වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට

දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට

අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කමිටු වාර්තාව (2 කොටස)

පසුගිය සතියෙන්...

07. චිත්‍රපට රූගත කිරීමේදී නිර්මාණකරුවන්ට විවිධ අධිකාරින්ගෙන් අවහිිරතා සහ බලපෑම් සිදු වීම.

චිත්‍රපට රූගත කිරීමේදී, නිර්මාණකරුවන්ට විවිධ අධිකාරින්ගෙන් නොයෙකුත් ගැටලුවලට මුහුණපෑමට සිදු වී ඇත. ඇතැම් අවස්ථාවලදී චිත්‍රපටයක රූගත කිරීම අත්හිටුවීම දක්වා මෙම තත්ත්වය උග්‍ර වී ඇත.

නිර්දේශය:

චිත්‍රපට රූගත කිරීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් බලපත්‍රයක් නිකුත් කිරීම සහ එම බලපත්‍රය අන් සියලු අනුමැතියන් සඳහා වලංගු වන ක්‍රමවේදයක් සකස් කිරීම. (ජාතික ආරක්ෂක අමාත්‍යාංශය හා ආරක්ෂක සේවා වෙතින් ලබාගත යුතු අවසරයන්ට හැර)

පෞද්ගලික මට්ටමින් රූගත කිරීම් සඳහා එක් එක් අධිකාරීන් වෙතින් අවසර ලබා ගැනීමට ඇති හැකියාව මෙමගින් අවලංගු නොවේ.

වගකීම: රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව

08. විදේශීය චිත්‍රපට ආනයනය, ප්‍රදර්ශනය සහ බෙදා හැරීම විධිමත් පරිදි සිදුනොවීම

විදේශීය චිත්‍රපට ආනයනය සහ බෙදා හැරීම විධිමත් ක්‍රමවේදයක් අනුව සිදු නොවන තත්ත්වයකට පත්ව ඇත. ආනයනික චිත්‍රපට ආනයනික චිත්‍රපට ප්‍රදර්ශනය වන සෑම සිනමා ශාලාවකටම නොලැබීම මෙන්ම දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය වන සිනමා ශාලාවල ආනයනික චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් දිනෙන් දින ගැටලු මතුවෙමින් ඇත.

නිර්දේශය:

දිවයිනේ සමස්ත තිරකාලයෙන් දේශීය චිත්‍රපට සඳහා ක්‍රියාත්මක 60% තිර කාලය කිසිදු වෙනසකින් තොරව එලෙසම පවත්වාගෙන යෑම.

දේශීය චිත්‍රපට සඳහා වෙන් වූ සිනමා ශාලාවලට ආනයනික චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා රාත්‍රී 9.30 දර්ශන වාරය ලබාදීම.

ආනයනික චිත්‍රපට සම්බන්ධයෙන් ක්‍රියාත්මක ආදායම් බෙදී යාමේ ප්‍රතිශතය කිසිදු අයුරකින් සංශෝධනය කිිරීම සඳහා ආනයනකරුවන්ට අවසර ලබා නොදීම.

වගකීම: රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව

09. දේශීය සිනමාවේ ගුණාත්මක වර්ධනය සඳහා කටයුතු කිරීම

සිනමා කර්මාන්තය තුළ දේශීය සිනමා සඳහා ප්‍රමුඛ ස්ථානයක් ලැබිය යුතුය. ආනයනික චිත්‍රපට සහ විකල්ප සිනමා ක්‍රමවේද දේශීය සිනමා කර්මාන්තයට තර්ජනයක් වන තත්ත්වයකට පත් වී ඇත.

දිනෙන් දින සිනමාවෙන් වත්මන් තරුණ පරපුර ඈත්වන තත්ත්වයක් දක්නට ලැබෙන අතර වත්මන් තරුණ පරපුරට සිනමාව හැදෑරීම සඳහා උනන්දු කරවීම සඳහා කිසිදු සංවිධානාත්මක ජාතික වැඩ පිළිවෙළක් නොමැත. කලාපීය රටවල සිනමාව ඉහළ තලයට ගමන් කරමින් පවතින විට දේශීය සිනමාව පසුබෑමකට ලක්ව තිබීම.

