වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබ ඇසිපිය නොහෙළා බැලුවා...

ඔබ ඇසිපිය නොහෙළා බැලුවා...

ආදරේ සංසාරගත බැඳීමක්. එහෙම හිතෙන්න හේතු කාරණා බොහොමයක් තිබෙනවා. දෙසිතක ඉපදෙන ප්‍රේමණීය සිතුවිලි ඒකාත්මික වෙලා සොඳුරු පෙම් ලොවක් මැවෙන හැටි. ඒ පිළිබඳ වැඩිදුර හිතෙන කොට පුදුමයක් කියලත් හිතෙනවා. ලෝකයේ විවිධ තැන්හි ඉපදී හැදී වැඩෙන විවිධ ආගන්තුක පුද්ගල චරිත එකිනෙකා හා සමීපව බැඳ තබන අසිරිමත් බලයක් ආදරයට, ප්‍රේමයට තිබෙනවා. ජීවන ගමන් මඟ කෙතරම් දුර ඇවිද ආව ද සිත් වසඟ කළ ප්‍රේමය හමුවනතුරු සමහරුන් කල් මරන්නේ සංසාරගත බැඳීමක සුපුරුදු සුවඳ දැනෙන තුරා විය යුතුය.
දෙදෙනකු අතර ඇතිවන ප්‍රේමයක ඇති සුන්දරත්වය කෙතරම්දැයි කියවෙන අතිශය ජනප්‍රිය ගීිතයක් නිසාවෙන් මෙකී ආරම්භය සටහන් කරන්නට සිතුවා. මේ ආදරේ කොයි තරම් ද කියා අපට කියනුයේ ජනප්‍රිය ගායන ශිල්පිණී සශිකා නිසංසලාය.

ඔබ මා හමුවුන දා දෑත් දරා
පෙර භවයක බැඳුනා මෙන් දැනුණා
සවනට රහසින් කීවා - මට ආදරෙයි කියා
මට ආදරෙයි කියා

ඔබ ඇස්පිය නොහෙළා බැලුවා . . .
මගේ දෑස් දිහා
මා ඇස් පිය නොහෙළා බලුවා . . .
ඔබෙ දැස් දිහා

සන්සුන් සිතින් සිතමි මුළු රෑ පුරා
දැනෙනා හැඟුම් විඳිමි සිහිනේ සරා
දිගු රැය දිගේ - ඔබෙ රුව මැවේ
පවසන්න ළං වෙලා - මේ තරම් ආදරේ
කොහේදෝ කියා

ඔබ ඇස් පිය නොහෙළා බැලුවා . . .
මගේ දෑස් දිහා
මා ඇස්පිය නොහෙළා බැලුවා . . .
ඔබෙ දෑස් දිහා

සිත් මල් දෙකක් ළං වී සිතැඟි පුරා
කොඳුරා වදන් රැඳෙමී සඟවා නුරා
සඳ දිය පිරේ - ඇස් පිය ඇරී
පවසන්න ළං වෙලා - මේ තරම් ආදරේ
කොහෙදෝ කියා

ඔබ ඇස් පිය නොහෙළා බැලුවා . . .
මගේ දෑස් දිහා
මා ඇස් පිය නොහෙළා බැලුවා . . .
ඔබේ දෑස් දිහා

ප්‍රේමයෙන් සිත් බැඳුනු යුවළකගේ හමුවීමේ ආනන්දය කෙතරම්දැයි මේ ගීතය පුරා විහිදෙනු දක්නට ලැබෙනවා. දෙඅත් පටලවා හමු වුණ මොහොතකම එකිනෙකා කෙරෙහි දැනුණු ආශක්ත බව, ස්පර්ශය, සුවඳ මේ සියල්ල පෙර දිනයක කොහේදී හෝ තමන් විඳි දෙයක්ම යැයි දැනුණේ සංසාරගත බැඳීමකින් බව රචකයා පවසයි. එදිනෙදා ජීවත් වන සමාජය තුළ බැඳීම් අප්‍රමාණයි. හමුවීම්, වෙන්වීම් අප්‍රමාණයි. විරහ වේදනාවන් අප්‍රමාණයි. එහෙත් මේ සියල්ල අතරේ සදා නොමියෙන සෙනෙහසේ බැඳීම් ද අප්‍රමාණයි.

කතා දහසකින් කළ නොහැකි දේ එක ඇස් බැල්මකින් කළ හැකි යැයි අප අසා තිබෙනවා. සත්‍ය ලෙසම වචන නොමැති ඒ අධි බලැති නෙත් කිරණ දෙදෙනෙකු අතර ප්‍රේමණීය සිතුවිලි හුවමාරු කරගත හැකි, ප්‍රේමණීය සිතුවිලි මුසපත් කළ හැකි වාජීකරණයක් ද වෙනවා. දෙදෙනා අතර වන ප්‍රේමණීය ගනුදෙනුවේ උත්කෘෂ්ටය ගී පද රචකයා සටහන් කර තිබුණේ පහත ආකාරයට.

