වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවෙන් විවර කරන යහ මඟ

මධුර චාරිකා:
උදයකාන්ත වර්ණසූරිය

සිනමාවෙන් විවර කරන යහ මඟ

මහාචාර්ය කා‍ලෝ ෆොන්සේකා විසිනි

උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂතුමාගේ 21 වෙනි චිත්‍රපටය වන මධුර චාරිකා නරඹා මා මෙතරම් උද්දාමයට පත් වූ කාරණව කිම? ඒ කාරණාව කුමක්දැයි කියා අවබෝධ කරගනු රිසියෙන් මධුර චාරිකා චිත්‍රපටය පිළිබඳ දීර්ඝ දාර්ශනික චාරිකාවක නිරතවීම අවශ්‍ය යැයි හැඟේ. මගේ ප්‍රියතම දාර්ශනිකයා වූ බර්ට්‍රන්ඩ් රසල් නම් නොබෙල් ත්‍යාගලාභී ප්‍රාඥයා වයස අවුරුදු 90 ගණන්වල සිටියදී ඔහුගේ ස්වයං චරිතාපදානය පළ විය. ඔහුගේ අතිශය සංකීර්ණ විචිත්‍ර ජීවිතය මෙහෙයවනු ලැබූ දැඩි චිත්තාවේග හෙවත් භාවාවේෂ 3 ක් ගැන එහි සඳහන් වෙයි. ඉන් එකක් වූයේ මෙලොව දී මිනිස් සංහතියට අත්විඳින්නට සිදු වන දුක් කන්දරාව පිළිබඳ දැනුණු දරාගත නොහැකි තරම් දයානුකම්පාව බව ඔහු පවසා ඇත. ඒ දුක් කන්දරාවට එක් උදාහරණයක් ලෙස ඔහු සඳහන් කර ඇත්තේ ඔහු ජීවත් වූ සමයේ විසූ වැඩිහිටි පුත්‍රයන්ට නොරුස්නා ජුගුප්සාජනක පීඩාකාරී බරක්ව ජීවිතයේ සැඳෑ සමය ඛේදජනක අයුරින් ගෙවා දමන වයෝවෘද්ධ අසරණ දෙමාපියන්ය. තමන් මෙලොවට බිහි කර කවා පොවා ලොකු මහත් කළ මහලු දෙමාපියන් අතමිට සරු පුතුන්ට පවා ජුගුප්සාජනක පීඩිත බරක් වූයේ කෙසේ ද යන්න සිංහල සංස්කෘතිය තුළ හැදුණු වැඩුණු අපට ඇදහීමට පවා අපහසු යථාර්ථයකි. නවීන ආර්ථික සංවර්ධනයේ අතුරු ඵලයක් වන්නේ තම මහලු අසරණ දෙමාපියන් ජුගුප්සාජනක පීඩාවක් බවට පත්වීම නම්, ඒ සංවර්ධනයට යොමුවීමේ අරුත කිම යන ප්‍රශ්නය මෙහිදී අපට මතු වේ.

අපේ සංස්කෘතිය

අපේ සංස්කෘතියේ වයෝවෘද්ධයන්ට ගෞරවයෙන් සැලකීම ඉතා වැදගත් අංගයකි. ආර්ථික වශයෙන් මෙතරම් දුෂ්කර කාලයේ දී වුවත් අපේ වියපත් දෙමාපියන්ගෙන් 50% ක් පමණ දෙනා රැක බලා ගන්නේ ඔවුන්ගේ වැඩිහිටි දූ දරුවන් බව වාර්තා වී තිබේ. ඇත්ත වශයෙන්ම කියතොත් දෙමාපියන් බලා ගන්නේ පුතුන්ටත් වඩා දූවරුන්ය. මා පෞද්ගලික අත්දැකීමෙන් දන්නා පරිදි අතමිට සරු, ඇති හැකිකම් ඇති දූ දරුවන්ගෙන් තම දෙමාපියන්ට ලැබෙන්නේ ද්‍රව්‍යමය උපකාර පමණක් නොවේ. ඒවා ලබා දන්නේ ආදරයෙන්ය, දයාවෙන්ය, කරුණාවෙන්ය. සිඟාලෝවාද සූත්‍රයේ කියා ඇති පරිදි වැඩිහිටි වයෝවෘද්ධ දෙමාපියන්ට අපේ වැඩිහිටි දූ දරුවන් ඇප උපස්ථාන කරන්නේ ස්නේහයෙනි, ආදරයෙනි. සංසාරගත යුතුකමක් ඉටුකරන ලීලාවෙනි. සෙනෙහෙබර වැඩිහිටි සංග්‍රහය මධුර චාරිකා චිත්‍රපටය පුරා සියුම් හූයක් සේ දිව යයි. එය නෙත් සිත් ඇද බැඳ ගන්නාසුලුය. එයින් ආධ්‍යාත්මික ගුණයක් චිත්‍රපටයට ආරූඪ වී ඇත්තා සේය. චිත්‍රපටය නරඹා ශාලාවෙන් පිටවත්ම මාධ්‍යවේදිනියක් මයික්‍රෆෝනයක් මගේ මුවට යොමු කර මධුර චාරිකා චිත්‍රපටය ගැන මගේ ක්ෂණික ප්‍රතිචාරය විමසුවා. මා ගත් කටටම කිවේ 'කවුරුන් කුමක් කෙසේ කීවත් මේ චිත්‍රපටය ලොවටම කියන්නේ අපේ සමාජය මූලික වශයෙන් යහපත් සමාජයක්ම වන බවයි' කියාය.

