වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




හඬ ඔස්සේ ඉව ඇල්ලූ මංජුල

හඬ ඔස්සේ ඉව ඇල්ලූ මංජුල

සංගීත පන්තියේ දොර වසා ඇත. එහෙත් ඒ තුළින් ඇදී එන හඬට එළියට එන්නට වැසී ගිය දොර සමත් නොවේ. හරි අපූරු රසාලිප්ත නාද රටා මින් පෙර කිසිදා නොඇසූ බැවින් ඔහුගේ නෙත සිත ඊට යොමු විය. බිත්තියේ දැල් කම්බි මතින් එල්ලී එබිකම් කළේ ඒ මොනවාදැයි යන්නයි දැනගැනීමටයි. පන්ති ඇතුළේ සිටි සංගීත ගුරුතුමා ඔහුගේ නෙත වහා හඳුනා ගත් බැවින් දොර විවර කොට එළියට පැමිණියේ කුඩා කොලු ගැටයා පන්තිය තුළට කැඳවීමටයි. ගුරුතුමා පැමිණියේ තමාට තරවටු කරන්නට යැයි සිතූ කොලුගැටයා වහා බියපත්ව දිව යන්නට සූදානම් විය.

නමුත් සිදු වුයේ වෙනත් දෙයකි. ගුරුවරයා ඔහු පංති කාමරය තුළට කැඳවා සංගීත රාවයන්ට සවන් දෙන්නට ඉඩ සැලැස් වීය. එකල ඔහු 4 වැනි ශ්‍රේණියේ මහනුවර නාවලපිටියේ අඹගමුව මහ විද්‍යාලයේ සිසුවෙකි.

විශ්මය රැඳි දෙනෙතින් සංගීත නාද රටාවට වශිකෘත වූ ඒ කුඩා දරුවා අද නාද තාක්ෂණවේදය උගන්වන විශ්ව විද්‍යාල ඇදුරෙකි. එපමණක් ද නොව විවිධ සංගීත නිෂ්පාදයන් හට නාද සංගීතයෙන් පෙළහර දක්වන්නෙකි. මීට වසර හයකට පෙරාතුව ඔහු තම වෘත්තීය දිවියේ පා සටහන තැබුවේය. පසුගිය කාලයේ පත්තිනි සහ මං පොඩිකාලේ ටෙලිනාට්‍යයන්හි සංගීතය මෙහෙයවූ පසු තවත් නව පියවරක් තබන්නට මංජුලට හැකි විය.

බොරලැස්ගමුව ප්‍රදේශයේ තමාගේම නවතම ස්ටුඩියෝවක් 'සෙන්ස්' නමින් ආරම්භ කළේ එදා දුටු සිහිනයේ ප්‍රතිඵලයක් නිසාමය. ඔහු නමින් මංජුල බණ්ඩාරයි. නාවලපිටිය කුඩා ගම්පියසක් වූ අඹගමුව කියන පුංචි ගමේ ඉපිද හැදී වැඩුණු මංජුලට සංගීත අත්පොත් තැබුවේ පරාක්‍රම කුලරත්න නම් සංගීත ඇදුරුතුමායි.

ඔහුගේ සෙවණැල්ලක් මෙන් ඉන්ද්‍රාණි ගුරුතුමියත් පසෙකින් මංජුලට උදව් කළාය. ඔහුගේ දෙවැනි මව්පිය වුණේ හතර වසර සිට ඔහුට සංගීත පන්තියට ඇවිත් අත් පොත් තැබූ ගුරු දෙපළයි.

ඔහුගේ දෙමව්පියන්ගෙන් අවසරය රැගෙන ගුරු දෙපළ ගෙදර තියාගෙන කිසිදු අය කිරීමකින් තොරව සංගීත ඥානය සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වාම ගෙන ඒමට ඔහුට රුකුලක් විය.

මංජුලගේ මව සහ පියා මේ දෙපළට මෙන්ම මංජුලට යෝධ ශක්තියක් විය. විශ්වවිද්‍යාල ප්‍රවේශයට පැමිණීමත් සමඟම දැනට ලංකාවේ සිටින නාද තාක්ෂණවේදයේ දක්ෂයකු වූ රංග දසනායක ඔහුගේ ගුරුවරයා බවට පත් වන්නේ විශ්වවිද්‍යාල භූමිය තුළදීමය.

කුඩා කල සිටම ගායකයකු වීමේ අරමුණ පසෙකලා ගායකයකුට අවශ්‍ය නාද තාක්ෂණවේදය කොයිබට ගමන් කරන්නේදැයි එය ඉගෙන ගැනීම ඔවුන්ට ඒ තුළින් යම් නිෂ්පාදන කටයුත්තක් සඳහා දායකවීම ඔහුගේ අරමුණ විය.

