වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර

කලාවට හිතැති දිවංගත ජනපති සමරමු

දිවංගත රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමන් වියෝ වී මැයි පළමුවැනි දිනට පස් විසි වසරක් සපිරේ. සිනමා හා සමස්ත කලා ක්ෂේත්‍රය වෙත එතුමන් විසින් ඉටු කරන ලද අපරිමිත වූ කර්තව්‍යයන් අමතක කළ නොහැකිය.

අලුතින් නව සම්මානයන් හඳුන්වා දී මුදල් ත්‍යාග පිරිනමමින්, සිනමා සම්මාන උලෙළ හට නව මුහුණුවරක් එක්කොට දක්ෂතා ඇගැයීම ඇවෑමෙන් කර්මාන්තයෙහි උන්නතියෙහිලා ආදායම් අංශයෙන් සාර්ථක වූ කලාත්මක හා වාණිජ ගණයේ සිනමා කෘතීන් නිර්මාණයන්හි දායක වීම් වස් කලාකරුවෝ යුහුසුළුව පෙළ ගැසුණාහ.

මෙම කාල පරාසය තුළදී 'සරසවිපාය', 'සුදර්ශිය', 'කලා භවන' යන ත්‍රිත්වය කලාකරුවන් හට නිරතුරුවම වටිනාකමක් ගෙන දුන්නේය.

රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්, ජීවන කඳුළු, හිතවතිය, පරෙවියී ඉඟිළෙති, ගොළු මුහුද වැනි නවකථාවන් ද එතුළින් සිනමාවට නැඟුණු චිත්‍රපට ද, සමනල මුදුණේ, පෙරදිග අහසේ, රුහුණු කතරගම, දාගැබ් මහා වැව් ගීතයන් ද ප්‍රේක්ෂක, පාඨක, ශ්‍රාවක යන ත්‍රිත්ව අංශයන් හි නිර්මාණ, පොදු ජන හදවත් වැලඳ ගැනීමට සමත් විය. කලාවට හිතැති වූ එතුමන් භක්ති ප්‍රණාමයෙන් සමරමු.

රන්මුතුගල
සරත් ලියනගේ


‘ජයලත් මනෝ’

ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත
'ජයලත් මනෝ' සැම දෙයටම වෙයි සමත
ලේඛන කලාවෙන් අධ්‍යක්ෂණයෙත් සමත
රැඟුම් ගැයුම් වැයුමෙන් මොහු වෙයි සමත

ආර්. ඒ. සෝමා රණසිංහ


උද්දික ප්‍රේමරත්නට

සතියේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ රාත්‍රී 10 ට විකාශය වන 'කළු අරලිය' ටෙලි නාට්‍ය තුළින් උද්දික ප්‍රේ්මරත්නගේ අමුතුම ආරක රංගනයක් අපි දකින්නෙමු. ඔහු එහි රඟපාන්නේ පාතාල නායකයකු වන ක්ලබ් වසන්ත නැමැති චරිතයයි. ඔහුගේ පෙර රංගනයන් හා මෙය සන්සන්දනය කරන විට මෙම චරිතය ඔහුගේ වෙනස් මාදිලියේ චරිතයකි.

ඉහළ තල්දූවේ
ආනන්ද පත්මආරච්චි


දිල්හානි අශෝකමාලාට

දේදුන්නෙන් සමනලියක් ලෙස සිනමාවට පා තබා රංගන ජීවිතයේ පෙම්වතියක් ලෙස ඇරැඹූ ඔබගේ ප්‍රේමණීය සිනමා ගමනට වැඩිහිටි චරිත දක්වාම රංගන හැකියාව වර්ධනය වී තිබීම සුවිශේෂී දක්ෂතාවයකි.

ඩබ්ලිව්. කේ. මොහාන්
මහවැලි සී කලාපය


ප්‍රියා සූරියසේනගේ ගී ප්‍රසංගයක් තියමුද?

ඔබ 70 දශකයේ ගැයූ 'අඳුර අඳුර මගේ', 'මට වාසනා', 'ආදරේ කියූ', 'හෙට දවසේ', 'ප්‍රණීත මීපැණි', 'සඳ මා ගාවයි', 'ඉස්සර මා ඔබ' වැනි ගීත එදා වගේම අදත් ජනප්‍රියයි. මේ ගීත වගේම ඔබේ අනිත් ගීත ද එක් කොට ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පවත්වන මෙන් ඉල්ලමි.

ජයන්ත අමරතුංග
පොළොන්නරුව


ශලනි දකින්න කැමැතියි

පුංචි තිරයේ ජනප්‍රියතම රංගන ශිල්පිනියක් වන ශලනි තාරකා ඔබගේ හැකියාව නැවතත් සිනමාපටයකින් දැක ගැනීමට කැමැත්තෙන් පසු වෙමි.

චන්දන වන්නිආරච්චි
දෙහිඅත්තකණ්ඩිය


විපුල් ධර්මප්‍රිය සිහිපත් වේ නිරතුරුවම

'අහස් ගැබේ තරු කැට ගානේ' කියා චරිතා ප්‍රියදර්ශනීට ලියූ නුඹ 'සඟවන්න එපා හසරැල්' කියා දිවුල්ගනේට ලියූ නුඹ 'සුළඟේ ලෙලෙනා මල් සේ දඟපා' කියා ශාලිතට ලියු නුඹ තවත් ජනප්‍රිය ගී රාශියක් රසික අප වෙනුවෙන් ලියා තැබූ නුඹ, තවද නිවේදකයකු ලෙස ජාතික ගුවන් විදුලියෙන් නිතර අප ඇමතූ නුඹ, වේශ නිරූපණ ශිල්්පියෙකු, මාධ්‍යවේදියකු ලෙස ද දක්ෂතා පෙන් වූ විපුල් ධර්මප්‍රිය ජයසේකර අයියේ, ඇයි නුඹ මෙතරම් අඩු වයසකින් අපව හැර ගියේ. නුඹ අපව හැර ගොස් වසර 04 ක් ගෙවී ගිය ද නුඹේ සුවඳ අප ළඟමයි.

ජගත් චන්ද්‍රසිරි
පූජා ජගත්සිරි
පස්යාල


අයිරාංගනී මෑණියනි ඔබට දීර්ඝායු වේවා

එදා සන් දේශය රැගෙන සිනමාවට පිවිසි ඔබ ගුවන් විදුලිය, වේදිකාව ද ජය ගෙන ඉන් ද නොනැවතී පුංචි තිරයේ දූ දරුවෝ සමඟ කලා ලොව දශක හයක් පුරා පාන පෙළහර ඉතා අපූරුය. උගත් බුද්ධිමත් කලාකාරියක පමණක් නොව පරිසර හිතකාමී කාන්තාවක් ලෙස ද ඔබ කරනා මෙහෙය මිල කළ නොහැකිය. හෙළ කලා ලොව මෙන්ම රසික ලොව ද දයාබර මවක් ලෙස නොමඳ ආදර ගෞරවයට පාත්‍ර වුණු අයිරාංගනී සේරසිංහ මෑණියනි, ඔබගේ රංගන කුසලතාව තවත් විවිධ අයුරින් අපට දැකගන්නට ලැබුවා වූ මෙම නව වසරේත් ඔබට නිදුක් නිරොගී සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමු.

ලක්ෂ්මන් රණසිංහ
වත්තල