නිර්දේශය:

කුසලතා පූර්ණ සිනමාකරුවන් දිරි ගැන්වීමටත්, ප්‍රශස්ත සිනමා නිර්මාණ බිහි කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා අනුග්‍රහය ලබාදීමටත් ක්‍රමවේදයන් සකස් කිරීම.

දමිළ චිත්‍රපට සහ ඉංග්‍රීසි චිත්‍රපට දේශීයව නිෂ්පානය සඳහා දිරි ගැන්වීම.

අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සිනමා කලාව පාසල් විෂයක් බවට පත් කිරීමට කටයුතු කිරීම.

ජාතික චිත්‍රපට සංස්ථාවට අනුබද්ධව ආරම්භ කරනු ලබන සිනමා පාසල තුළින් සිනමාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදීම.

පාසල්, විශ්වවිද්‍යාල, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන, කලා සංගම් මාධ්‍යයෙන් සිනමා රසවින්දන වැඩසටහන්, සම්මන්ත්‍රණ, වැඩමුළු රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීම.

රූපවාහිනී මාධ්‍යයෙන් සිනමාව සම්බන්ධයෙන් අධ්‍යාපන සහ ප්‍රචාරාත්මක වැඩසටහනක් ඇති කිරීම.

වගකීම: රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව

10. ව්‍යාජ සහ අනවසර ඩී. වී. ඩී. පට වෙළඳපලට නිකුත්විම තුළින් සිනමාපටයෙහි නිර්මාණ සහ වාණිජ වටිනාකමට හානි සිදු වීම.

දේශීය චිත්‍රපට මෙන්ම විදේශීය චිත්‍රපට සිංහලෙන් හඬකවා එම ඩි. වී. ඩී. පට පාලනයකින් තොරව වෙළඳපලට නිකුත් කිරීම සිනමා කර්මාන්තයේ පැවැත්ම සඳහා විශාල තර්ජනයක් වී ඇත.

නිර්දේශය:

සියලුම දේශීය / විදේශීය චිත්‍රපට, ඩී. වී. ඩී. පට නිෂ්පාදනය, බෙදා හැරිම සහ අලෙවිය ජාතික චිත්‍රපට සංස්ථාව, රූපවාහිනී සංස්ථාව හෝ වෙනත් අධිකාරියක නිසි ක්‍රමවේදයක් අනුව ලියාපදිංචි කිරීමෙන් පසුව පමණක් ක්‍රියාත්මක කිරිම.

එවැනි අවසරයක් නොමැති ඩී. වී. ඩී. පට විනාශ කිරීම හෝ රාජසන්තක කිරීමට නීති සකස් කිරීම.

වගකීම: රාජ්‍ය පරිපාල හා කළමනාකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව

11. නව බදු පනත මඟින් සිනමා කර්මාන්තය සඳහා මෙතෙක් ලබා දුන් බදු සහන ඉවත්කර තිබීම.

සිනමා කර්මාන්තය සඳහා මෙතෙක් ලබාදුන් බදු සහන, නව බදු පනත මඟින් ඉවත් කර තිබීම මත ආයෝජකයන් චිත්‍රපට කර්මාන්තයෙන් ඉවත් වන තත්ත්වයක් උද්ගත වී ඇත.

එමෙන්ම විදේශීය චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා කිසිදු දිරි ගැන්වීමක් නොමැති බැවින් විශාල විදේශ විනිමය ඉපයිය හැකි මාර්ගයක් ජාතික ආර්ථිකයට අහිමි වී ඇත.

නිර්දේශය:

බදු පනත මඟින් ඉවත් කළ සිනමා කර්මාන්තයට අදාළ සියලු බදු සහන නැවත ස්ථාපිත කිරිම.