කතා වස්තුව

මධුර චාරිකාවේ කතා වස්තුව සරලය. වයස අවුරුදු 85 ක් වන හිටපු චිත්‍රපට නළුවකු විශ්‍රාම සුවයෙන් වාසය කරන්නේ නුවරඑළියේ වෙසෙන තම පුත්‍රරත්නය, ලේළිය, කුඩා මුනුපුරා සහ මිණිබිරිය සමඟය. ඔවුන් ඉතා සුවෙන් සහ සතුටින් කල් ගෙවන බව පෙනේ. දිනක් පුවත්පතක පළ වී තිබුණ දැන්වීමක් විශ්‍රාම ගොස් සිටින නළුවා දකී. ඒ දැන්වීමෙන් කියා තිබෙන්නේ නුදුරු අනාගතයේ නිශ්චිත දිනයක කොළඹ චිත්‍රපට උලෙළක් පවත්වනු ලබන බවත් ඒ උලෙළේ දී පෙන්වන චිත්‍රපටයේ අපේ කථානායක නළුවා වැදගත් භූමිකාවක් ප්‍රදර්ශනය කරන බවත්ය. දැන්වීම දුටු සැණින් ඔහු චිත්‍රපට උලෙළට සහභාගවීම සඳහා කොළඹ යෑමට තීරණය කරයි. පවුලේ කිසිවකුගෙන් ඊට බාධාවක් නැත. සිය ලේළිය අනෙක් අයටත් වඩා මාමණ්ඩියගේ දැඩි ආශාව ඉටු කර දීමට ඇයට කළ හැකි සියල්ල කර දෙන්නීය. එහෙත් උලෙළ පවත්වන දිනයේදීම පෙර යොදාගත් වෘත්තීමය වශයෙන් තීරණාත්මක කෘෂිකාර්මික කටයුත්තක් නිසා සිය පියා උලෙළට සහභාගී වීම සඳහා කොළඹට කැඳවාගෙන යන්නට පුතාට බැරිය. මෙහිදී අපේ කථානායක නළුවා දැඩිව තීරණය කරන්නේ මොනයම් බාධක පැමිණියත් මෙම උලෙළට සහභාගිවීමට කොළඹට බසයකින් හෝ තමන් යන බවය. දෙමාපියන්ගේ අවසරය සහ ආශිර්වාදය ඇතිව 85 හැවිරිදි සීයා කැටුව මෙහිදී 8 හැවිරිදි මුනුපුරා කොළඹට යන චාරිකාවට එක් වෙයි. ඒ චාරිකාවේදී සිදු වන අපේක්ෂිත හා අනපේක්ෂිත සිදුවීම් සමුදාය මධුර චාරිකා චිත්‍රපටයේ අන්තර්ගතයයි. චිත්‍රපටය කෙළවර වන්නේ කථානායක නළුවාගේ ජීවන ගමනේ ද අවසානයෙනි. එය එසේ වුවත් සමස්ත චිත්‍රපටය මධුර චාරිකාවක් බවටම පත් වන්නේ, අධ්‍යක්ෂවරයාට තිබෙන සූක්ෂම බුද්ධිමය හැකියාවේ හේතුවෙනි. චාරිකාව පුරා වයෝවෘද්ධ නළුවාට ඔහු සමඟ ගනුදෙනු කරන්නට සිදු වන සියල්ලන්ගෙන් ම ලැබෙන්නේ මහත් කරුණාවකි. ඒ ඔහු දන්නා, වැඩිකොටම නොදන්නා අයගෙන් ලැබෙන ස්වාභාවික නෛසර්ගික මිනිස් ගුණ නිසාමය. චිත්‍රපටයේ සිදු වන සියලු දේ විශ්වසනීය භාවයෙන් යුක්තය. එවැනි මිනිස් ගුණ වෑහෙන සමාජයක් අපේ රටේ සැබවින්ම තිබෙන්නේය යන හැඟීම මා තුළ ජනිත වූයේ නිරායාසයෙනි. ඒ පින් කෙත හෙළ රන් දෙරණේ ඉපදීම ලබන්නට මට හේතු වාසනාවා ලැබීම ගැනයි, මම මේ චිත්‍රපටය බැලීමෙන් ලද උද්දාමයට හේතුභූත වූයේ.

