වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ටීම් වර්ක් එකක්

ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ටීම් වර්ක් එකක්

දිස්නා යමුනා කුමාරි

අද අපේ විශේෂාංගයට නිවේදිකාව සොයා ගත්තේ ජාතික නාළිකාවෙන්. ඇගේ නම දිස්නා යමුනා කුමාරි. ඇගේ නිවේදන ජීවිතය ආරම්භ වන්නේ පාසල් අවධියේමයි. එහෙත් කලක් ඉන් ඈත්වන ඇය වෙනත් වෘත්තීයකට යොමු වෙනවා. පසුකාලීනව දෛවය විසින් දිස්නාව නැවතත් නතර කරන්නේ ජාතික නාළිකාවේ. එතැන් පටන් කතාව දිස්නා කියාවි.

දෙදහස් එක වසරේදියි මං හා හා පුරා කියලා ප්‍රවෘත්ති කිව්වෙ. එතකොට මං ඉස්කෙලේ යනවා. දිනපතා ළමා ප්‍රවෘත්ති කිව්වා. හරියටම අවුරුදු තුනක් එලෙස නිවේදිකාවක ලෙසින් කටයුතු කළා. පසුකාලීනව බෞද්ධ පුවත් ඉදිරිපත් කළා.

මේ කාලයේම ඔබ නිවේදනයට සමු දෙනවා?

ඔව්. නිවේදිකාවක ලෙසින් කටයුතු කළේ මට හැකියාවක් තියෙනවා කියලා දැනගත්ත නිසා. නමුත් මං ප්‍රිය කළේ ගුවන් හමුදාවට බැඳෙන්න. ඒක මගේ පුංචි කාලයේ පටන් තිබුණු හීනයක්. මං ගුවන් හමුදාවේ නිල ඇඳුමට බෙහෙවින් ආදරය කළා. ඒ නිසා ගුවන් හමුදාවට කොහොම හරි බැඳෙනවා කියලා හිටියා. ඊට පසුව පාසලෙන් ඉවත් වූ වහාම ඒ රැකියාවට ගියා.

ඔබ ගුවන් හමුදාවේ සේවය කරන්නේ අවුරුදු පහයි?

අපේ ගෙදරින් කැමැති වුණේ නැහැ මං ගුවන් හමුදාවේ සේවය කරනවට. ඉතින් අවුරුදු පහක් වැඩ කරලා ඉන් මං සමුගත්තා.

ඔබ ඉන් පසු ආයෙත් රූපවාහිනියට එනවා?

පරණ පුරුදු තැනට මං ආවේ නිවේදිකාවක් වෙන්න. හැබැයි මං කලක් ප්‍රවෘත්ති කිව්වා කියලා නැහැ, ආයෙත් මං එතැනට එද්දී මාව වොයිස් ටෙස්ට් එකක් කරලා තමයි ආවේ.

ජාතික නාළිකාවට ඇවිත් ඔබේ ජීවිතයේ දෙවැනි ගමන ඇරැඹීමෙන් පසුව මොනවද ඔබ මුලින්ම ඉදිරිපත් කළේ?

ප්‍රවෘත්තිම තමයි. මට පැයෙන් පැය ප්‍රවෘත්ති කියන්නට ලැබුණා.

ඒ අතර ඔබට හදිසියේම ප්‍රධාන ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා.

ඔව්. ඒක ඉතාම අහම්බයක්. 2014 වසරේදියි ඒක වුණේ. එදා දවස හරියටම මට මතක නැහැ. කොහොම හරි රාත්‍රී අට ප්‍රවෘත්ති කියන්න හිටපු නිවේදිකාවට තමන්ගේ ඩියුටි ටයිම් එක අමතක වෙලා. මට හදිසියේම ඇරැයුමක් ලැබුණා ඇගේ අඩුවට. අභියෝගයන් බාරගන්න නෑ බෑ කියන්නෙ නැහැ. ඉතින් මං එවලෙම ඇවිත් ලැහැස්ති වෙලා ප්‍රධාන පුවත් කිව්වා.

නිවුස් කියද්දී වැරැදීම් වෙලා නැද්ද?

වරැදුණු අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම සංඛ්‍යා ලේඛන වගේ. නමුත් සමාවෙන්න කියන වචනය කියන්න තරම්ම මට වැරැදිලා නැහැ.

සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති නිවේදිකාවකට වැරැදුණොත් මොකද කරන්නේ?

එතකොට ප්‍රවෘත්ති වාර නවත්වනවා. කාලයක් යනකම් ප්‍රවෘත්ති කියන්න තහනම් වෙනවා.

ගුවන් හමුදාවේ සිටිය අවුරුදු පහ තුළ ඔබ ප්‍රවෘත්ති නිවේදනයේ යෙදුණා නම් මීට වඩා තැනක් අත්පත්වන්න තිබුණා නොවේද?

මම එහෙම හිතන්නේ නැහැ. ගුවන් හමුදාවේ සිටිය කාලය ඇතුළත මං ජීවිතයට බොහෝ දේ එකතුකර ගත්තා. ඒක ආයේ හිතා ගන්නවත් බැරි අත්දැකීම් කන්දක්. ඒ පන්නරය මට ප්‍රවෘත්ති නිවේදනයේදී ඉතා වැදගත් වුණා. විශේෂයෙන්ම ටීම් වර්ක් එකකදී. ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමත් ටීම් වර්ක් එකක්. ඒ හින්දා මට හිතෙන්නේ නැහැ කවදාවත්ම අවුරුදු පහක් අපතේ ගියා කියලා.

දිස්නාගේ ගෙවල් කොහේද?

මං පොල්ගස්ඕවිට.

ඉගෙන ගත්ත පාසල?

කැස්බෑව හර්මන් මයිනර් විදුහල.

මොනවද අනාගත බලාපොරොත්තු?

හැදෑරීම තුළින් ඉදිරියට යාම . මං අදටත් ගෙදර ඉද්දී තනිවම ප්‍රවෘත්ති කියනවා මටම පේන්න. ඒ ඉගෙන ගැනීම තුළින් කවදා හරි මතක හිටින දෙයක් කරනවා.

ඔබේ නිවේදන ජීවිතයට ගෙදරින් මොන වගේ සහායක් ද ලැබෙන්නේ?

අම්මා තමයි මගේ සෙවණැල්ල. ඇය මට බොහෝ සෙයින් උදව් කරනවා. මේ පැත්තෙන් ඉදිරිය දකිනවට ඇය කැමැතියි.

අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

අපේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂර්ලි අනිල් ද සිල්වා මහත්මයාව මතක් කරන්නට කැමැතියි. ඒ වගේම ජාතික නාළිකාවේ ප්‍රවෘත්ති අංශයේ සියලු දෙනාට තුති පුදන්න මෙය මා අවස්ථාවක් කර ගන්නවා.