වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




සොකරී එන්නී සබයෙන් අවසර ගන්නී

සොකරී එන්නී සබයෙන් අවසර ගන්නී

සොකරි

උඩරට පළාත්වලට සුවිශේෂී වූ ගැමි නාට්‍යය විශේෂත්වයක් ලෙස සොකරි නාටකය හඳුනා ගත හැකිය. ඒ අනුව උඩුනුවර, යටිනුවර, හේවාහැට, පාතදුම්බර, සතර කෝරළය, සත් කෝරළය යන ප්‍රදේශවල සොකරි නාට්‍යය පවත්වනු ලබයි.

සොකරි පුරා කථාව

ගුරුකම් දන්නා ගුරුහාමි නැතහොත් ආඬිගුරු ගුරුකම් බලයෙන් සොකරි වශී කරගෙන විවාහ කර ගනී. මොවුන්ට පයො නමින් අතවැසියෙක් වෙයි. සොකරියට දරුවන් නොමැති නිසා පත්තිනි දේවියට භාරයක් වීමට නැවක් සාදාගෙන ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙයි. පුත්තලමට ආසන්නයේ තඹරාවිට ගම අසල දී නැව කැඩෙයි. එම ගමට ගොඩ බසින ඔවුන් එම ගමේ වෙදරාළට අයිති ඉඩමක පැලක් අටවා ගනියි. වතුර ගෙන ඒමට වෙදරාළගේ ළිඳට ගිය ගුරු හාමිගේ කකුල වෙදරාළගේ බල්ලා සපාකයි. ගුරුහාමිට වෙදකම් කිරීමට ගුරුහාමිගේ පැළට එන වෙදරාල සොකරි සමඟ පළා යයි. ගුරුහාමි සොකරිය සොයයි. සොකරිට දරුවෙකු ලැබෙන්නට සිටියි. ගුරුහාමි සොකරිය සමඟ සමාදාන වෙයි.

සොකරි නාට්‍යයේ රංග ශෛලිය

කපුරාලගේ චරිතය මෙහිදී සුවිශේෂි වේ. ඔහු විසින් සිදු කරනු ලබන කාර්යයන් කිහිපයකි.

(1) පැමිණීමට නියමිත චරිතය කවියෙන් හඳුන්වා දීම.

උදා - සොකරි හඳුන්වා දෙන කවියක් පහත දැක්වේ.

සොකරී එන්නී සබයෙන් අවසර ගන්නී
නැටුම් නටන්නී තාලෙට රාග කියන්නී
පද අල්ලන්නී පියයුරු ලැම සොල වන්නී
කැඩපත ගන්නී සුරතින් මුහුණ බල න්නී

(II) පාත්‍රයන් සමඟ සංවාදයකින් ඔවුන් කරන්නට යන්නේ කුමක්දැයි කියා ප්‍රේක්ෂකයන්ට දැන ගැනීමට සලස්වයි.

(III) චරිත විසින් කරන හැම ක්‍රියාවක්ම කපුරාල කවියෙන් විස්තර කරනු ලබයි.

උදා: නැවේ ගමන් කිරීම

ගොළු මුහුදට නැව ඇවිත් බසින්නේ
ගොළු මුහුදේ නැව ගමනි බොලන්නේ
ලේ මුහුදට නැව ඇවිත් බසින්නේ
ලේ මුහුදේ නැව ගමනි බොලන්නේ

(2) අනුරූපණය

සොකරි නාටකයේ පහත අවස්ථා අනුරූපනයෙන් ඉදිරිපත් කරනු ලබයි.

(I) නැවක් තැනීම, නැවෙන් පැමිණීම, ගොඩ බැසීම පෙන්වයි.

(II) වී කෙටීම, වී පෙළීම වැනි අවස්ථා.

(III) ගොම ගෑම, පන් නෙලීම, පැදුරු විවීම වැනි අවස්ථා

(3) අභිරූපණය

ඇතැම් අවස්්්ථා අභිරූපණයෙන් ඉදිරිපත් කරනු ලබයි.

