වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




අන්දරේගේ අක්කණ්ඩි පෝෂිණි දිසානායක

අන්දරේගේ අක්කණ්ඩි පෝෂිණි දිසානායක

මම රඟපෑවට ඒවා වැඩිපුරම බලන්නේ මගේ අම්මා. මං ආසාවෙන් කැමරාව ඉදිරිපිට රඟපෑම විතරයි කරන්නේ. එතකොට විහිළුවෙන් තහළුවෙන් ඉන්නවා. නමුත් ඒවා නරඹන්න කම්මැළියි මට.

මේ දිනවල තිරගත වන පුංචි අන්දරේ සිනමාපටය ඔස්සේ ඇයව ඔබට හමු වෙයි. ඒ අන්දරේගේ අක්කණ්ඩි හැටියටය. නමින් පෝෂිණි දිසානායක වන ඇය සිය රංගන ගමන අරඹන්නේ අදින් වසර අටකට පමණ පෙරය. හීරෝ නීරෝ පෝෂිණිගේ පළමු සිනමාපටය වන්නේය.

* පෝෂිණි කොහොමද මේ දිනවල ජීවිතේ?

මේ දවස්වල පොඩි විවේකයක් තියෙනවා. ඒ නිසා ගමේ ආවා.

* පුංචි අන්දරේ සිනමාපටය මේ දිවල තිරගත වෙනවා නේද?

ඔව්. ඒක මගේ දෙවැනි සිනමාපටය. පළමුවැන්න හීරෝ නීරෝ. ඒකෙ මං රඟපාද්දී ගොඩක් පොඩියි.

* කෙහොමද පුංචි අන්දරේ චිත්‍රපටය සඳහා ඔබට අවස්ථාව ලැබුණේ?

පුංචි අන්දරේ චිත්‍රපටයට පිරිස බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් තිබුණා. මාව ඒ සඳහා යොමු කළේ සෑම් පෙරේරා මහත්මයා. චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුමිත් රෝහණ මහත්මයා එදින මාව මේ චරිතයට තෝර ගත්තා.

* අන්දරේගේ අක්කා හැටියට ඔබ ආසාවෙන්ද රඟපෑවේ?

අනේ ඔව්.

* ඒත් ලොකේෂන් එකේ පිටි කෙටුවේ අමාරුවෙන්ලු නේද?

ඔය අහන්නේ පිටි කොටන දර්ශනය ගැනනෙ. මං කලින් පිටි කොටලා නැහැ වංගෙඩියක. මට ඒක නුහුරු කටයුත්තක්. අන්තිමේ පැය භාගයක් විතර පුරුදු වුණා පිටි කොටන්න. ඊට පස්සෙයි රඟපෑවේ.

* පෝෂිණි පුංචි වියේදීම නේද රඟපාන්න ආවේ?

ඔව්. එතකොට මගේ වයස අවුරුදු එකොළහයි.

* රංගනයට පොඩි කාලේ ඉඳලා සිහින මැව්වද?

අනේ නැහැ. මගේ අම්මා හරි ආසයි මං රඟපානවට. ඇගේ ඉල්ලීමට තමයි මං මේ රඟපාන්නේ. අම්මා ආසයි මං කවදා හරි ජනප්‍රිය නිළියක් වෙනවට. මමත් ඉතින් අම්මගේ බලාපොරොත්තු ඉටු කරන්න රඟපානවා.

* අම්මා එපා කිව්වොත් රඟපාන එක නවත්වනවද?

අනිවාර්යයෙන්ම. මම රඟපෑවට ඒවා වැඩිපුරම බලන්නේ මගේ අම්මා. මං ආසාවෙන් කැමරාව ඉදිරිපිට රඟපෑම විතරයි කරන්නේ. එතකොට විහිළුවෙන් තහළුවෙන් ඉන්නවා. නමුත් ඒවා නරඹන්න කම්මැළියි මට.

* ළඟදී ටෙලි නාට්‍යවල රඟපෑවේ නැතිද?

රඟපෑවා. උරුමයක අරගලය නාට්‍යයේ රඟපෑවා. ඒකෙ කුසුමෙ කියලා චරිතයක් කළේ.

* පෝෂිණි ඉන්න ඉදිරියේදී විකාශයවීමට නියමිත ටෙලි මොනවද?

රන් හිරු රැස්, සියක් අඹර, වැහි බිත්තර තව කිහිපයක්ම තියෙනවා.

* පෝෂණිගේ දැන් වයස කීයද?

මට තවම 21 යි.

* රංගනය වෘත්තීය කරගන්නද අදහස?

එහෙමම නැහැ. මට අවස්ථාව ලැබෙන පරිදි රඟපානවා.

* රංගනය වෘත්තීය කරගන්න අපහසු ලැබෙන ආදායම ප්‍රමාණවත් නැති නිසාද?

ඒකත් එක හේතුවක්. අනික මං රඟපාන්නේ මට තෘප්තිමත් විය හැකි චරිත පමණයි. ලැබෙන සෑම ආරාධනාවක්ම බාර ගන්නේ නැහැ. ඒ නිසා රංගනය වෘත්තීය කරගන්න අමාරුයි.

* පෝෂිණි රඟපෑ තවත් චිත්‍රපටයක් තිරගතවීමට තිබෙනවා නේද?

ඒකෙ නම පාටක් නැති ආදරයක්. වී. සිවදාසන් මහත්මයා තමයි එය අධ්‍යක්ෂණය කළේ. මං එහි පෙම්වතියක්.

* අම්මා මොන වගේ ප්‍රතිචාරයක් ද දැක් වූයේ ඔබේ ඒ ආදරබර චරිතයට?

අම්මා දන්නවා මං ඒ කළේ රඟපෑමක් විතරයි කියලා. අම්මාගෙන් විශේෂ ප්‍රතිචාරයක් නැහැ.

* පෝෂණිගේ පදිංචිය කොහේද?

මං ජාඇල කොටුගොඩ අයියෙ.

* මොනවද ඉදිරි බලාපොරොත්තු?

මගේ නෙවෙයි අම්මගේ බලාපොරොත්තු ඉටු කරමින් හොඳම නිළිය වීම තමයි අධිෂ්ඨාන කරගෙන ඉන්නේ.

* ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දුන්නොත්?

ටිකක් වස කෙනෙක්.