නළු නිළි පිරිස

85 හැවිරිදි විශ්‍රාමික නළුවාගේ භූමිකාව ඇදහිය නොහැකි තාත්විකත්වයකින් රඟ දක්වන්නේ චරිත නිරූපණයෙන් කෙළ පැමිණ සිටින අද්විතීය හේමසිරි ලියනගේ නළුවාය. ඔහුගේ රංගන කාලවේ විශිෂ්ට ලක්ෂණය වන්නේ අමුතු රඟපෑමකින්, කිසිදු ආයාසයකින් තොරව සිය රංගනය අතිශයින්ම ස්වාභාවික අයුරින් සාමාන්‍ය අයුරින් ඉෂ්ට සිද්ධ කර ඔහේ සිටීමයි. ඇත්තම කියතොත් මධුර චරිකා චිත්‍රපටයේදී ඔහු හැසිරෙන ආකාරය, අධ්‍යයනය කර සැබෑ ජීවිතයේදී එසේ කටයුතු කිරීමට හැකි නම් කොපමණ හොඳ දැයි 85 හැවිරිදි මට ද සිතිණි. සැබැවින්ම හේමසිරි ලියනගේ නළුවා මට චර්යා ආකෘතියක් සැපයුවා වැන්න. ඔහුගේ මුනුපුරා ලෙස රඟපාන 8 හැවිරිදි සුදම් කටුකිතුලේ දරුවා සිය භූමිකාව ඉදිරිපත් කරන්නේ තම සීයාගේ චර්යාවට අතිශයින් අනුරූප වන පරිද්දෙනි. මේ රටේ දරුවන් කෙතරම් හපනුන් ද යන්න මම නිරන්තරව සිතන දෙයකි. අපේ පීඩාකාරී අධ්‍යාපන ක්‍රමයත් මාරාන්තික විභාග ක්‍රමයත් නිසා දරුවන්ට සිය ළමා දිවියේ රසාස්වාදය විඳීමට ඇති අවකාශ අහුරා තිබියදීත් මේ ළමා නළුවන් මෙතරම් දක්ෂවීම පිළිබඳ මම අමන්දානන්දයට පත් වෙමි. මේ මොහොතේ මගේ සිහියට නැඟෙන්නේ පුරාණ ග්‍රීසියේ සිටි ප්ලේටෝ නම් දාර්ශනිකයා පැවසූ දෙයකි. එනම් ඔහු ලියූ 'ජනරජය' නම් කෘතියේ සඳහන් පරමාදර්ශී සමාජයේ අවුරුදු 20 වන තෙක් දරුවන් නිරත විය යුත්තේ, ශාරීරික සරඹ හා සංගීතය යන විෂයන්වල පමණක්ය. එවැනි සුන්දර සමාජයක් මේ නූතන ලෝකයේ කවරදා නම් බිහි වේද?

