වර්ෂ 2018 ක්වූ  මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා




දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට

දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට

අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කමිටු වාර්තාව (3 කොටස)

15. ජාතික චිත්‍රපට සංස්ථාවේ කාර්යභාරය සහ එයට ආදායම් ලැබීමේ ක්‍රමවේදයක් සකස් කිරීම

1999 ජූනි මස 17 වන දින මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ජාතික චිත්‍රපට ප්‍රතිපත්තිය හා ඒ පිළිබඳ මාර්ගෝපදේශය මඟින් සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් ජාතික චිත්‍රපට සංස්ථාව සතුව පැවති ඇතැම් බලතල කප්පාදුවට ලක් කළ ද, ජාතික චිත්‍රපට සංස්ථා පනත සඳහා කිසිදු සංශෝධනයක් කර නොමැති බැවින් මෙරට සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් ජාතික චිත්‍රපට සංස්ථාව සතු බලතල සම්බන්ධයෙන් කර්මාන්තයේ පාර්ශවකරුවන් අතර විවිද මත පවතී.

කර්මාන්තයේ ඉදිරි ගමන සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ කාර්යභාරය කවරේද යන්න නිශ්චිතව අර්ථකථනය විය යුතුය.

එමෙන්ම ජාතික චිත්‍රපට සංස්්ථාව වර්තමානය වන විට භාණ්ඩාගාර ප්‍රතිපාදන මත යැපෙන ආයතනයක් බවට පත්ව ඇති බැවින් කර්මාන්තය වෙනුවෙන් එය ශක්තිමක් ආයතනයක් වශයෙන් පවත්වාගෙන යාම සඳහා එයට ආදායම් මාර්ග ලැබීමේ ක්‍රමවේදයක් ද සකස් විය යුතුව ඇත.

නිර්දේශය:

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් සර්ව බලධාරියා වශයෙන් කටයුතු කළ යුතුය.

සිනමා කලාව සහ කර්මාන්තය නියාමනය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ ආදායම් මාර්ග වැඩි දියුණු කළ යුතුය.

දේශිය චිත්‍රපට ආදායමෙන් 3% ක් ජාතික චිත‍්‍රපට සංස්ථාවට ලබාදීම සහ විදේශීය චිත්‍රපට ආදායමෙන් 5% ජාතික චිත්‍රපට සංස්ථාවට ලබාදීම.

2016 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය මඟින් යෝජනා කර ඇති 'අධිභාරය' මඟින් සංස්ථාවට ප්‍රතිශතයක් ලබාදිම.

චිත්‍රපට සංස්ථාවේ කාර්යයන් කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය මානව සහ භෞතික සම්පත් සංවර්ධනය සහ මෙහෙයවීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.

වගකීම: රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව


ආචාර්ය සෝමරත්න දිසානායක විසින් කමිටුවේ අවධානය සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා

දේශීිය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරිමට අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කරන කමිටු වාර්තාවට පහත සඳහන් සංශෝධන ඇතුළත් විය යුතු යැයි යෝජනා කරනු කැමැත්තෙමි.

මෙම යෝජනා සාකච්ඡා කළ සියළුම කමිටු රැස්වීම්වලට මා සහභාගි වූ බවත්, එම රැස්වීම්වලදී සාකච්ඡා කර තීරණය කළ කරුණු වඩාත් නිවැරැදිව හා නිරවුල්ව කෙටුම්පත් විය යුතු නිසා මෙම සංශෝධන අවශ්‍ය බව අවධාරණය කරනු කැමැත්තෙමි.

යෝජිත සංශෝධන

01 නිර්දේශය

මහ නගර සභා තුළ ක්‍රියාත්මක සිනමා ශාලාවලින් (දෛනික ආදායම රු. 5,000/- ඉක්මවා ඇති දිනවල) රු: 500/-

නගර සභා තුළ ක්‍රියාත්මක සිනමා ශාලාවලින් (දෛනික ආදායම රු. 3,000/- ඉක්මවා ඇති දිනවල) රු: 300/-

ප්‍රාදේශිය සභා තුළ ක්‍රියාත්මක සිනමා ශාලාවලින් (දෛනික ආදායම රු. 2,000/- ඉක්මවා ඇති දිනවල) - රු: 200/-

ඉහත සඳහන් දෛනික ආදායම් සීමාවන්ට අඩු ආදායම් ඇති දින වෙනුවෙන් බදු ගෙවිම් නෙකෙරේ.