අධ්‍යාපනයට කිසි විටෙකත් පවුල් පසුබිම තුළ මංජුලට පීඩනයක් තිබුණේද නැත. තමන්ගේ සිතැඟි පරිදි අධ්‍යාපන කටයුතු සියල්ල විශ්වවිද්‍යාලයෙන් නිමා කර ගැනීමට හැකි විය. පසුව උපාධිය ලැබීමෙන් පසුව විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසින් ක්ෂේත්‍රයේ රැඳී සිටීමට ඔහුට මේ දක්වා හැකි විණි.

ක්ෂේත්‍රයේ දැනට රැඳී සිටින ශිල්පීන්ගේ ඇසුර ඔහුගේ නාද තාක්ෂණවේදයට මහඟු පිටිවහලක් විය. කොළඹ බාහිර සංගීතයට තියෙන්නේ ආධිපත්‍යයක් පතුරාගෙන ඉන්න පිරිසක් තුළ මංජුලට එයින් රිංගා යාමට තම ගුරුවරයා වූ රංග දසනායකයන්ගෙන් ලැබුණු ඇසුර වඩාත් ප්‍රයෝජනවත් විය. තිලක් ඩයස් සහ ක්ෂේත්‍රයේ ගායක ගායිකාවන්ගෙන් සංගීත ශිල්පීන්ගෙන් ඔහුගේ නව මං පෙත් කරා යන ගමනට විවිධ අයුරින් උපකාර ලැබිණි.

මංජුලගේ අලුත්ම ස්ටුඩියෝව සංගීත ශිල්පීන් 15 කට 16 කට එකවර නිෂ්පාදන කටයුත්තක නියැලීමට අවස්ථාව උදා වේ. දෙබස් හඬ කැවීම් පටන් ආලෝකකරණය දක්වාම සංගීත නිෂ්පාදනයන් මෙහි කිසිදු අඩුපාඩුවකින් තොරව කර ගැනීමට හැකිවේ.

මෙහි නැත්තේ පුළුල්ව රටටම දිය හැකි විකාශන ක්‍රමයක් පමණි. දැනට ලංකාව තුළ තිබෙන කුමන හෝ රූපවාහිනී මාධ්‍යයක් හෝ ගුවන් විදුලි මාධ්‍යක් හෝ තම සජීවි විකාශන මැදිරියන් රැගෙන විත් ස්ටුඩියෝව තුළ සංගීතමය වැඩ සටහන් නිෂ්පාදනය කරන්නට හැකි බවයි මංජුල සඳහන් කරන්නේ.

එකවර ශිල්පීන් 48 දෙනකුට පවා නිෂ්පාදනයකට දායකවීමට හැකියාව ඔහුගේ ස්ටුඩියෝව තුළ සලසා තිබුණත් උපරිමයෙන් 15 හී 16 ක් යොදා නිෂ්පාදනයක් සිදු කිරීම අතිශය ප්‍රයෝජනවත් බවයි ඔහු සඳහන් කළේ. ටෙලි නාට්‍ය, චිත්‍රපටවල එන චරිතවලට අවශ්‍ය සංගීත නාද රටාවන් නිෂ්පාදකවරයාට හා අධ්‍යක්ෂවරයාට සිතැඟි පරිදි මේ නවතම ස්ටුඩියෝව තුළ කර ගැනීමට හැකියාව උදා කර දී ඇත.

ස්ටීරියෝ තාක්ෂණය යටතේ නවතම ස්ටුඩියෝව ඔහු නිෂ්පාදන කටයුතු සඳහා යොදාගනු ලබයි. නිර්මාණයක සංගීතය ගැන බොහෝ දෙනා එතරම් දැනීමක් නැති වුවත් තමන් ළඟට එන ඕනෑම සේවාදායකයකුට තමන්ට අවශ්‍ය සේවාව වෘත්තීයමය වශයෙන් සැපයීමට මංජුල නවතම ස්ටුඩියෝව තුළ අවස්ථාව උදා කර දී තිබේ.

සංගීත ක්ෂේත්‍රයට අවැසි රික්තයක් පිරවීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස 'සෙන්ස්' ස්ටුඩියෝව පසුගිය දින සංගීත ලෝකයේ තරු පිරිවරා විවෘත කළ සුබ මොහොත සරසවියට කියන්නට ඔහු අමතක නොකළ අවස්ථාවයි මේ.