වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ

ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ

කැලණි ගඟ සඟවාගත් තුෂානි

කැළණි ගං කොමළිය විටෙක චණ්ඩය. නිසොල්මනේ ගලා බසින්නේ විටෙක සුන්දරවය. විටෙක රළුය. අදින් වසර කිහිපයකට පෙරාතුව මේ කැළණි ගං කොමලිය තරුණියක බිලි ගත්තාය. ඒ සෙලෝලයිඩ් පටයකදීය. එකී සුන්දරියගේ නම නිර්මලාය. ගඟ අද්දරදී ඇය ගං පතුළ සිඹ සිය අවසන් හුස්ම පොද වා තලයට මුසු කළාය. නිර්මලා ගැන සිතා ප්‍රේක්ෂක හදවත් සංවේගයකට පත් වුවත් ඇගේ වෙන්ව යාම සිනමාපටයකදී සිදු වූ නිසා ඔවුහු හිත හදා ගත්හ.

ඉකුත් දිනයකදී නිර්මලාව අපට යළිත් සිහි විය. ඒ කැළණි ගං කොමළිය සඟවා ගත් තවත් සුන්දරියක් නිසාය. අවාසනාවට එය සිදු වූයේ සෙලෝලයිඩ් පටයක නොව සැබෑ ජීවිතයේය. එහෙයින් කලා සහෘද අප සැමගේ හදවත් මොහොතකට නතර විය. ඒ තුෂානි ද සිල්වා නමැති ඇය වෙනුවෙන්ය. ඇය කලා ලොවෙහි දොරගුළු විවර කොට පියවර කිහිපයක් තැබුවා පමණි. එහෙත් දෛවය තුෂානිගේ ජීවිතයට ලබා දුන් ආයුෂ එපමණක්ම විය.

දෙදහස් පහළොව වසරේ එක්තරා දිනයක්ය. නාඳුනන සුරූපිණියක් සරසවියට පැමිණ කර්තෘවරයා සමඟින් කතාබස් කරමින් සිටියාය. ඒ මේ තුෂානිය. තමන් ගැන පුවත්පත් ලිපියක් හැකි නම් පළ කර දෙන මෙන් ඇය කර්තෘතුමාගෙන් ඉල්ලීමක් කළාය. ඒ වන විටත් තුෂානි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වී සිටියාය. පුවත්පත් කන්තෝරුවලට ගොස් අපෙන් කළ ඉල්ලිමම ඇය ඔවුන්ගෙන් ද ඉල්ලා සිටියත් යම් යම් හේතූන් මත ඔවුහු ඇගේ ලිපියක් පළ කරදීම ප්‍රතික්ෂේප කොට තිබිණි. එහෙයින් තුෂානි සරසවියෙන් ද සවිය පැතුවේ දෙගිඩියාවෙන්ය. රංගනය ගැන හැදෑරීමේ දැඩි අවශ්‍යතාවයක් මේ සුරූපිණියට තිබිණ. එමෙන්ම ක්ෂේත්‍රය තුළ වඩා වගකීමෙන් කටයුතු කොට ශිල්ප පෙන්වා හොඳම නිළියන්ගේ කුලකයට ඇතුළත්වීම තමන්ගේ එකම බලාපොරොත්තුව බව ද පුන පුනා පැවසීය. මේ කරුණු කාරණා සහ සරසවිය නිතැතින්ම ආධුනිකයන්ව ඔසවා තබන නිසාත් තුෂානිගේ ලිපියක් සරසවියේ පළ විය. ඒ ඇගේ කුලුඳුල් පුවත්පත් ලිපිය විය. එය ප්‍රසිද්ධ වූ දින උදෑසනින්ම ඈ අපව අමතා බෙහෙවින් තුති පිදුවේ පිනා ගිය සිතින්ය. ඉන් සති කිහිපයකට පසු තුෂානි නැවතත් සරසවිය ඇමතුවාය.

අයියේ ඔයාලගේ ආර්ටිකල් එක නිසා මට නාට්‍ය කිහිපයක් ලැබුණා. මට ලොකු උදව්වක් ඔයාලා කළේ.

එලෙස පැවසුවත් ඇයගේ ස්වරය තුළ යම් සංවේගයක් මුසුව තිබුණාය.

අපි වගේ අයගේ ආර්ටිකල් සරසවියේ යනවට සමහරු කැමැති නැහැ අයියේ. අපි ඉතින් පොඩි නිළියොනෙ. අපි තැනකට එනවට එයාලා කැමැති නැහැ. ඊරිසියයි. ඒත් මං ඕවට සැලෙන්නේ නැහැ.

