වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




දුවන මුවන් දුටු සල්මන්ගේ ඉරණම

දුවන මුවන් දුටු සල්මන්ගේ ඉරණම

වයස අවුරුදු පනහ කඩඉම පසුකළද සල්මන් ඛාන් යනු තරුණියන්ගේ ආකර්ෂණය නොඅඩුව ලබන බොලිවුඩ් නළුවකු බව අමුතුවෙන් හඳුන්වා දිය යුතු වන්නේ නැහැ. තවමත් තනිකඩ ජීවිතයක් ගත කරන ඔහු තරමක කේන්තිකාරයෙකු ලෙසත් දඩබ්බරයෙකු ලෙසත් ක්ෂේත්‍රයේ ප්‍රකටය. ඔහුගේ පෙම් පළහිලව්ද අඩුවක් නැත. ආන්දෝලනාත්මක පෙම් කතා නිසා ද ඔහු නිරන්තරයෙන් පුවත් මවන්නෙකු බවට පත් වී සිටියි. පැරණි පෙම්වතියකට සමාජ ශාලාවකදී බෝතලයකින් පහරදුන් සිදුවීමක්ද ඒ අතර වේ.

කෙසේ වුවත් සල්මන්ට පසුගිය කාලයේ දර්ශන තලයන්ට සේම නිරන්තරයෙන් උසාවි යාමට ද අවස්ථා පෑදුනේය. මීට විසි වසරකට ඉහතදී දුර්ලභ ගණයේ ගෝනුන් දෙදෙනෙකුට වෙඩි තැබීම සේම 2002 වසරේදී ඔහු අතින් සිදු වූ රිය අනතුරකින් සිව්දෙනෙකු තුවාල ලබා එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන්ද ඔහු අධිකරණයේ චූදිතයෙකුව සිටීම එයට හේතුව විය. 1998 වසරේ 'හම් සාත් සාත් හේන්' චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර රාජස්ථානයේදී සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් සල්මන්ට විරුද්ධව නඩු පැවරුණේ 'බ්ලැක්බක්ස්' (ඕතචජඬඡභජඬඵ) ලෙස හඳුන්වන සංරක්ෂිත කළු ගෝනුන් දෙදෙනෙකු දඩයම් කළ වරදටයි. එනිසා ඔහුහට බ්‍රිතාන්‍ය වීසා පවා අහිමි විය.

එයින් විසි වසරකට පසු පසුගියදා එහි නඩු තීන්දුව ලැබුණේ සල්මන්හට වසර පහක සිර දඬුවමක් සහ ඉන්දීය රුපියල් දසදහසක දඩයක් නියම කරමින්. ජෝද්පූර් අධිකරණය විසින් මෙම දඬුවම නියම කිරීමෙන් අනතුරුව සල්මන් ඛාන් බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුණි.

සල්මන්ට එරෙහිව මෙලෙස නඩු මඟට පිවිසියේ 'බ්ලැක්බක්ස්' ගෝනුන් වන්දනාමාන කරන්නා වූ 'බිෂ්නොයි' ප්‍රජාව විසිනි. මෙම වෙඩි තැබීම හේතුවෙන් සල්මන්ට එරෙහිව නඩු හතරක් අධිකරණයේ ගොනු වූ අතර එයින් නඩු තුනකින් ඔහු නිදහස් විණි. මෙම සිදුවීමට සම්බන්ධ වූ සයිෆ් අලි ඛාන්, තාබු, නීලම් සහ සොනාලි බන්ද්‍රේ එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීම අධිකරණය නියෝගය වූ අතර පසුගිය 04 වැනිදා අධිකරණ තීන්දුවෙන් පසු සල්මන් ඛාන් ජොද්පූර් මධ්‍යම බන්ධනාගාරය වෙත ගෙන යනු ලැබීය. නමුත් මෙම අධිකරණය තීන්දුවටද එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සල්මන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පියවර ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර සිටියි.

මෙම සිදුවීම පමණක් නොව 2002 වර්ෂයේ මුම්බායි නගරයේදී සිය මෝටර් රථයේ පුද්ගලයෙකු ගැටුණ පසු නොනවත්වා රිය ධාවනයේ යෙදීම සම්බන්ධයෙන් පැවති නඩුවේදී ඔහු වරදකරු වී 2015 වසරේදී පස්වසරක සිර දඬුවම් නියම කෙරිණි. එම අනතුරෙන් වීදියේ නිදා සිටි පුද්ගලයෙකු මිය ගිය අතර, තවත් සිව් දෙනෙකු තුවාල ලැබූහ. එම අවස්ථාවේදී සල්මන් මත්පැන් පානය කොට මෝටර් රථය ධාවනය කර ඇති බව විනිසුරුගේ තීන්දුව විය. පසුව කළ අභියාචනයකට අනුව තීන්දුවෙන් මාස එක හමාරකට පසුව ඉහළ අධිකරණයේ තීන්දුවකට අනුව සල්මන්හට නිදහස ලැබිණි.

