වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

පාඨක ප්‍රතිචාර ලියන ඔබට

ප්‍රතිචාර තීරයට අදහස් එවන පාඨක ඔබ තමන්ගේ අදහස ඉතා කෙටියෙන් පැහැදිලිව තැපැල්පත්වල පමණක් ලියා ප්‍රතිචාර තීරයට යොමු කරන්න. ඔබ කියන්නට අදහස් කරන දේ සරල අයුරින් ඉදිරිපත් කර ඇත්නම් පමණක් එම ප්‍රතිචාරයට ඉඩකඩ වෙන්කරලීමට අපි කටයුතු කරමු.

සරසවියට සුබ ප්‍රාර්ථනා

55 වන උපන් දිනය සමරන සරසවිය පුවත්පතට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරමි. සරසවිය පත්‍රය හරහා දේශීය නළු නිළියන්ගේ, සිනමාපට පමණක් නොව විදේශීය කලාවේ තොරතුරු ද බෙදා හරින්නේ පාඨකයන් රස ගුලාවක ගිල්වමිණි. සරසවිය සම්මාන උලෙළ පවත්වමින් සිනමාවට කරන දායකත්වය සහ මෑතක සිට උසස් පෙළ කලා සිසු සිසුවියන් සඳහා නාට්‍ය සහ රංග කලාව පිළිබඳ පාඩම් මාලාව ද ඉතාම වටිනා ක්‍රියාවකි.


සරසවිය තේමාව

සරසවිය වටිනාකම ප්‍රකාශ වන අයුරින් පුවත්පතට ඒ ඒ කාලවකවානුවලදී උද්ධෘත පාඨ යොදා ඇත. සමහර යුගයන්හි එසේ උද්ධෘත පාඨ යෙදීමක් (1996 පෙර) සිදු වුණේ නැත. එම පාඨ සරසවිය පත්තරයේ තේමාව විය. කාල වකවානු අනුව මෙසේය.

1996 අග භාගය -
කලාවට කැප වූ බ්‍රහස්පතින්දා රස දෝත
1997 - 2001 -
අපේ පවුලේ සිනමා පත්තරය
2002 - 2003 - ඇසිදිසි මියැසි විසිතුර
2004 - 2006 -
කලා ලොවේ රස මංජුසාව
2007 - 2011 - දේශයේ කලා පුවත්පත
2012 - 2018 -
ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත


අපේ අභිමානය ඔබයි!

චිරං ජයතු 'සරසවිය'
රටක් පුරා නම රැන්දූ
රටින් එහා නම විහිදූ
ශ්‍රී ලංකාවේ එකම ජාතික වූත්, නොසැලෙන ඉන්ද්‍රඛීලයක් සේ අඛණ්ඩව පැවත එන සිනමා පුවත්පත වන 'සරසවිය' අසිරිමත් 55 වන උපන් දිනය සමරන මෙම මොහොතේ තවත් චිරාත් කාලයක් රැඳී පවතින්නට උණුසුම් සුභපැතුම් මෙසේ පිළිගන්වමි.


බොදු බැති ගී ගායකයෝ සිහිපත් කරමු

අද දින අපට අසන්නට නැති පෙර දින බොදු බැති ගී ගැයූ මොහිදින් බෙග්, ඇලන් රත්නායක, අහමඩ් මොහිදීන්, ඒ. ඇම්. යූ. රාජ්, විවියන් ද සිල්වා බොරලැස්ස, ඇම්. කේ. විල්සන් ඇතුළු සියලු ගායක ශිල්පීන් ගෞරවයෙන් සිහිපත් කරමි.


දිග් විජය ගීතය හරිම ලස්සනයි

සිරස නාළිකාවෙන් විකාශය වන දික්විජය ටෙලි නාට්‍යය ඉතාම රමණීයයි. තම දේශය බේරා ගැනීමට සටන් වදින පුතෙක් එම අභිමානය ගීතයකින් ගායනා කරන අභිමාන දේශය ගීතය හරිම ලස්සනයි. ඒ ගීතය රචනා කළ සිඩ්නිටත් ගායනා කරන ප්‍රදීප්ටත් සංගීතවත් කළ අශාන්ටත් විකාශය කරන සිරසටත් මගේ අවංක ප්‍රණාමය.


නිතර නොඇසෙන ගී ළමා පරපුරෙන්

මෙයට දශක දෙකකට තුනකට ඉහතදී ගායන ශිල්පි ශිල්පිනියන් ගයන ලද එහෙත් නිතර දෙසවනට යොමු නොවන රසබර ගීතවල මතකය යළි අවදි කරමින් වත්මන් ළමා පරපුර රියැලිටි වැඩසටහන් සඳහා ගායනා කිරීම අගනේය, මිහිරිය.

එවන් වූ දුර්ලභ ගණයේ තමන්ගේ ලෙසට ශරීරගතකර ගනිමින් අප්‍රතිහත ප්‍රයත්නයක යෙදෙමින් එම ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ගේ මඟ පෙන්වීම ඇසුර ආභාසය නොමැතිව වුව ද දක්ෂතා පළ කිරීම රූපවාහිනී නරඹන්නන්ගේ නිබඳ කතාබහට පැසසුමට ලක් වෙයි.