(1) ගුරුහාමි වතුර ගෙන ඒමට යාම

(II) බල්ලෙක් සපා කෑ පසු අසනීප වී ගෙදර ඒම

(III) බෙහෙත් ගෙන ඒමට යාම

(04) වෙස් මුහුණුු භාවිතය

උඩරට ප්‍රබල වෙස් මුහුණු සම්ප්‍රදායක් නොමැති නිසා සොකරිවලදී ඇතැම් චරිත සඳහා පමණක් . . . . . .වලින් සාදන ලද සරල වෙස් මුහුණු භාවිතයට ගනු ලබයි.

(5) ස්ත්‍රීන් රංගනයට දායක නොවීම.

ස්ත්‍රී චරිත පිරිමින් විසින් රඟපානු ලබයි.

(6) රංග වස්ත්‍රාභරණ

මෙහිදී අඩරට සම්ප්‍රදායට ගැළපෙන රංගවස්ත්‍රාභරණ භාවිතයට ගනු ලබයි.

(I) සොකරි - ඔසරියකින් හා හැට්ටයකින් සැරසී සිටී.
(II)
වෙදරාල - සරමකින් හා කෝට් කබායකින් සැරැසී සිටී. කුදු බව පෙන්වීමට කොට්ටයක් භාවිත කරනු ලබයි.
(III)
මුගුරුහාමි - උඩරට භාවිතයට ගනු ලබන හඟලට සමාන ඇඳුමක් භාවිතයට ගනී

(7) රංග භූමිය - ගොයම කපා අවසන් වූ කමත සොකරි නාට්‍යයේ රංග භූමියයි

(8) පසුතලය - වේදිකාවේ වංගෙඩියක් මුනින් අතට හරවා ඒ මත ලාම්පුවක් තබා ඇත. මෙය සංකේතාත්මක අර්ථයකින් භාවිතා කරයි.

(9) රංග භාණ්ඩ භාවිතය

සොකරිය තම දරුවා ලෙස රෙදි කඩකින් ඔතන ලද දඬු රුවක් හෝ බෝනික්කෙක් ප්‍රේක්ෂකයන් දෙසට ඉදිරිපත් කොට තෑගි බෝග ලබා ගනී.

සොකරි නාට්‍යයේ සමාජ දෘශ්ටිය

* ඉහළ පැලැන්තියේ චරිතවලින් පහළ පැලැන්තියේ චරිතවලට විඳින්න වෙන දුක් කරදර සොකරි නාට්‍යයෙන් මනාව ඉදිරිපත් කරයි. උදා: නැවක් තැනීම සඳහා ගසක් කැපීමට යාමේදී ආරච්චි රාළ පගාව ගැනීම

* ගුරුහාමි සොකරිය විවාහ කර ගන්නේ ගුරුකම් බලයෙනි. ඒ අනුව ගුරුහාමි කර ඇත්තේ වරදකි. සොකරියට වෙදරාලගෙන් දරුවෙක් ලැබුණු පසු සොකරි සහ දරුවා භාරගෙන ගුරුහාමි තම වරද නිවැරැදි කර ගනී. මෙවැනි වූ මානව හිතවාදී දෘෂ්ටියකින් සොකරි නාටකය රචනා වී ඇත.

* සොකරි වැනි කාන්තාවක් දේවත්වයෙන් සලකනු ලැබීම තුළින් ගැමියා තුළ වූ සමාජ දෘෂ්ටිය මැනවින් නිරූපණය වේ. එය වර්තමාන සමාජයට එල්ල වූ ප්‍රබල පහරකි.

අනවබෝධයක සිට මවක වීමෙන් ලද අවබෝධය නිසා ඇය මෙලෙස දේවත්වයෙන් සලකන්නට ඇතැයි සිතිය හැක.

සොකරි නාට්‍යයේ දක්නට ලැබෙන ශාන්ති කර්ම ලක්ෂණ

* පහන් පැලක් දක්නට ලැබීම
* පූජා අර්ථය ඇති කවි ගායනය
* නළුවන් රංගනයට පෙර පේවීමේ චාරිත්‍රය අනුගමනය කිරීම
* කපුරාලගේ චරිතය
* අනුරූපණය
* බෙර වාදනය
* කවි ගායනය