ඔබ ඇස්පිය නොහෙළා බැලුවා . . මගේ දෑස් දිහා
මා ඇස් පිය නොහෙලා බැලුවා . . . ඔබෙ දෑස් දිහා

ජීවයෙන් පිරි මිනිසෙකු ඇසිපිය නොහෙලා සිටිය හැක්කේ ඉතාම සීමිත කාල පරිච්ඡේදයක්. ආදරේ කොච්චර ද කියනවා නම් ඇසිපිය හෙළන ඉසිඹුව ද ප්‍රේමය නමින්ම ඉතිරි කර ගන්නට දෙදෙනාම සූදානම්. මේ ගීතයේ ගීතාත්මක බවින් මෙන්ම පද රචනයේ තිබෙන අලංකාරයෙන් ද හැඩවෙන උත්කෘෂ්ටම ගීත අවස්ථාව වන්නේ ඉහතින් කී කොටසය. සශිකාගේ සුගායනීය ගායන විලාශය ප්‍රේමයේ සොඳුරු ආශ්වාදය රසිකයා වෙත ගෙන යන්නට අති විශිෂ්ට ලෙස දායක වේ.

රාත්‍රිය තරම් ප්‍රේමයේ අසිරියෙන් හදවත පිරිමදින තවත් යාමයක් දිනකට ඇතැයි සිතිය නොහැකිය. රෑ අහසේ, සඳ, තරු මල් කොතරම් නම් ප්‍රේමය වෙනුවෙන් කවියෝ ගී පද රචකයෝ උපමා, උපමේයන් සඳහා යොදාගෙන ඇතිදැයි අපි දන්නවා. ප්‍රේමයෙන් මුසපත් සිත මුළු රෑ පුරාම ප්‍රාර්ථනා කරන්නේ තම සිත් වසඟ කළ ප්‍රේමයේ රුව මැවෙන්න. ඒ රුව මැවේ නම් දිගු රාත්‍රි පුරා සිහිනේම දැවටෙන්න සිත ඉල්ලන ඉල්ලීම අසාධාරණ නෑ නේද, ඒක තමයි ආදරේ.

සශිකා නිසංසලාගේ ආදරණීය හඬට ගී පද රචනයෙන් එක් වී ඇත්තේ ජනප්‍රිය ගීපද රචකයෙකු වන ෂෙහාන් ගලහිටියාවයි. සංගීත නිර්මාණයෙන් ප්‍රියන්ත නාවලගේ එක් වී තිබෙනවා. ෂෙහාන් ගලහිටියාව කලක් පුරා ගීත ක්ෂේත්‍රයේ සැරිසරන අතදැකිම් සපිරි ගී පද රචකයෙක්. ඔහු විසින් මේ ගීතය රචනා කොට ඇත්තේ දැනට වසර 03 ට පමණ ඉහතදීයි. ගීතයේ පසුබිම් කතාව තුළ ඇත්තේ පසුගිය කාලය පුරා මෙරට ගීත ක්ෂේත්‍රය තුළ ප්‍රේම ගීතයන්හි සිදු වූ වෙනසට ප්‍රතිචාරයක් ලෙස මෙය නිර්මාණය වූ බවයි.

ගීතය රචනා වුණ කාලයට සමගාමීව අපට අහන්න ලැබුණු ප්‍රේ්ම ගීත අතර තිබුණේ විරහව, වියෝවීම වැනි කාරණායි. නමුත් මට තිබුණා ඉන් වෙනස් වූ අදහසක්. අපි අතරේ ආදරයේ සොඳුරු ආශ්වාදය විඳින පිරිස් නැත්ද? කියලා. ඉතාම ආදරෙන් ජීවත්වෙන පිරිස් මේ රටේ ඕන තරම් ඉන්නව නේද කියලා හිතලා එවන් ආදරයක් ගැන තමයි මේ ගීතය රචනා කළේ. ආදරය මම දකින්නේ බොහොම උතුම් දෙයක් විදියට. බුද්ධ චරිතයේ එන අනිමිස ලෝචන පූජාව වැනි උතුම් පූජාවක් මට සිහිපත් වෙලා තමයි මේ ගීතයට 'ඔබ ඇසිපිය නොහෙළා බැලුවා' වැනි වචන සහ අරුත් මම යොදා ගත්තේ. ඇත්තටම කිව්වොත් මේ ගීතයට මේ වදන් පෙල මම ලිව්වේ එක සැරයයි. නමුත් සංගීත අධ්‍යක්ෂවරයා වූ ප්‍රියන්ත නාවලගේ ඒ වචන පෙළ කීපවරක්ම මේ ගීතය ඇතුළත යොදවනවා. ඒක නිසා මේ ගීතයට විශාල ආලෝකයක් ලැබුණා කියලා මට හිතෙනවා.'

මේ ගීතය ඇතුළත 'ඔබ ඇසිපිය නොහෙලා බැලුවා' යන වදන් පෙල 18 වතාවක් භාවිතා වෙනවා. නමුත් කිසිදු අවස්ථාවක කිසිවෙකුටවත් එය පුනරුක්තියකැයි නොසිතෙන ලෙසට. අද නොව මතු ද මෙවන් පුනරුත්ති යෙදූ ගීත අපේ ගීත ක්ෂේත්‍රය තුළ හමු වෙනවා. සංගීත් නිපුන් සනත් නන්දසිරි ගයන දූ අනුරාධා . . . ගීතය සේම ප්‍රියා සූරියසේන ගයන 'ආදරණීය නේරංජනා . . . ' ගීතය ද එම ගනයට අයත් වන්නක්. ගීත ඉතිහාසය සොයා බැලුවහොත් තවත් එවැනි ගීත බොහොමයක් ඇති.