ඇය කතාව නැවැත් වූයේ එලෙසින්ය. කැපිලි කෙටිලි තුෂානිගේ ජීවිතයට අනන්තවත් තිබිණි. ඒවා මැඬගෙන කලා ලොව තුල අඛණ්ඩව ගමනක යෙදුණ ඈ රංගනය ගැන හැදෑරීමට ද කිසිසේත්ම අමතක නොකළාය. තරංග දිසානායක සහ රවීන්ද්‍ර විජේරත්නගේ දුරුතු ක්‍රියේෂන් ආයතනයෙන් පැවැත් වූ රංගන වැඩමුළු මාලාවට පළමුව තුෂානි දායක විය. අනෝජා වීරසිංහගේ අභින පාඨමාලවට ද, මහේන්ද්‍ර පෙරේරාගේ රංගන පාසලට ද ඇතුළත්ව ඇය පුළුවන් තරම් ශිල්පය හැදෑරුවාය. එයට අමතරව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඊට කැක්කුමක් ඇති අය සාකච්ඡා පවත්වන බොහෝ තැන්වල ද තුෂානිව දැකිය හැකි විය. ඉන් ඇතැම් ස්ථානවල සිටි එකම නව පරපුරේ නිළිය ඇය පමණක්ම විය.

තුෂානි වඩාත් ජනප්‍රිය වූයේ මොනර කිරිල්ලි ටෙලි සිතුවමෙන්ය. එහි ටානිය ඇය විය. අනතුරුව ස්වර්ණපාලි, අංකල් සෑම්, රජ්ජුරුවෝ යන ටෙලි නාට්‍යවලත්, සුමි, නැති බැරි ටාසන්, එලඩබල යන චිත්‍රපටවල රඟපෑ ඇයට ප්‍රධාන චරිත හිිමිවන්නට පටන් ගත්තේ ඉතාම මෑත කාලයේ සිටය. මේ දිනවල විකාශය වන හඳයා ටෙලි සිතුවමේ තුෂානි සිටින්නීය. රිදී මලක් ඇතුළු නාට්‍ය කිහිපයක්ම රූපගත වන්නේය. එහෙත් ඒ සියලු චරිත අත්හැර සැබෑ ජීවිතයේ චරිතයෙන් ද ඇය නික්ම ගොසිනි.

නුවර ඉපිද එහි ශාන්ත අන්තෝනි කන්‍යාරාමයෙන් සිප් සතර හදාළ තුෂානි රංගනයට පිවිසුණේ නිවසෙන් ද ආශිර්වාදයක් නැතිවය. පසුකාලීනව තම දියණියගේ අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට පවුලේ උදවියට ඉඩදීමට සිදු විණ. ටෙලි නාට්‍ය වෙනුවෙන් රට වටා ඇය කරක් ගැසීය. එහෙයින් බොහෝ ගම් පියසයන්හි තුෂානි දන්නා හඳුනන්නෝ බොහොමත්ම සිටියේය.

ඉකුත් දහසය වැනිදා තුෂානි සිටියේ කිතුල්ගලය. ඒ පවුලේ විනෝද චාරිකාවකට සහභාගිවීම හේතුවෙනි. අලුත් අවුරුදු සිරිය ගමේ සිට විඳ තුෂානි කිතුල්ගලට ආවේ නිවාඩුවක් ගත කිරීමේ අරමුණිනි. ඒ ගමන ද සාර්ථකය. ඒ දින කිහිපය පුරා නැවතී සිටි හෝටලයේ ද බිල ගෙවා දමා තුෂානි ඇතුළු පවුලේ සැම ගම්බිම් බලා පිටත් වන්නට සූදානම් වූහ. එතේ රුදුරු මරු තුෂානි එනතුරු මඟ බලා සිටියේය. ඒ කැලණි ගං කොමලිය පතුළට විය.

මං ටිකක් කකුල සෝදගෙන එන්නම්.

තුෂානි යළි ගඟට යන්නට සැරසිණ. ඒ ගමනට ඇගේ පියා ද එක් වූයේ දියණියගේ ආරක්ෂාව හේතුවෙනි. ගඟට බැස තුෂානිට යන්නට හැකි වුණේ ටික දුරක් පමණි. මෙතෙක් වෙලා ගොදුරක් එනතුරු බලා සිටි සතකු මෙන් මාරයා නිය විලිස්සා ඇය පෙරමඟට ආහ. ක්ෂණයකින් දිය සුළියක් සමග අතුරුදන් වූ තුෂානි යළි මතු වූයේ නිසල අයකු හැටියටය.

එක අතකින් ජීවිතය ද අනෙක් අතින් මරණය ද රැගෙන අප ජීවත් වුවත් තුෂානිගේ වියෝව අපව මහත් වු කම්පනයකට පත් කරන්නක් විය. ඒ ඇය බොහෝ රශ්මිය විදහාලන්නට පූර්ව සූදානමින් සිටි සුන්දරාවියක් නිසාය. එහෙත් මරණයට උස් මිටිකම පාට පක්ෂ ජාතීන් නැත්තේය. තුෂානිගේ මරණය අපට පසක් කොට දෙන්නේ එයයි.