රෝසිට මල් මිටක්

කොළඹ නගර සභාවට පත් වූ රෝසි සේනානායක නගරාධිපතිනියට කලාවට ලැදි රසික රසිකාවන්ගෙන් සුබපැතුම්. 1980 ලක් රූ රැජින ලෙසත්, 1981 ආසියානු පැසිපික් විවාහක රූ රැජින වී 'සුර දූතියෝ චිත්‍රපටයෙන් ත්‍රාසය කැටිකොට ප්‍රේක්ෂක හදවතට ළංව පාර්ලිමේන්තුව නියෝජනය කරමින් දිගු ගමනකට පා තැබුවේ ජනතාවට කැපවීමටයි. ඔබට මල් මිටක්.


අතීත හෙළ සිනමාවට ගෙන ගිය උදයකාන්තට

මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් බැහැරට ගොස් ඒ කලාකරුවන්ට කෘතගුණ සැලකීම උතුම් ගුණාංගයක් බව හුවා දක්වමින් ද කලාකරුවාගේ අගය විදහා දක්වමින් ද උදයකාන්ත වර්ණසූරිය මහතා නරඹන්නාගේ නෙත් සිත් අතීත හෙළ සිනමාවට යොමු කරවමින් ඉතා දක්ෂ ලෙස 'මධුර චාරිකා' සිනමා සිත්තම නිර්මාණය කොට ඇත. දර්ශනීය පසුතල දර්ශන මෙන්ම තාත්වික රඟපෑම් සැමගේ නෙත් සිත් පැහැර ගන්නා ලදී. මෙවන් උසස් නිර්මාණයක් කලඑළි දැක්වීම ගැන උදයකාන්ත වර්ණසූරිය ඇතුළු සිනමා කණ්ඩායමට අප සැමගේ ප්‍රණාමය පුද කළ යුතුමය.


සිනමාවේ දොරටු  විවර කළ දමයන්තිට හා ප්‍රසන්නට

සරසවිය පාඨකයන් හට අනාගත සිනමා ලොවට පැමිණීමට වටිනා අවස්ථාවක් උදාකර දීමට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මහතා සහ ප්‍රවීණ නිළි දමයන්ති ෆොන්සේකා මැතිනිය විසින් පසුගියදා ආරම්භ කරන ලද වැඩ පිළිවෙළට පාඨක අපගේ හෘදයංගම ස්තූතිය හා සුබපැතුම් ඉත සිතින් පුද කර සිටිමු.


මල්ලිකා ගී එකතුවක් ඕනෑ

'හිනැහේවි බෝනික්කා', 'ලේනාගේ පිට මැද', 'කරුණාව සමඟ' වැනි ළමා ගීතත් 'කෝ අද මැණිකා', 'සක්මන් මළුවේදී', 'චන්දන ඇඟ ගාලා' වැනි ගුවන් විදුලි ගීතත් 'පෙම් මල් පිපෙන', 'සිහින ගඟේ පීනා', 'ලියක මහිම පෙති ගෝමර' වැනි චිත්‍රපට ගීතත් එකසේ ජනප්‍රිය වුණා.ඒ වගේම ඔබගේ අනෙකුත් ගීතත් ජනප්‍රියයි. ඔබේ හඬ එදා වගේම අදත් මිහිරිය. ඉතිං ඇයි නිහඬ, ඔබේ ගීත එකතුවක් සංයුක්ත තැටියකින් රසවිඳින්න කැමැතියි.


සබීතාව අගයමු

දෙස් විදෙස් සිනමා නිර්මාණයන් හි රඟපාමින් ගෞරවයක් දිනා සිටින සබීතා පෙරේරා කලා ශිල්පිණියට රංගනය තුළින් දේශීය සිනමාවට ලබා දුන් ගෞරවය සලකා ඇයව විශේෂ ඇගැයීමකට ලක් කිරීම කොතරම් අගනේද?


දර්ශන් ධර්මරාජ්ගේ රංගනයට මල් මිටක්

එදා අපට දකින්නට ලැබුණු සුපුරුදු දුෂ්ටයාගේ චරිතය 'පෝරිසාදයා' චිත්‍රපටය හරහා වෙනස් මඟකට ගෙනගිය දර්ශන් ධර්මරාජ් දක්ෂ කලාකරුවෙකි. ඔබට මගෙන් මල් කළඹක්.


කල්‍යාණට සුබපැතුම්

සිංහල සිනමාවට එක් වූ නවතම චිත්‍රපටය වන සේයා පවුලේ කාටත් එකට නැරැඹිය හැකි ආදර්ශවත් චිත්‍රපටයකි. එහි අධ්‍යක්ෂ කල්‍යාණ චන්ද්‍රසේකරට මෙවැනි චිත්‍රපට කිරීමට ශක්තියි ධෛර්යය ලැබේවායි පතමි.


