වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




පිරුණු සඳ ඇති රැයක උදාවිය ‘අමාවක’

පිරුණු සඳ ඇති රැයක උදාවිය ‘අමාවක’

වලාපටල චිත්‍රපටය තනා සරසවිය හොඳම අධ්‍යක්ෂණය සම්මානය දිනූ විජිත ගුණරත්නගේ නවතම චිත්‍රපටය

තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සෑම මව්පිය යුවලකගේම එකම අරමුණ බවට පත් වන්නේය. ඔවුන් දිවා රෑ නොබලා වෙහෙසෙන්නේ ද ඒ වෙනුවෙන් බව අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක් නොවන්නේය.

තම දියණියට සහ පුතුට හොඳ අධ්‍යාපනයක් ලබාදීම අරමුණු කොට ගෙන ගමෙන් නගරයට පිවිසෙන මව්පිය යුවලකි. ඔවුන්ගේ කැමැත්ත තම දරුවන්ට ස්වභාව සෞන්දර්යයෙන් හෙබි සුන්දර පරිසරයක සිය ළමා කාලය ගත කිරීමට ඉඩකඩ සැලසීම වුවද එය පරදා නාගරික පරිසරයක කොන්ක්‍රීට් ගොඩනැඟිලි මධ්‍යයේ කොටුවීමට සිදු වන්නේ වඩාත් හොඳ අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් වූ එකම අරමුණ හේතුවෙනි. ඒ වෙනුවෙන් වෙහෙසෙන මෙම මාපිය යුවළ ද සිය පුතුට පාසලක් සෙවීම වෙනුවෙන් අධික ලෙස වෙහෙසෙට පත් වේ.

විජිත ගුණරත්න අධ්‍යක්ෂණයක්

මනා කල්පනා ශක්තියකින් මෙන්ම නිර්මාණශීලිත්වයන් හෙබි ඔවුන්ගේ පුත්‍රයා සතු එම හැකියාවන් මෙම සංක්‍රමණයත් සමඟින් හීන වන්නට පටන් ගන්නා අතර සිය සහෝදරයාට අත්වන ඉරණම ගැන අමතක කර දමන සහෝදරිය ක්‍රම ක්‍රමයෙන් නාගරික ජීවිතයට අනුගත වේ. කෙසේ නමුත් පුත්‍රයා විසින් සිදු කෙරෙන යම් යම් සොයා ගැනීම් සමඟින් මෙම පවුලේ අනාගතය සම්පූර්ණයෙන් වෙනස්වන අයුරු ‘අමාවක’ (Invisible Moon)  නමින් සිනමාවට නැඟි ඇත. ‘අමාවක’ යනු වර්තමාන සමාජය තුළ දරුවකු සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමේදි මුහුණ දෙන බාධක සහ අභියෝග මෙන්ම මධ්‍යම පාන්තික මවුපියන්හට එම තත්ත්වය බලපාන අන්දමත් නිරූපිත චිත්‍රපටයකි.

‘අමාවක’ අධ්‍යක්ෂණය විජිත ගුණරත්න විසිනි. ස්වීඩනයේ පදිංචි වී සිටින විජිත ගුණරත්න මෙරට කලා ක්ෂේත්‍රයේ අංශ රැසක ප්‍රමුඛ වූ කලාකරුවෙක් වෙමින් වේදිකා නා‍ට්‍ය අධ්‍යක්ෂකවරයෙක්, නාට්‍ය හා රංගකලාව පිළිබඳ ගුරුවරයෙක්, ලේඛකයෙක්, තිර පිටපත් රචකයෙක්, චිත්‍රප‍ට අධ්‍යක්ෂකවරයෙක් සේම පරිවර්තකයෙක් ලෙසද විශේෂ වේ. විදෙස් කෘති රැසක් සිංහලයට පරිවර්තනය කර ඇති ඔහුගේ නාට්‍ය නිර්මාණ අතර ‘දැති කියත’, ‘සත්‍යංගනාවි’, ‘සුභ සාධක’, ‘පැන්ස තුනේ කතාව’, ‘සාක්කි’, ‘නෝරාගේ ගෙදර’ ආදිය වේ. විජිත ගුණරත්න සිය පළමු සිනමා අධ්‍යක්ෂණය වූ ‘වළාපටල’ චිත්‍රපටය වෙනුවෙන් 2009 වසරේදී හොඳම අධ්‍යක්ෂණයට හිමි සරසවිය සම්මානයෙන් ද පිදුම් ලැබීය

.