නඩුහබවලින් පමණක් නොව පෙම්හබ වලින්ද අඩුවක් නොවූ සල්මන්ගේ ජීවිතයේ බොලිවුඩයේ සුපිරි සුරූපි නිළියෝ කිහිප දෙනෙකුම ඔහුට පෙම් බැන්දාහ. එහෙත් ඒ එකදු පෙම් පුවතක් හෝ සාර්ථක නොවී අදටද ඔහු තනිකඩව සිටින්නේය. සංගීතා බිජ්ලානි, ඓෂ්වර්යා රායි, කත්‍රිනා කායිෆ් සමගින් වූ ප්‍රේම කතා, කතා බවටම සීමා විය. 2013 වසරේ සල්මන්ගේ පෙම් කතා අතරට එක් වූයේ, රුමේනියානු සුරූපිනියකි. රුමේනියානු ජාතික නිළියක වූ ලූලියා වැන්තුර් සමඟින් සල්මන්ගේ ප්‍රේම සබඳතාවයක් ඇති බවත් එය විවාහයකින් කෙළවර වනු ඇති බවත් එකළ ජනප්‍රිය විය. සල්මන් ලුලියාහට ත්‍යාගයක් ලෙස සුඛෝපභෝගි නිවෙසක් පවා ලබා දුන් බවත් ඒ අතර විය.

ලෝ ප්‍රකට නිළියක හා ගායිකාවක වන පැරිස් හිල්ටන් සමඟින්ද සල්මන්ගේ ආදර සම්බන්ධයක් ඇති බව කට කතාවක් පැතිර ගියේය. ඉන්දියාවේදී දෙදෙනාම එකට හෝජන සංග්‍රහයන් සඳහා සහභාගි වූ අවස්ථාවල ඡායාරූප පවා දැක ගන්නට ලැබිණි. සල්මන්ගේ හිත ගත් නිළියන් අතරේ ලාංකේය සුරූපිණියකද වන්නීය. ඇය වෙන කවුරුත් නොව ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් ය.

බොලිවුඩ් සිනමාවට සම්බන්ධ වී ඉතාම කෙටි කලකින් සාර්ථක වන්නට ඇය වාසනාවන්ත වූවාය. ජැකලින් හා සල්මන් පිළිබඳ කට කතා පැතිර ගියේ 'කික්' චිත්‍රපටයේ කටයුතු සමඟිනි. සල්මන් සමඟින් 'කික්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ ජැකලින්ය.

සල්මන් සහ ජැකලීන්ගේ ගමන් බිමන්ද මාධ්‍යයට රහසක් වුණේ නැත. බොම්බායේ බන්ද්‍රාහි ගැලැක්සි නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගි නිවෙස, පර්වෙල්හි අක්කර 150 මෙන්ම විශාල මන්දිර තුන ඇතුළුව මහා දේපළකට හිමිකම් කීවද ඔහු පනස් දෙහැවිරිදි විය එළඹෙන තෙක්ම තවමත් මනමාලියක් කැන්දාගෙන ආවේ නැත. අද හෙටම සල්මන් විවාහ වනු ඇති බවට පුවත් පළ වුවද ඔහුගේ විවාහය මේ දක්වා සිදු වූයේ නැත.

පෞද්ගලික ජීවිතය තරමක් ගැටුම්කාරී වුවද සල්මන්ගේ වෘත්තිය ජීවිතය අති සාර්ථක එකක් විය. ඔහු දායක වූ චිත්‍රපට වාර්තා තබමින් තිරගත වූයේ සල්මන් චිත්‍රපට වාර්තා තබන්නට උපන් නළුවකු ලෙසින් නම් ලබමිනි. 'කික්', 'වෝන්ටඩ්', 'යුවරාජ්' චිත්‍රපටවලට සල්මන් පසුබිම් ගායනයෙන්ද එක් විය. 2012 වසරේ 'එක් තා ටයිගර්' චිත්‍රපටය පළමු දිනයේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 30ක ආදායමක් වාර්තා කළේය.

ඔහු දායක වූ 'ඩබාන්ග්', 'කික්', 'ප්‍රේම් රතන් ධාන් පායෝ', 'බජ්රන්ගී බයිජාන්', 'සුල්තාන්', 'ටයිගර් සින්ධා හේ' ඉන්දීය සිනමාවේ සර්වකාලීන ඉහළම ආදායම් ලද චිත්‍රපට අතරට එක් විය. ඉන්දීය ජාතික සම්මාන ද්විත්වයකට මෙන්ම ෆිල්ම් ෆෙයාර් සම්මාන ද්විත්වයකට හිමිකම් කියන ඉන්දීය සිනමවේ වාණිජමය අතින් සාර්ථක නළු ලැයිස්තුවේ ඉහළින්ම සිටින සල්මන් චිත්‍රපට නිෂ්පාදනයටද එක් වී ඇත. මේ වසරේ ඔහුගේ නවතම සිනමා නිර්මාණය 'රේස් 3' ලබන ජූනි මාසයේ දී තිරගත කිරීමට නියමිතව ඇත.