වෙළෙඳ සේවයට තුති

අපට අසන්නට නොලැබෙන පැරැණි ගී සෑම ඉරු දිනකම සිතක රැඳුණු ගී තුළින් සහ භාරත ගී වින්දන වැඩ සටහන් ගෙන එන ජාතික ගුවන් විදුලියේ වෙළඳ සේවයට අපි ස්තුතිවන්ත වෙමු.


‘සිනෙ රූ’ සිනමාවට ආලෝකයක්

සිනමාවේ විශිෂ්ට නිර්මාණ සාකච්ඡා කරමින් වරින් වර එහි අවස්ථා සිද්ධීන් ඉදිරිපත් කරමින් එම චිත්‍රපට පිළිබඳ හොඳ අවබෝධයක් ලබාදීමට නිවේදකයාත්, නිවේදිකාවත් උත්සාහ දරයි. සිංහල කෙටි චිත්‍රපටයන්ට ද ඉඩකඩ ලබාදීම ප්‍රශංසනීයයි. එය නවක තරුණ නිර්මාණකරුවන්ට අත්වැලකි. නිෂ්පාදිකා සිතාරා කළුආරච්චිටත් නිවේදකයාටත් අපගේ ස්තූතිය පිරිනමමු.


ජනප්‍රිය කිරුළට එස්. එම්. එස්.  සුදුසුද?

ජනප්‍රියතාවයට හිමි කිරුළ තේරීමේදී මෙවර රයිගම් ටෙලි සම්මානය ප්‍රදානය කිරීමේදී එස්. එම්. එස්. නිසා එම කිරුළට අසාධාරණයක් සිදු වී ඇති බව පෙනේ. මේ යුගයේ තමන් තමන්ටම එස්. එම්. එස්. කර ගන්නා යුගයක් බව නොරහසකි.

එදා 'දිමුතු මුතු' හි 'නන්දා' වූ දේවිකා මිහිරානි කීප වතාවක්ම එම කිරුළට හිමිකම උදා කර ගත්තේ ඇය ජනප්‍රිය වූ නිසාය.
ජනප්‍රියතාවය හා දක්ෂතාවය දෙකකි. කෙනෙක් දක්ෂ වූ තරමටම ජනප්‍රිය නොවේ. විශ්ව, අමිල, කාවිංග, චන්දික, මහේෂි, තාරුකා, උදාරි අදටත් ජනප්‍රිය තරුය. ජනප්‍රිය කිරුළට සාධාරණයක් ඉටු වේවා!


විචාරය බුද්ධියෙන් අගයමු

එදා සිටි විචාරකයන් සහ අද සිටින විචාරකයන් එක හා සමාන බව මගේ හැඟීමයි. කෙතරම් හොඳ නිර්මාණ බිහි වුවත් එක වාගේ පෙනීම දුර්වලකමකි. විචාරය මීට වඩා හොඳ බුද්ධියෙන් අගයන්නේ නම් ඉතා අගනේය.


ගම්බද සුන්දරී ශීලා පීරිස්

ගායනයෙන්, රංගනයෙන් සහ නර්තනයෙන් කලාවේ දස්කම් පෑ ශීලා පීරිස් කොලොම්බියා තැටි සඳහා ගී ගයමින් ප්‍රසිද්ධියට පත් ගායිකාවකි. ඒ සඳහා ඇයට අවස්ථාව උදා වුයේ ගම්බද සුන්දරී චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙසින් රගපෑමෙනි. සුදු සඳ රැස්, පෙම්බර මාතා මා වැඩු මාතා, සිරි සිරි පිරි පිරි යාවී මේ රැයේ යන ජනප්‍රිය ගී ගැයූ ඇයට අපගේ උපහාරය වේවා.


ගෝතමී ආයෙත් එන්න

'ජනක සහ මංජු' චිත්‍රපටය ගැන සිහිපත් වන විට එහි මංජුගේ චරිතය හරි අපූරුවට නිරූපණය කළ ගෝතමී පතිරාජව අමතක කළ නොහැක. ක්ලැරන්ස් සහ ලතා ගායනා කරන 'මංජු' ගීතයට ජයන්තදාස් පෙරේරා සමග කළ රංගනයට හා එම ගීතයට එකල රසික ප්‍රසාදය ඉහළින්ම ලැබිණ. එය අදටත් එසේමය. ඉන්පසු ගෝතමී 'යස ඉසුරු' චිත්‍රපටයේ අමරසිරි කලංසූරියගේ නැගණිය ලෙස ඉතා සංවේදී චරිතයක් රඟපෑහ. තවද 'චණ්ඩි රජා' චිත්‍රපටයේ මන්ද මානසික චරිතයක් ද නිරූපණය කළ ඇය රඟපෑ චිත්‍රපට ගණන සීමිත වුවද ඇය කළ චරිත රසික පිරිසගේ හද බැඳ ගත්හ. ගෝතමී සොයුරිය නැවත අප අතරට එන්න.

සරසවිය, ලේක්හවුස්, කොළඹ