විදේශීය චිත්‍රපට මෙරට දී නිෂ්පාදනය සඳහා බැංකු මඟින් නිසි ක්‍රමවේදය තුළ ආයෝජනය කරනු ලබන අවස්ථාවලදී ඒ සඳහා දිරි ගැන්වීම සඳහා බදු සහන ලබාදීම සහ චිත්‍රපට රූගත කිරීමට අදාලව පහසුකම් සැපයීම.

වගකීම: මුදල් අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව

12. සිනමා ශාලා වෙතින් විදුලි ගාස්තු අය කිරීම වාණිජ පදනම මත සිදු කිරීම.

සිනමා ශාලා වෙතින් විදුලි ගාස්තු අය කිරීම වාණිජ පදනම මත සිදුවේ. දැනට පවතින තත්ත්වය මත සිනමා ශාලා හිමියන්ට මෙම විදුලි ගාස්තු දැරිය නොහැකි මට්ටමක පවතින බැවින් ඒ සඳහා සහනයක් ලබාදෙන ලෙසට සිනමා ශාලා හිමියන් විසින් නිරන්තරයෙන් ඉල්ලීම් කරනු ලැබේ.

නිර්දේශය:

සිනමා ශාලාවලින් විදුලි ගාස්තු අය කිරීම කර්මාන්ත පදනම මත සිදු කිරීම.

ග්‍රාමීය සිනමා ශාලා සඳහා සූර්යබලය යොදා ගැනීම සම්බන්ධයෙන් උනන්දු කරවීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කිරීම

වගකීම: රජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව

13. මතු පරපුර සඳහා සිනමා නිර්මාණ සංරක්ෂණය නොවී තිබීම

මේ දක්වා චිත්‍රපට 1250 ට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය වී ඇතත්, ස්ථිර වශයෙන් ආරක්ෂා කිරීම සඳහා ජාතික ලේඛනාගාර සංරක්ෂණාගාරය වෙත යොමු වී ඇත්තේ චිත්‍රපට 500 ට අඩු ප්‍රමාණයකි.

නිෂ්පාදනය වන සෑම චිත්‍රපටයකම පිටපතක් සංරක්ෂණය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවට යොමු නොවන බැවින් සහ ඇතැම් චිත්‍රපවල අයිතිය සම්බන්ධයෙන් ගැටලු පවතින බැවින් චිත්‍රපට ස්ථිර ලෙස ආරක්ෂා කිරීම සඳහා යොමු කිරීමට නොහැකි වී ඇත.

සෙලියුලොයිඩ් මාධ්‍යයෙන් නිපදවන ලද චිත්‍රපට පමණක් නොව ඩිජිටල් මාධ්‍යයෙන් නිෂ්පාදනය වන චිත්‍රපට ද සංරක්ෂණ කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් විය යුතු වේ.

නිර්දේශය:

පැරැණි චිත්‍රපටවල අයිතිය සම්බන්ධයෙන් ගැටලු පවතින බැවින් ස්ථිර ලෙස ආරක්ෂා කර ගැනීම සඳහා එම පිටපත් ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම.

නිෂ්පාදනය කරනු ලබන සෑම දේශීය චිත්‍රපටයකම පිටපතක්, ස්ථිර වශයෙන් ආරක්ෂා කිරීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවට යොමු කිරීමට නීති සකස් කිරීම.

හානියට පත්ව ඇති සියලුම චිත්‍රපට ප්‍රතිෂ්ඨාපනය ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිදු කිරීම.

චිත්‍රපට සංරක්ෂණයේදී ජාතික වැදගත්කමක් සහිත චිත්‍රපට රාජ්‍ය මැදිහත්වීම මත සිදු කිරිම සහ අනෙකුත් චිත්‍රපට ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීම සඳහා වන වැය, රජය සහ නිෂ්පාදක යන දෙපාර්ශවය විසින් දැරීම.

