔබ ගැන කෙටියෙන් හඳුන්වලා දෙන්න බලන්න?

සරල වූත්, හරිම විවෘත වූත් කෙනෙක්.