මධුර චාරිකා චිත්‍රපටයේ ක්‍රියාශීලී යථාර්ථවාදී වැඩිහිටි පුත්‍රයාගේ චරිතයට පණ පොවන්නේ නලීන් ප්‍රදීප් උඩවෙල නළුවාය. ඔහු සිය කාර්යභාරය මැනවින් ඉටු කරයි. ඔහුගේ බිරිඳ ලෙසින් රඟපාන්නේ මාධනී මලවත්තගේ නිළියයි. ඇගේ රඟපෑම කෙතරම් තාත්වික ද කියා මට සිතුණේ, චිත්‍රපටියේ ඇය රඟපාන්නේ අපේ ලේළිය අපේ ගෙදර දී කටයුතු කරන අයුරින් වීම නිසයි.

සමාප්තිය

මේ චිත්‍රපටය අරභයා මම උද්දාමයට පත්වීම පිළිබඳ බොහෝ දෙනකු විසින් සිතන දේ මට උපකල්පනය කිරීමට බැරි නැත. එනම් මේ චිත්‍රපටයේ එන විශ්‍රාමික 85 හැවිරිදි නළුවා මගේම වයසේ කෙනකු වන බැවින් මා හට චිත්‍රපට ලෝකය සහ සැබෑ ලෝකය අතර වෙනස අමතක වී චිත්‍රපටය පිළිබඳ 'පිස්සු දෙසනවා' ඇත යන්නයි. ඒ විනිශ්චයේ සත්‍යතාවක් නැතිවාම නොවේ. එහෙත් මගේ ජීවන චක්‍රයේ මේ අවධියේදී මගේ සිතට එන දේ නොවළහා දැක්වීම මට කළ හැකි දෙයකි. මේ චිත්‍රපටය සම්බන්ධයෙන් මා දැන් කරන්නේ එයයි. අපේ රටේ ප්‍රවෘත්ති නමින් බොහෝ විට පළ වන්නේ, ජන ජීවිතය පිළිබඳ සැබෑ තතු නොව ජාන විසින් හෝ පරිසරය නිසා විකෘති වූ අවාසනාවන්ත පුද්ගලයන්ගේ අසුබ තොරතුරුය. ඔවුන් අතින් සිදු වන අපරාධ පිළිබඳවය. එහෙත් මේ රටේ අති බහුතරය බෞද්ධ දර්ශනයෙන් ආභාසය ලබා ජීවත් වන සෞම්‍ය සංස්කෘතියක වෙසෙන මිනිසුන්ය. මානුෂික ගුණ සුවඳ ඔවුන්ගෙන් නිබඳව වහනය වන්නේය. ඒ යථාර්ථය මේ චිත්‍රපටයෙන් මොනවට විශද වන්නේය. කලාවට පැති කිහිපයක් ඇත. එක අතකින් කලාව සැබෑ ජීවිතය අනුකරණය කරයි. එසේම කලාව කලාකරුවාගේ ආධ්‍යාත්මික හරය ප්‍රේක්ෂකයන්ට සම්ප්‍රේෂණය කරයි. කලාවෙන් අධ්‍යාපනික මෙහෙවරක් ද සිදු වන්නේය. මේ චිත්‍රපටයේ ඒ ගුණාංග සියල්ල අඩු වැඩි වශයෙන් අන්තර්ගතය. මේ සියල්ල අබිබවා මේ චිත්‍රපටය අපේ ආවේණික සදාචාරය පිළිබඳ මහඟු පාඩමක් ඉදිරිපත් කරයි. ඒ නිසා මට නිසි බලය තිබුණේ නම්, මේ චිත්‍රපටය 6 ශ්‍රේණියත් 10 ශ්‍රෙණියත් අතර වයසේ පසුවන දරුවන්ට දහම් පාසලේ පාඩමක් ලෙස නැරඹීමට අවකාශ සලස්වමි. ඔවුන් ළමා නළු සුදම් කටුකිතුලේගේ රඟපෑමෙන් උද්දාමයට පත් වනවා නිසැකය. එනිසාම ඔහු අනුකරණය කිරීමට ද යොමු වනු ඇත. එයින් ඔවුන්ට ද සමාජයට ද සිදු වන්නේ යහපත්මය. එනම් අවසාන විග්‍රහයේදී කලාවේ ප්‍රධාන කාර්යභාරය සමාජය යහමඟට යොමු කිරීමය. නැතහොත් නිවනට යොමු කිරීමය. මේ අනුව වර්ණසූරියගේ මධුර චාරිකාව නිවන් චාරිකාවක් බඳුම වන්නේය.