වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




දින සීයයි චිත්‍රපට දහයයි

දින සීයයි චිත්‍රපට දහයයි

දෙදහස් දහඅට වසර ආරම්භ වී ඉකුත් අඟහරුවාදා එනම් 2018. 04. 10 දිනට දින සියයක් ගතවිණි. එම කාලය ඇතුළත චිත්‍රපට දහයක් තිරගතව ඇත. ඒ අනුව බලන කළ සාමාන්‍ය අගයක් ලෙස එක චිත්‍රපටයක් තිරගතව ඇත්තේ දින දහයක කාලයකි. එකී තත්ත්වය අප සිනමාවට එතරම් ගුණදායක නොවන බව සිනමා විචාරකයෝ පෙන්වා දෙති. එම කාලය අතරතුරදී තිරගත වූ චිත්‍රපට මෙසේය. ආදරෙයි මං, එක දවසක අපි, පෝරිසාදයා, කුසල්, නෙලා, සේයා, මධුර චාරිකා, යම රජ සිරි, වෛෂ්ණාවි සහ පුංචි අන්දරේ යන සිංහල චිත්‍රපට මෙයට ඇතුළත්ය. එයට අමතරව දෙමළ භාෂිත කෝමාලි කිංග්ස් ද තිරගත විය.

සිටි සිනමාහල් ඩිජිටල් පුවරුව

මෙරට සිනමා ක්ෂේත්‍රය තුළ මෙතෙක් නොවුණු අන්දමේ වැඩ පිළිවෙළක් රත්මලාන සිටි සිනමා ශාලාව මඟින් සිදු කෙරේ. එහි ඇත්තේ ඩිජිටල් නාම පුවරුවකි. එය මෙරට සිනමා ශාලා තුළ ඇති එකම ඩිජිටල් නාම පුවරුව වේ. එමඟින් සිටි සිනමා ශාලාවේ තිරගත වන සියලුම චිත්‍රපටයන්හි තොරතුරු විද්‍යාමාන කෙරේ. එම සිනමා ශාලාවේ තිරගත වන චිත්‍රපට සඳහා ප්‍රචාරක නාම පුවරුවේ පෙන්වන දැන්වීම චිත්‍රපට ශාලාව මඟින්ම නිර්මාණය කිිරීම විශේෂත්වයකි. එමෙන්ම එහි තිරගත වන චිත්‍රපටයන් සඳහා නිෂ්පාදකයන්ට නොමිලයේ පෝස්ටර් 500 ක් ද ලබාදීමට සිටි සිනමා කළමනාකාරිත්වය කටයුතු කර ඇත. රත්මලාන සිටි සිනමා ශාලාවේ හිමිකරු ලෙස චිත්‍රපට අධ්‍යක්ෂ නිශාන්ත ප්‍රදීප් කටයුතු කරයි.

බොහෝ සිනමා ශාලාවල පෝස්ටර් සඳහා පාප්ප පවා ලබා නොදෙද්දී සිටි සිනමාහලේ මේ කටයුත්ත අගය කළ යුතුය.

යශෝධරා වෙසක් දිනයට

මහාචාර්ය සුසිල් ආරියරත්නයන් අප සිනමාවට තිළිණ කරන නවතම සිනමා කාව්‍ය බිම්බා දේවිය හෙවත් යශෝධරා එළඹෙන වෙසක් දින සිට තිරගතවීමට සුදානම්. ඒ ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හිිදීය.

