වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




ලොව වැඩිම පිරිවැයක් දැරූ චිත්‍රපට

ලොව වැඩිම පිරිවැයක් දැරූ චිත්‍රපට

හොලිවුඩ් ඉතිහාසයේ වැඩිම නිෂ්පාදන පිරිවැයක් දැරූ චිත්‍රපට නිවැරැදිවම තෝරා ගැනීම තරමක් අපහසු කටයුත්තකි. ඊට බලපාන හේතු කිහිපයක්ම වේ. පළමුවැන්න නම් චිත්‍රපටවල පිරිවැය සම්බන්ධ ගිණුම් කටයුතු රහසිගත ස්වභාවයක් ඉසිලීමයි. ඇතැම් චිත්‍රපට පිරිවැය අඩුකර ගැනීම සඳහා චිත්‍රපට මාලාවක එකතුවක් ලෙස නිෂ්පාදනය කිරිම දෙවැනි හේතුව වේ. මේ නිසා එවැනි චිත්‍රපටවල එක් එක් වශයෙන් වෙන්ව නිෂ්පාදන පිරිවැය හඳුනා ගැනීම අපහසු වේ. එවැනි චිත්‍රපට ත්‍රිත්වයක් ලෙස The Hobbit චිත්‍රපට මාලාව නම් කළ හැකිය. එම චිත්‍රපට ත්‍රිත්වයේම නිෂ්පාදන පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 623කි. අනෙක් හේතුව නම් උද්ධමනය යි. නිහඬ සිනමා යුගයේදී වැඩිම පිරිවැයක් දරා නිර්මාණය කරන ලද චිත්‍රපටය වූයේ 1925 වසරේදි තිරගත කෙරුණු Ben-Hur චිත්‍රපටය යි. එකල ඩොලර් මිලියන 4ක දැවැන්ත පිරිවැයක් දරා නිර්මාණය කළ මෙම චිත්‍රපටය වර්තමානය සමඟ සෘජුවම සැසඳීම සාධරණ නොවේ. උද්ධමනය සඳහා ගැලපූ විට ලොව ඉහළම පිරිවැයක් දරා නිෂ්පාදනය කළ චිත්‍රපට අතර සිව්වැනි ස්ථානයට Avengers: Age of Ultron (2015) චිත්‍රපටය වෙනුවට Titanic (1997) චිත්‍රපටය ඉදිරියට පැමිණේ.

කෙසේ නමුත් සෘජු නිල පිරිවැය සසඳමින් ලොව වැඩිම පිරිවැයක් දරා නිපදවන ලද චිත්‍රපට ලැයිස්තුවක් නම් වී ඇත. එහි ලොව වැඩිම පිරිවැයක් දරා නිපදවන ලද චිත්‍රපටය ලෙසින් නම් වී ඇත්තේ රොබ් මාර්ෂල් විසින් අධ්‍යක්ෂණය කර 2011 වසරේ තිරගත කෙරුණු Pirates of the Caribbean: On Stranger Tides චිත්‍රපටය යි. Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ සිව්වැනි චිත්‍රපටය වූ ඒ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 378.5ක් වැය වී තිබේ. Pirates of the Caribbean චිත්‍රපට මාලාව ලොව පුරා රසික අවධානය දිනාගත් චිත්‍රපට මාලාවක්. කැරිබියන් මුහුදේ මංකොල්ලකරුවන් ගැන කියන මෙම චිත්‍රපට මාලාවේ දැනට නිර්මාණය වී ඇති චිත්‍රපට පහ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1274ක් වැය කර ඇති අතර තිරගත වී ඇති එම චිත්‍රපටවලින් ලද ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 4524ක්. මෙම චිත්‍රපට මාලාවේ ප්‍රධාන භූමිකාව වූ කපිතාන් ජැක් ස්පැරෝස්ගේ රංගනය මෙම චිත්‍රපටයේ ජනප්‍රියත්වය ඉහළ නංවන්නට සමත් වූ බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. එම චරිතය වෙනුවෙන් පණ පොවන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළු ජෝනි ඩෙප් විසින්.

