වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




දමයන්ති ජයසූරියගේ සිත නිවන ගී ජනගත කෙරේ

දමයන්ති ජයසූරියගේ සිත නිවන ගී ජනගත කෙරේ

මහා සංඝරත්නය සහ දසසිල් මාතාවන්, විද්වතුන්, කලාකරුවන් පෙරටු කර ගනිමින් ජනාධිපති සම්මානලාභී විශාරද දමයන්ති ජයසූරියගේ අභිනව බෞද්ධ ගීත සංගත තැටිය 'සිත නිවන ගී' ජනගත කෙරිණි. ඒ සංගීත සුයාමය පසුගිය 23 වැනි දින හැව්ලොක් පාරේ සම්බුද්ධත්ව මාවතේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

පූජ්‍ය මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි සහ කථිකාචාර්ය නාවලපිටියේ අනුරාධා සුධම්මිකා මෙහෙනින් වහන්සේ විසින් හරවත් දෙසුමන් පැවැත් වූහ.

සිත නිවන ගීත සංගත තැටියට ගේයපද රචනයෙන් පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, පූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද මහා නා හිමි, පූජ්‍ය මඩපාත ධම්මසාර හිමි, පූජ්‍ය වෙන්නප්පුවේ චන්දානාන්ද හිමි, මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, කුලරත්න ආරියවංශ, ජයම්පති අල්ගම ගේය පද රචකයන්ය. සංගීත සුසංයෝග ආචාර්ය රෝහණ වීරසිංහ, ආචාර්ය නන්දා මාලිනී, ආචාර්ය ලයනල් අල්ගම, එච්. එම්. ජයවර්ධන, අජිත් දර්ශන ජයවීර, එච්. ආර්. චූලසිංහ, දර්ශන වික්‍රමතුංග, ඉන්ද්‍රජිත් මිරිහානගෙනි. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සංගීත කණ්ඩායම සංගීතය එදින මෙහෙය විය. පළමු සංයුක්ත තැටිය ආචාර්ය නන්දා මාලිනියට එදින පිරිනමන ලදී. ඇයට එදින හරසර පිදුමක් ද සිදු කරන ලදී. ඒ ගායක ගායිකා සංගමය විසිනි.

 

මේ ශිල්පීන්ට අපේ කනගාටුව

2016 වසරේ තිරගත කරන ලද සිංහල චිත්‍රපට අතරින් සුම්, අපේ කාලේ පටාචාරා සහ සින්ඩ්‍රේල්ලා යන චිත්‍රපට ත්‍රිත්වය මෙවර 2018 සරසවිය සම්මාන උළෙලෙ සම්මාන සදහා ඉදිරි පත් කොට නැත. ඉදිරිපත් කර ඇති අනිකුත් චිත්‍රපට සම්මාන 24 ක් සඳහා තරගවදින අතර ඉහත ඉදිරිපත් නොකරන චිත්‍රපටවලට දායකවූ නළු නිළියන්, කාර්මික ශිල්පින් ඇතුලු කුසලතා පිරි ශිල්පින්ට එයින් සිදුවන අපහසුතාව ගැන සරසවිය බලවත් කනගාටුව පළකරයි. මේ අතරින් සින්ඩ්‍රේල්ලා නිෂ්පාදික ඉනෝකා සත්‍යාංගනී පමණක් තම චිත්‍රපටයේ දෙවන කොටසක් ඇති බවත් චිත්‍රපට දෙකම එකම නිර්මාණයක් ලෙස සලකනු බවත් දැන්වූවාය.

ඉරාන චිත්‍රපටයක්

ඉරාන සිනමා කෘතියක්වන Here without me මෙම මස 26 වැනිදා එනම් අද සවස ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී තිරගතවේ. බහ්රාම් ටවකෝලි අධ්‍යක්ෂණය කළ නේගර් ජවාගරියන්, සබාර් අබ්බාර්, පාර්සා පිරොවිසාර් ඇතුළු පිරිස මෙහි චරිත මවති. ටෙනීසි විලියම්ස්ගේ කතාපුවතකට අනුව අධ්‍යක්ෂවරයා විසින් තිරරචනය සකසා තිබේ. මෙම සිනමාපටය ඉරානයේ තිරගතවූයේ 2011 වසරේදීය.

එම්.පී.අයි. නව මුහුණුවරකින් වැඩ අරඹයි

එම්. පී. අයි සිනමා මණ්ඩලේ අධ්‍යක්ෂ මණ්ඩලය හා කාර්ය මණ්ඩලය නව වසරේ සුබ මොහොතින් වැඩ කටයුතු පසුගියදා අරඹන ලදී. ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු, සුනිල් ටී. ප්‍රනාන්දු, නඩරාජා උදය කුමාර්, නිමල් කුලරත්න සමග චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ද, චිත්‍රපට ප්‍රවර්ධනකරුවන්, අනුග්‍රාහකයින් සහභාගී වූහ.

නව වසරේ දේශීය සිනමාව නගා සිටුවීමේ අරමුණින් විශේෂ වැඩ පිළිවෙළක් මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට එම්. පී. අයි. නිෂ්පාදන මණ්ඩලය තිරණය කර ඇති බවයි ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කළේය. මේ සඳහා ව්‍යාපාරික ආයතන කිහිපයක් ඔවුන්ට අනුග්‍රාහකත්වය දැක්වීමට බලාපොරොත්තු වන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.