ගීත රචනය, සංවාද රචනය සහ තිර රචනය මහාචාර්ය සුනිල් ආරියරත්නගෙනි. කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රියගෙනි. රුක්මල් නිරෝෂ් සංස්කරණ ශිල්පීයාය. විමල් දේශප්‍රියගේ සහාය අධ්‍යක්ෂණයකි. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය. ගීත ගායනා ආචාර්ය නන්දා මාලිනී, ඩිලාන් කරුණාරත්න, අසංක ධනංජය සහ ඉනෝකා අහංගම විසිනි. චන්දන වික්‍රමසිංහ නර්ථන අධ්‍යක්ෂණයෙන්, බිමල් දුෂ්මන්ත නිෂ්පාදන සැලසුම්කරණය සහ කලා අධ්‍යක්ෂණයෙන්, මමෝහාරි හේවාවසම් නිෂ්පාදන කළමනාකරණයෙන් ද, ප්‍රියන්ත දිසානායක අංග රචනයෙන් බිම්බ දේවිය හෙවත් යශෝදරා සිනමා නිර්මාණයට දායක වී සිටියි. තිළිණ හෙට්ටිගමගේ ගේ වස්ත්‍රාභරණ නිර්මාණයකි. නිෂ්පාදන සම්බන්ධිකරණය ඒ. ඩී. රංජිත් කුමාර සහ නිමල් විජේසිරිගෙනි. කුමුදුනි ඩයස්, චන්ද්‍රා හපුතන්ත්‍රි සහ චාන්දි හපුතන්ත්‍රි සිනමාපටයේ සම නිෂ්පාදකවරුන් ලෙසට කටයුතු කරයි.

සිනමාවයි මමයි එළිදකියි

සරත් සිල්වා ලියූ සිංහල සිනමාවයි මමයි චිත්‍රපට සංස්ථාව නමැති පසුගියදා එළිදුටුවේය. 1966 දී දේශීය චිත්‍රපට නරඹන්නන්ගේ පුරෝගාමියකු වූ ද සිංහල චිත්‍රපට කර්මාන්තයේ ඓතිහාසික විකාශනය පරීක්ෂා කරන විට නොමැකෙන නාමාවලියේ එකතුවට සරත්ගේ නම ද ලියැවේ. කාගේත් කතාබහට ලක්වෙන ජාතික චිත්‍රපට සංස්ථාව බිහි කිරීමේ මුල් පුරුකක් වන්නේ ද සරත් සිල්වාය.

එදා දේශීය චිත්‍රපට නරඹන්නන්ගේ සංගමය පිහිටුවීමේ අභිලාෂය වූයේ පරමාර්ථ 8 ක් මුදුන්පත් කර ගැනීමය. ඉන් ප්‍රමුඛතම පරමාර්ථය වූයේ ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස 1972 ජාතික චිත්‍රපට සංස්ථාව බිහි කිරීම සිදු විය. ඔහු 1999 ජාතික කතෝලික සිනමා පර්ෂදයෙන් 'සිග්නීස්' සම්මානයට පාත්‍ර විය. 1977 ජාතික චිත්‍රපට සංස්ථාවේ උපදේශක මණ්ඩලයේ තුනතුරක් ද ඔහු හෙබවීය. ඉන් පසු සරත් සිල්වාගේ යෝජනාවක් අනුව ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ජනාධිපති සම්මාන උලෙළක් පැවැත්වීමට යෝජනාවක් ගෙන ඒමත් එය සම්මත කර ගැනීමත් සිදු විය. ඔහු 1980 පිහිට වූ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයකු ද වේ. ඔහු ලියූ 'සිංහල සිනමාවයි මමයි චිත්‍රපට සංස්ථාවයි' යන ග්‍රන්ථය පසුගිය දින ජනගත කෙරිණී. සිනමා කර්මාන්තයට අදාළ ඓතිහාසික තොරතුරු රැසක් සරත් සිල්වාගේ මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. එනිසාම දේශීය සිනමා ඉතිහාසය හදාරන සියලු දෙනාටම මෙම ග්‍රන්ථය වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.

මාර්තුවේ සිට දෙමළ චිත්‍රපට නෑ සිනමා ශාලා අර්බුදයක

කොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන වර්ජනය හේතුවෙන් ඉකුත් මාර්තුවේ සිට දමිළ චිත්‍රපට මෙරටට ආනයනය නොකරන බව සරසවියට වාර්තා වේ. දමිළ සිනමා ශාලා ප්‍රදර්ශනය වන බහුරයක් සිනමා ශාලා මහත් වූ අර්බුදයකට මුහුණ පා සිටින වග ද දැනගන්නට ලැබෙයි.