වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ පොරොන්දුව ඔයාට මතකද

ඒ පොරොන්දුව ඔයාට මතකද

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුන් සොයාගනියි. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නේය. පිටකොටුවේ සාප්පුව තම අතට ගන්නට සිතන බිනරි නිවස අලුත්වැඩියාවට ඩික්සන් නම් තරුණයකුට පවරයි. අනතුරුව ඩික්සන් එම නිවසේම පදිංචි වෙයි. බිනරිගේ පැරැණි මිතුරෙකු වූ දර්ශන චිත්‍රපටයක් නිපදවීම ඩික්සන් පොලොඹවා ගැනීමට උත්සහා කරයි. එහි දුෂ්ටයා වනුයේ ඩික්සන්ය. නිෂ්පාදිකාව බිනරි.

අද එතැන් සිට...

‘බිනරි’

මෝටර් රථයේ සිටි තැනැත්තා යළිත් හඩ ගෑවේය.බිනරි ඔහු සමීපයට ආවාය.අවුරුදු ගණනක් ගත වූ අන්දම ඇයට සිතිණ. ඔහු වෙනදාට වඩා පැහැපත්ය.සුන්දරය.ඔහු හොදින් ඇඳ පැළඳ සිටියි.

‘විනෝද්’

ඇයට කියැවිණ.ඔහු ගේ මුහුනේ මද සිනහවක් නැගිණ.ඔහු සිටිනුයේ නවීනතම පන්නයේ මෝටර් රථයකය.අවුරුදු ගණනාවකට ඉස්සර දැක්ක විනෝද් සහ අද විනෝද් අතර වෙනසක් නැත.ඔහු වෙනදටා වඩා තරුණ පෙනුමෙන් පාටය.එහෙත් එදා දුප්පත්කමින් බැට කෑ ඔහු අද පොහොසත් කමින් පිරුණු සැටියකි.එයට සාපේක්ෂ්ව තමාගේ ජීවිතය වෙනස්ව ගොසිනි.

ඔහු ගේ වාහනයේ ඉදිරිපස කෙනෙකු වාඩිවී සිටියි.පසුපස ද දෙන්නෙකි.මේ සියල්ලම තරුණයන්ය.

‘නගින්න.අපි පස්සේ කතා කරමු.’

පසුපසින් පැමිණි මෝටර් රථයක් තම මග අවුරා ඇති විනෝද්ගේ වාහනය නිසා උරණව නළාව නාද කරයි.

‘බල බල ඉන්න එපා නගින්න’

එය විධානයකි.බිනරි දෙවරක් නොසිතුවාය.ඇය රථයේ අනිත් පසින් ඉදිරියට ආවාය. ඉදිරි අසුනේ සිටි තරුණයා රථයෙන් බිමට බැස පසු අසුනට ගියේය.ඔහු දෙස නොබැලූ බිනරි ඉදිරි අසුනේ වාඩි වුවාය.රථය ඉදිරියට ඇදිණ.

‘බෙල්ට් එක දාගන්න.නැත්නම් මේක ඉස්සරහට යන්නේ නෑ’

විනෝද් පැවසුවේය.ඇය රිය අසුනේ ආරක්ෂිත පටිය බැද ගත්තාය.පසුපසින් සිටි කරදරකාරි රියැදුරු නොරිස්සුම් සහගතව යළිත් නලාව නාද කළේයඒ සමගම මග අවුරන රතු සඥාවට පෙරාතුව කහ එළිය වැටිණ.විනෝද් ගේ රථය තහනමට පෙරාතුව ඉදිරියට ඇදිණ.ඉක්මන් කාරයා තදින් නලාව ඇඹුවේ නොරිස්සුම පහවයන්නටය.ඉදිරියට ඇදුණ රථයේ සිටි සියල්ලන්ගේම මුහුණු වල සතුටු සිනහවක් නැගිණ.බිනරි වටපිට බැලුවේ සෙස්සන් කවුදුයි හදුනා ගන්නට මෙනි.එක් අයෙකුගේ කණ පැළදි කරාබුවත් කහ පැහැති කොණ්ඩයත් දුටු සැනින් බිනරි ගේ සිතට බියක් ඇතිවිණ.රථය ඉසව්වක් නැතිව ඉදිරියට ඇදෙයි.

‘අනේ මම හදිසියේ බැංකුවට ආපු ගමන්.මේ කොහේද යන්නේ’

බිනරි ඇසුවේ බැගැපත් වන විලාසයකිනි.

‘කොහේට යනවා කියලා හිතාගෙන ද නැග්ගේ’

විනෝද් පෙරළා ප්‍රශ්ණ කළේය.

‘එහෙම නෙමේ ඔයාව දැක්ක කතා කළාම.අරහේ වාහන හෝන් ගහනවා.මට නිනව් නැති වුණා’

බිනරි නිදහසට කරුණු කියන්නට තැත් කළාය.රථයේ ඇති විලවුන් නාස් පුඩු සිසාරා යයි.විනෝද්ට ජය පාටය.

‘මේ තමයි බිනරි.මං කිප වතාවක්ම උඹලට කියලා ඇති.අපි ඉස්සර නාට්‍ය කළා.බිනරි මේ මගේ බොක්කවල්.මං වෙනුවෙන් පණ වුනත් දෙයි’

ඔහු සිය සගයන් හඳුන්වා දුන්නේය.

