වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




ඇත්තටම බිය දැනෙන විශිෂ්ට චිත්‍රපටයක්

ඇත්තටම බිය දැනෙන විශිෂ්ට චිත්‍රපටයක් A Quiet Place

වසර 2020දී ලෝක ජනගහණය විශාල ප්‍රමාණයක් විනාශ වී යන්නේ, මාස තුනක් වැනි කෙටි කාලයකින්. මෙලෙස මනුෂ්‍ය වර්ගයාගේ ජීවිතයට තර්ජන එල්ල වන්නේ පිටසක්වළ ජීවින් පිරිසක් විසින් පෘථිවිය ආක්‍රමණය කිරීම හේතුවෙන්. බුද්ධිමත් ජීවින් කොට්ඨාසයක් වන මෙම පිටසක්වළ ජීවින්ට දෑස් නොපෙනෙන අතර ඉතා සියුම් ශබ්දයට පවා අති සංවේදී වේ.

මෙම ජීවින් ප්‍රමාණයෙන් විශාල වන අතර වේගවත්ය. විනාශ කළ නොහැකි තරමට සම ඝනකමෙන් යුතු ආවරණයකින් වැසී ඇත. ඔවුන් පෘථිවියට පැමිණෙන්නේ තම කුසගිනි නිවාගනු පිණිස මිනිසුන් ආහාරයට ගැනීම වෙනුවෙන්.

මෙම ව්‍යසනය හමුවේ එක්තරා පවුලක් මෙම ජීවින්ගෙන් බේරීමේ සටනකය. පියා, මව, පුතුන් දෙදෙනා සහ බිහිරි දියණිය මෙම දරුණු සත්ත්වයින්ගෙන් බේරී සිටිම වෙනුවෙන් භාවිත කරන්නේ සංකේතාත්මක භාෂාවක්. මනුෂ්‍ය වර්ගයා ආහාරයට ගැනීම වෙනුවෙන් පෘථිවියට පැමිණ සිටින මෙම සත්ත්වයන්ගෙන් තම දිවි බේරා ගැනීමට ඔවුන් කරන්නා වූ සටන රිදී තිරයේ දිග හැරෙන්නේ ඒ A Quiet Place  නමින්. එහි තේමාව වන්නේ, "ඔවුන්ට ඔබ ඇසුණ හොත් ඔවුන් ඔබ දඩයම් කරනු ඇත."

A Quiet Place  මේ වසරේ නිකුත් වූ අමෙරිකානු ත්‍රාසජනක චිත්‍රපටයක්. අමෙරිකානු ජාතික නළුවකු, තිරරචකයකු, නිෂ්පාදකවරයකු වන ජෝන් ක්‍රසින්ස්කි විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට මයිකල් බේ, ඇන්ඩ්‍රෘ ෆ්‍රොර්ම් සහ බ්‍රැඩ් ෆුලර් නිෂ්පාදනයෙන් දායක වී ඇත.

මෙහි අධ්‍යක්ෂ ජෝන් ක්‍රසින්ස්කි වඩාත් ප්‍රසිද්ධ වූයේ NBC  මඟින් විකාශය කළ The Office  (2005–2013) ටෙලි නාට්‍ය මාලාවේ ජිම් හල්පර්ට් ලෙසින්. License to Wed (2007), Leatherheads (2008), Away We Go (2009), It's Complicated (2009), Something Borrowed (2011), Big Miracle (2012), Promised Land (2012), Aloha (2015) වැනි චිත්‍රපටවල ඔහුගේ රංගනයන් කැපී පෙනුණා.

Brief Interviews with Hideous Men (2009), The Hollars (2016)  චිත්‍රපට ඔහුගේ අනෙකුත් අධ්‍යක්ෂණයන්. ඒ A Quiet Place  හි රංගනයේද විශේෂත්වයක් වේ. එනම් එහි ප්‍රධාන නළු නිළි යුවළ වන්නේ අධ්‍යක්ෂ ජෝන් ක්‍රසින්ස්කි සමඟින් ඔහුගේ බිරිය බ්‍රිතාන්‍ය ජාතික නිළි එමලි බ්ලන්ට්.

