වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




2001:A Space Odyssey 50 වසර සමරයි

ස්ටැන්ලි කුබ්‍රික් සිනමා නිර්මාණය

2001:A Space Odyssey 50 වසර සමරයි

2001: A Space Odyssey යනු සිනමා ලොව විශිෂ්ටතම අධ්‍යක්ෂකවරයෙකු වූ ස්ටැන්ලි කුබ්‍රික් විසින් මීට පනස් වසරකට පෙර ලෝක සිනමා ප්‍රේක්ෂකාගාරය මවිත කරවමින් නිර්මාණය කළ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. කුබ්‍රික් විසින් අධ්‍යක්ෂණය කෙරුණු 2001: A Space Odyssey විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය මුල්වරට තිරගත කෙරුණේ 1968 වසරේ අප්‍රේල් 03 වැනිදා ය. එයට පාදක වූයේ ශ්‍රී ලංකාවේ ගෞරවනීය පුරවැසිභාවය ලද විශ්ව කීර්තියට පත් ආතර් සී. ක්ලාක් විසින් රචිත 1965 වසරේදී එළිදැක්වුණු 2001: A Space Odyssey කෘතිය යි. ආතර් සී. ක්ලාක් ලොව පුරා වඩාත් ජනප්‍රිය වීමට එතුමා විසින් රචිත 2001: A Space Odyssey නමැති කෘතිය හා ඒ ඇසූරෙන් චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටැන්ලි කුබ්‍රික් හා එක්ව තිරරචනය කරමින් නිර්මාණය කළ 2001: A Space Odyssey චිත්‍රපටයද හේතු විය.

මිනිසා සහ යන්ත්‍ර අතර ඇති වන අරගලය සමඟින් කාලය සහ අවකාශය හරහා යන ගමනක් ගෙන එන 2001: A Space Odyssey සිය පනස් වැනි සංවත්සරය සමරමින් මැයි මස පැවැත්වීමට නියමිත 71 කාන් සිනමා උලෙළේදී නැවතත් තිරගත කිරීමට නියමිතයි. මෙම සිනමා නිර්මාණ ඔස්සේ දිගහැරෙන්නේ, කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක හල් 9000 නම් පරිගණකය මගින් පාලනය කෙරෙන අභ්‍යකාශ යානාවක් සහ එම ගමන අතරතුර එහි ඇතිවන ගැටලුවක් හේතුවෙන් පරිගණකයේ අමුතු හැසිරීම සහ ගගනගාමීන් පිරිස අතර ආතති ප්‍රශ්නයත් සමඟින් වන අභිරහස් ගමන යි. 1969 වසරේදී මිනිසා පළමුවරට සද තරණය කිරීමටත් ප්‍රථම 1965 වසරේදී ආතර් සී ක්ලාක් විසින් 2001: A Space Odyssey කෘතිය රචනා කිරීමත් සුවිශේෂයි.

මේ වන විට 81 වැනි වියේ පසුවන මෙම අමෙරිකානු නළුවන් දෙදෙනෙකු වන කියර් ඩුලේ සහ ගැරී ලොක්වුඩ් එදා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළා. විලියම් සිල්වෙස්ටර්, ඩැනියෙල් රිචර්, ලෙනාර්ඩ් රොසිටර්, මාර්ග්‍රට් සැකර්, සීන් සුලෙයිවාන් ඇතුළු පිරිසක් ද මේ සඳහා රංගනයෙන් දායක විය. හල් 9000 පරිගණකයට හඬ ලබා දුන්නේ, කැනේඩියානු නළු ඩග්ලස් රේනි විසින්. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, රචනය සහ නිෂ්පාදනය සහ දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන් කුබ්‍රික් ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වී (රචනය වෙනුවෙන් ආතර් සී. ක්ලාක් සමඟින්) ඒ අතරින් හොඳම දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන් වූ ඔස්කාර් සම්මානය හිමි විය. එය කුබ්‍රික් තම සිනමා දිවියේ ලද එකම ඔස්කාර් සම්මානය යි. අමෙරිකානු ඩොලර් මිලියන 10ක පිරිවැයකින් නිර්මාණය කළ 2001: A Space Odyssey ලොවපුරා ප්‍රදර්ශනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 192ට වැඩි ආදායමක් උපයා තිබෙනවා.

කෙසේ නමුත් 2001: A Space Odyssey චිත්‍රපටය තිරගත කෙරුණු මුල් කාලයේදී නම් එයට හිමි වී තිබුණේ එතරම් යහපත් විචාරක ප්‍රතිචාර නම් නොවේ. වර්තමානයේ බොහෝ දෙනා පිළිගනු ලබන්නේ 2001: A Space Odyssey එදා මෙදා තුර ලෝක සිනමාවේ බිහි වූ ශ්‍රේෂ්ඨතම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය ලෙසින්. එයට මේ වන විට IMDb දර්ශකයේ ප්‍රේක්ෂක මනාපය 8.3/10ක් වී තිබියදී රොටෙන් ටොමැටෝස් වෙබ් අඩවියේ විචාරක මනාපය 93%ක් හිමි වී තිබෙනවා. ජෝන් පවර්ස් නම් විචාරකයා පවසන්නේ කිසි දිනෙක අමතක නොවන රූප රාමු පෙළක් ඇතුළත් මෙම චිත්‍රපටය එක්තරා කාලයක සුපිරි යැයි සිතා ගෙන සිටි විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල දර්ශන මොනවා දැයි යන්න කියා දුන් බවයි. 'ද නේෂන්'හි විචාරක රොබට් හැච් පවසන්නේ, 2001: A Space Odyssey චිත්‍රපටය නිර්මාණ පරිකල්පනයෙන් යුතුව නිර්මාණකරුවන් තම දක්ෂතා ඉහළින්ම පෙන්වු සිනමා නිර්මාණයක් ලෙසින්.