02. නිර්දේශය

(2 වන ඡේදය වෙනුවන්)

ස්වාධීන මණ්ඩලය මඟින් නිර්දේශ කරනලද ඉහළම වර්ගයේ චිත්‍රපට සඳහා එවන් නිර්මාණ දිරිමත් කිරීමක් වශයෙන් විශේෂ දීමනා සහන සැලසීම

03 නිර්දේශය

දැනට පවතින චිත්‍රපට බෙදා හැරිමේ මණ්ඩල අහෝසි කර ජාතික චිත්‍රපට සංස්ථාව විසින් පනවන නව නිර්නායකයන් හා කොන්දේසි යටතේ අළුත් බෙදා හැරිම් මණ්ඩල පිහිටුවීම. මෙසේ කිරීමේදී දැනට පවතින මංඩලවලට ද නව යෝජනා හා කොන්දේසි යටතේ යළි ලියාපදිංචි විය හැක. 04 වන ඡේදයේ ආරම්භයේ ඇති 'දේශීිය චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලබන' යන කොටස ඉවත් කර ඒ වෙනුවට 'දිවයින පුරා ඇති' වශයෙන් ආදේශ විය යුතුය.

05 නිර්දේශය

මෙහි පළමු හා දෙවන ඡේදයන් එකතු කර පහත සඳහන් අයුරින් එක ඡේදයක් බවට පත් කිරිම.

සිනමා ශාලාවල ප්‍රක්ෂේපන ක්‍රමවේදය මෙම තාක්ෂණයට පරිවර්තනය කිරිම හා නවිකරණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග් ධනය සිනමා ශාලා හිමියන්ට නොමැති බැවින් එම සිනමා ශාලා 2ම් තාක්ෂණයට පරිපවර්තනය කිරීම සඳහා සිනමා ශාලා හිමියන් වෙත වර්තමානයේ සංචාරක කර්මාන්තය සඳහා ලබා දෙන ණය පහසුකම් හා සමාන ණය පහසුකම් ක්‍රමවේදයක් බැංකු ක්ෂේත්‍රය තුළින් ලබාදීමට කටයුතු කිිරීම.

08 නිර්දේශය

01 වන ඡේදයේ 'දිවයිනේ සමස්ථ තිර කාලයෙන් 60% ක තිර කාලයක් දේශීය චිත්‍රපට වෙනවෙන්' ආදී වශයෙන් සඳහන් වූ විට ඇතැම් සමාගම් සිනමා ශාලාවලට මෙම ප්‍රතිශතයෙන් පිට පැනීමට අවසර ඇති හෙයින් එම ඡේදය පහත සඳහන් අයුරින් කෙටුම්පත් විය යුතුය.

මෙරට තුළ ප්‍රදර්ශනය කරන සියළුම චිත්‍රපට ප්‍රදර්ශන සමාගම් හා සිනමා ශාලා හිමියන් තමන්ට හිමි සමස්ථ තිර කාලයෙන් 60% කට වැඩි ප්‍රමාණයක් දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා වෙන් කළ යුතුය. මෙම සමාගම් සිනමා ශාලා 01 ට වැඩි ප්‍රමාණයක් ඇති විට දේශිය හා විදේශිය චිත්‍රපට වෙනුවෙන් වෙන් කරන සිනමා ශාලාවල තාක්ෂණික පහසුකම් දේශිය චිත්‍රපටවලට අඩුවන සේ නොපැවැත් විය යුතුයි.

15 නිර්දේශය

නිර්දේශය යටතේ 03 වන ඡේදයේ සඳහන් කරුණු මින් පෙර අංක 04 නිර්දේශවලින් කියවෙන නිසා මෙම 03 වන ඡේදය අවශ්‍ය නැත. ඉවත් කරන්න.

16 නිර්දේශය

සියලුම රූපවාහිනී නාලිකාවල විකාශනය කරන විදේශීිය චිත්‍රපට දේශීය සිනමා කලාවට හා කර්මාන්තයට එක්තරා තර්ජනයකි. එය තහනම් කළ නොහැකි වුවත් දේශීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් ඒවා සඳහා බදු මුදල් වැඩි කළ හැක. එම බදු මුදල් දේශීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් වැය කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාවට ලබා දිය යුතුය.

17 නිර්දේශය

සිනමා වර්ගීකරණය, බෙදා හැරීම් මංඩල සඳහා නිර්නායකයන් හා කොන්දේසි පැනවිම, ණය සහන නිර්දේශ කිිරිම ආදී සියළු කටයුතු සඳහා ජාතික චිත්‍රපට සංස්ථා සභාපතිතුමාගේ මූලිකත්වයෙන් ස්වාධීන විද්වත් මංඩලයක් පත් කළ යුතුය. එම මණ්ඩලයේ තීරණය ඒ ඒ විෂයන්ට අදාළව අවසන් තීරණය වේ.