මෙහි බිහිරි දියණියගේ චරිතයට පණ පොවන්නේ පහළොස් හැවිරිදි අමෙරිකානු යොවුන් නිළියක වන මිලිසන්ට් සිමොන්ඩ්ස්. ඇය උපතින්ම බිහිරි අතර චරිතයේ සුවිශේෂත්වය වෙනුවෙන් අධ්‍යක්ෂවරයා බිහිරි නිළියක පමණක්ම සෙවූ බව පවසනවා. නෝවා ජූප් සහ කේඩ් වූඩ්වර්ඩ් මෙහි පුතුන් දෙදෙනාගේ චරිතවලට පණ පොවනවා. අමෙරිකානු ඩොලර් මිලියන 17ක පිරිවැයකින් නිමවා අප්‍රේල් 06 වැනිදා සිට තිරගත වීම ඇරඹි ඒ A Quiet Place  චිත්‍රපටය දින 14ක් ඇතුළත අමෙරිකානු ඩොලර් මිලියන 162ක ආදායමක් වාර්තා කරන්නට සමත් වි තිබෙනවා. බිහිරි උපදේශකවරුන්ගේද සහය සමඟින් මෙහිදී අමෙරිකානු හස්ත සංඥා භාෂාවක් යොදා ගෙන තිබෙනවා.

මෙම චිත්‍රපටය IMD දර්ශකයේ ප්‍රේක්ෂක මනාපය 8.1/10ක් ලබා ගන්නට සමත් වී ඇති අතර රොටෙන් ටොමැටෝස් වෙබ් අඩවියේ විචාරක මනාපය 95%ක් හිමි වී ඇත. එහි ප්‍රමුඛ විචාරය පවසන්නේ, ඒ A Quiet Place  යනු බෙහෙවින් කලාත්මක ලෙස නිර්මාණය කළ ත්‍රාසජනක චිත්‍රපටයක් බවයි.

සාමාන්‍යයෙන් බියට පත් වන දේ එක්කර බෙහෙවින් බියජනක ලෙසින් නිර්මාණය කරමින් ජෝන් ක්‍රසින්ස්කි තම දක්ෂතාවය පෙන්නුම්කර ඇති බවත් එහි සඳහන්. ද නිව්යෝර්ක් රිපබ්ලික්හි විචාරක ජොසපින් ලිවින්ග්ස්ටෝස් පවසන්නේ, අසාගෙන සිටින ශබ්දයේ බිය ගැන කියන සුවිශේෂ සිනමා නිර්මාණයක් බවයි.

විචාරක පැසසුම් ඉහළින් ලද ඒ A Quiet Place  ගැන තවත් ඉහළ පෙළේ විචාරකයකු වන සෑම් ඇඩම්ස් පවසන්නේ, මෙය බිය යනු කුමක්ද යන්න පෙන්වන සුපිරි ගණයේ ත්‍රාසජනක චිත්‍රපටයක් බවයි. මෙම සිනමා නිර්මාණය හේතුවෙන් සාමාන්‍ය තත්ත්වයේ ත්‍රාසජනක චිත්‍රපට ලැජ්ජාවට පත්වනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සිය විචාරයේ සඳහන් කර සිටී. ග්ලෝබ් ඇන්ඩ් මේල්හි විචාරක ජොහානා ස්නෙලර් පවසන්නේ, ඒ A Quiet Place  ආතතිය ඇති කරවන සිනමා නිර්මාණයක් මෙන්ම අලුත්ම ආකාරයේ විනෝදයක් ද ගෙන දෙන තැනකට කැඳවා ගෙන යන්නට සමත් වී ඇති බවයි.