චිත්‍රපට සංරක්ෂණය සඳහා කරනු ලබන ආයෝජන සඳහා බදු සහන ලබාදීමට යෝජනා කිරීම.

වගකීම: රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව

14. අක්‍රමවත් ලෙස චිත්‍රපට දර්ශන තිරගත කිරීම

සමහර සිනමා ශාලා හිමියන් තම අභිමතය පරිදි චිත්‍රපට දර්ශන වෙනස් කිරීම මඟින් නිර්මාණකරුවන් මෙන්ම ප්‍රේක්ෂකයාට ද අගතියක් සිදු වේ.

තවද සිනමා ශාලාවක ප්‍රදර්ශනය වන චිත්‍රපටයක ආදායම අඩු වන විට ක්ෂණිකව වෙනත් චිත්‍රපට දර්ශනයක් හෝ කිහිපයක් ආදේශනය කිරීමට ඇතැම් සිනමා ශාලා හිමියන් පෙළඹී ඇත.

මෙම තත්ත්වය ප්‍රේක්ෂකයා නොමඟ යවන සුළු වන අතර, එයින් මුල් චිත්‍රපටය සඳහා සාධාරණයක් ඉටු නොවේ.

නිර්දේශය:

දේශීය චිත්‍රපටයක් ආරම්භක වටයේ ප්‍රදර්ශනයේදී සියලු දර්ශන නොඅඩුව එම චිත්‍රපටය සඳහා ලබාදීමට කටයුතු කිරීම. කවර හේතුවක් මත හෝ පළමු සති දෙක තුළ මෙම පදනම බිඳීම සඳහා අවසර නොදීම.

මෙම සති දෙකක කාලයෙන් පසු ජාතික චිත්‍රපට සංස්ථා පනතට සහ ජාතික චිත්‍රපට ප්‍රතිපත්තිය හා ඒ පිළිබඳ මාර්ගෝපදේශයට අනුකූලව චිත්‍රපටයක් ප්‍රදර්ශනයෙන් ඉවත් කිරිම, දර්ශන වාර අඩු කිරීම හෝ වෙනත් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු යෙදීම. චිත්‍රපටයක් ප්‍රදර්ශනයෙන් ඉවත් කිරීම / දර්ශන වාර වෙනස් කිරීම නිෂ්පාදකවරයා සහ ප්‍රේක්ෂකයා දැනුවක් කර සිදු කිරීම.

සිනමා ශාලාවෙහි ප්‍රදර්ශනය වන චිත්‍රපටයේ නම සහ දර්ශන වේලාව පැහැදිලි ලෙස ප්‍රේ්ක්ෂකයාට දර්ශනය වන අයුරින් ප්‍රදර්ශනය කිරීම සහ ඊළඟට ප්‍රදර්ශනය වන චිත්‍රපටයේ ප්‍රදර්ශන කටයුතු දැනට ප්‍රදර්ශනය වන චිත්‍රපටයට හානියක් නොවන අයරින් ප්‍රදර්ශනය කිරීම.

ප්‍රාදේශීය බල ප්‍රදේශවල චිත්‍රපට ප්‍රචාරක කාර්යයන් සඳහා වන පහසුකම් අවමය. ශබ්ද විකාශන යන්ත්‍ර හෝ ඒ හා සමාන ක්‍රමයන් චිත්‍රපට ප්‍රචාරණය සඳහා යොදා ගැනීමට අවසර නොමැත.

චිත්‍රපට ප්‍රචාරක ප්‍රදර්ශන පුවරු ප්‍රාදේශීය සභා සීමාවන් තුළ පමණක් ඇති කිරීමටත්, ශබ්ද විකාශන යන්ත්‍ර, ඊට අනුරූප මාධ්‍යයන් භාවිතයෙන් චිත්‍රපට ප්‍රචාරණය සඳහා අවසර ලබාදීම.

වගකීම: රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, ජාතික චිත්‍රපට සංස්ථාව