‘අනේ මං බහින්නං.අපි විනෝද් හම්බ වෙමු.ඔයා එන්න අපේ ගෙදර’

එබසට විනෝද් සිනහවුයේය.

‘අපි අවුරුදු කීයකට පස්සේද බිනරි හම්බ වුණේ.’

ඔහු රථය පාර අයිනේ නතර කළේය.සගයෙක් රථයෙන් බැස්සේය. ඔහු හතර අත දෙස විමසිලිමත් වන අයුරු බිනරි දුටුවේ නැත.අනතුරුව ඔහු ඉදිරිපස අසුනේ සිටි විනෝද් ගේ කවුළුව දෙසින් එබි කම් කළේය.රථයේ විදුරුව පහත් විය.ඔහු විනෝද්ට යමක් මුමුණනු බිනරි බලාගෙනය.යාබද අසුනේ සිටිය ද බිනරිට එය නොඇසිණ.

‘කවද්ද මට බිනරි මුණ ගැහෙන්නේ ?’

ඔහු බිනරිගෙන් ප්‍රශ්න කළේය.බිනරි උත්තරයක් දුන්නේ නැත.

‘දැන් මේ කොහේද යන්නේ’

ඔහු අනතුරුව ඇසුවේය.

‘බැංකුවට’

‘එහෙනම් දැන් හොදට සල්ලි ඇති’

ඔහු සිනහසුනේය.

‘අපි ෆිල්ම් එකක් කරනවා’

ඇය පැවසුවාය.

‘මට ආරංචියි’

‘අපේ දසයාට තමා බාර දුන්නේ

‘ඒකත් මට ආරංචියි’

‘කවුද දසයා ද කිවවේ’

‘ඌ හම්බ වෙච්ච කාලයක් මතක නෑ.ඒ වුනාට මට ආරංචි වෙනවා.හැබැයි නාට්‍යයක් ෆිල්ම් එකක් නම් බලපු කාලයක් මතක නෑ.’

අනතුරුව ඔවුන් එකිනෙකාගේ මුහුණ බලා ගත්හ.අවුරුදු ගණනාවකට පසු එක්තරා අවධියක තමන්ගේ හොදම මිතුරන් මුණ ගැසි තිබේ. නාට්‍යකරුවකු වීමේ අභිලාෂයෙන් යුතුව තමා හමුවට පැමිනි විනෝද් එයින් වෙනතක ගියේ දෛවෝපගත ආකාරයටයය.ඔහුගේ අසරණ මොහොතේ තමා ඇඟ ගලවා ගත්තේයැයි බිනරිගේ සිත දොස් පවරන්නට විය.

‘ගියදේ ගියාවේ බිනරි මතකද මම කිව්වා කවදා හරි දවසක ඔයාට ෆිල්ම් එකක් ප්‍රොඩියුස් කරනවා කිව්වා’

බිනරි ගේ මුහුණේ සිනහවක් ඇදිණ.

‘දැන් ඔයාම ප්‍රොඩියුස් කරනවා.හොඳයි.මොකද අද බැංකුවට යන්නේ’

බිනරි පසු අසුන බැලුවාය.ඔහුගේ සගයන් සියල්ලම රථයෙන් බැස ගොස් අවටින් සිටිති.ඒ නිසා රහසක් වුව කිව හැක.

‘මාලේ උකස් කරන්ඩ’

ඇයට සුසුමක් හෙළිණ.මේ මාලය ඇය කරමත වැටුණේ ඇය වැඩිවිය පැමිණි දිනයේය.

‘ඉන්ඩ මං බැංකුවට ඇරලන්නම්’

ඔහු අනතුරුව අතින් කළ සඥාවකින් සගයන් වාහනයට නැග ගත්හ.රථය ආපසු කැරකැවී බැංකුව අද්දරට ගියේය.බිනරි රථයෙන් බසින්නට සැරසිණ.ඔහු අතින් අල්ලා ඇය නතර කළේය.අනතුරුව තම කමිස සාක්ක්වෙන් ගත් අලුත්ම මුදල් මිටියක් ඇය අත තැබුවේය.

‘මාලේ උකස් කරන්ඩ එපා.මේ සල්ලි වලින් වැඩේ කර ගන්ඩ.මම හෙට අනිද්දා ගෙවල් පැත්තේ එන්නම්.’

බිනරි තුෂ්නිම්භූත වූවාය.

‘ඇයි මගේ සල්ලි වල බැංකුවේ අත්සන නැත්ද ? මොකද මම පොරොන්දු වුණා.ඔයාට කවදා හරි දවසක ෆිල්ම් එකක් කරන්ඩ සල්ලි දෙනවා කියලා’

ඇයට හැඩුම් යන්නට ආවත් එය වලක්වා ගත්තාය.

‘ඒ පොරොන්දුව ඔයාට මතකද’

අනතුරුව ඇය විමසුවාය.ඔහු කිසිත් නොකියා හිස සැලුවේය.අනතුරුව ඇයට බසින්නට රථයේ දොර විවර කළේය.ඇය බැස ගත් පසු කලින් ඔහුගේ ඉදිරි අසුනේ සිටි තරුණයා යළි අසුනට නැංගේය.තමා පසුකර යන රථය දෙස බිනරි බලා සිටියාය. අතට පත් මුදල් මිටිය නොවිමසාම තදින් මිටින් තර කළ ඇය එය පරිස්සමට අත් බෑගයෙහි ලෑවාය.