ලොව වැඩිම පිරිවැයක් දරා නිපදවන ලද චිත්‍රපට ලැයිස්තුවේ දෙවැනි ස්ථානය චිත්‍රපට ද්විත්වයකට හිමි වී ඇත. ගෝර් වර්බින්ස්කි විසින් අධ්‍යක්ෂණය කර 2007 වසරේ තිරගත කෙරුණු Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටය වන At World's End චිත්‍රපටයට සහ 2017 වසරේ තිරගත කෙරුණු සැක් ස්නයිඩර් විසින් අධ්‍යක්ෂණය කළ Justice League චිත්‍රපටයට දෙවැනි ස්ථානය හිමි වී ඇත. මෙම චිත්‍රපටවල නිෂ්පාදන පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 300 බැගින් වේ. මානව සංහතියේ විනාශය අරමුණු කරගත් අල්ට්‍රර්න් නම් කෘතිම බුද්ධියක් පරාජය කිරීම වෙනුවෙන් සුපිරි වීර කණ්ඩායමක් වන ඇවෙන්ජර්ස් එකමුතුව ගැන කියන මාර්වල් සමාගම විසින් නිර්මාණය කරන ලද Avengers: Age of Ultron (2015) චිත්‍රපටය සිව්වැනි ස්ථානයට පැමිණ ඇත්තේ පිරිවැය අමෙරිකානු ඩොලර් 279.9ක් වැය කරමින්.

විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන ඇන්ඩ්‍රෘ ස්ටැන්ටන් විසින් අධ්‍යක්ෂණය කළ John Carter (2012 චිත්‍රපටයට පස්වැනි ස්ථානය හිමි වන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 263.7ක පිරිවැයක් සමඟින්. 2010 වසරේ තිරගත කෙරුණු ත්‍රිමාණ පරිගණක සජීවකරණ සංගීතමය චිත්‍රපටයක් වුණු Tangled හයවැනි ස්ථානයට පැමිණ ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 260ක නිෂ්පාදන පිරිවැය නිසා. මකුළු මිනිසාගේ වික්‍රමයන් ඇතුළත් Spider-Man චිත්‍රපට මාලාවේ තෙවැන්නට ලොව වැඩිම පිරිවැයක් දරා නිපදවන ලද චිත්‍රපට ලැයිස්තුවේ හත්වැනි ස්ථානය හිමි වී ඇත. 2007 වසරේ තිරගත කෙරුණු Spider-Man 3 චිත්‍රපටයේ පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 258ක්.

අමෙරිකානු ඩොලර් මිලියන 250 බැගින් නිෂ්පාදන පිරිවැයක් හිමි චිත්‍රපට 05ක් වෙනුවෙන් අට වැනි ස්ථානය හිමියි. Harry Potter and the Half-Blood Prince(2009), The Hobbit: The Battle of the Five Armies (2014), Batman v Superman: Dawn of Justice (2016), Captain America: Civil War (2016)  සහ The Fate of the Furious (2017) එම චිත්‍රපට වේ. බ්‍රිතාන්‍ය චරපුරුෂ චිත්‍රපටයක් වන Spectre (2015) සහ 2015 වසරේ තිරගත කෙරුණු Star Wars: The Force Awakens චිත්‍රපට වෙනුවෙන් ලොව වැඩිම පිරිවැයක් දරා නිපදවන ලද චිත්‍රපට ලැයිස්තුවේ දහතුන් වැනි ස්ථානය හිමියි.

සර්ව කාලීන ලොව ඉහළම ආදායම් ලද චිත්‍රපට ලැයිස්තුවේ අංක එක හිමි ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය කළ Avatar චිත්‍රපටයට ලොව වැඩිම පිරිවැයක් දරා නිපදවන ලද චිත්‍රපට ලැයිස්තුවේ හිමි වන්නේ පහළොස්වැනි ස්ථානය යි. එහි ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2788ක් වන අතර නිෂ්පාදන පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 237ක්. 2012 වසරේ තිරගත කෙරුණු The Dark Knight Rises චිත්‍රපටය සහ Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ පස්වැන්න වන Dead Men Tell No Tales (2017 දහසය වැනි ස්ථානයට පැමිණෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 230 ක නිෂ්පාදන පිරිවැයක් සමඟින්. නිෂ්පාදන පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 225ක් වූ The Chronicles of Narnia: Prince Caspian (2008), The Lone Ranger (2013), Pirates of the Caribbean: Dead Man's Chest (2006), Man of Steel (2013) සහ The Hobbit: The Desolation of Smaug චිත්‍රපටවලට ලොව වැඩිම පිරිවැයක් දරා නිපදවන ලද චිත්‍රපට ලැයිස්තුවේ දහඅට වැනි ස්ථානය හිමි වී ඇත. එසේම මෙහි දැක්වෙන චිත්‍රපට නිෂ්පාදන පිරිවැයට ප්‍රචාරක වියදම් ඇතුළත්කර නොමැති බවත් සඳහන්.