වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මට වාරණ නැහැ

මට වාරණ නැහැ

උසාවිය නිහඬ කළ තිලක්ෂිනි

තිලක්ෂිනි රත්නායක යනු නව පරපුරේ තවත් රංගන ශිල්පිනියක් නොවේ. ඇය දායකත්වය දැක්වූ නිර්මාණපෙළ සලකා බැලීමේදී ඔබටද එය පසක්වනු ඇත. තිලක්ෂිනි පිළිබඳ වඩාත් කතාබහට ලක්වූයේ ප්‍රසන්න විතානගේ ගේ උසාවිය නිහඬයි චිත්‍රපටය තිරගතවීම සමඟිනි. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ඇය. එහෙත් තිලක්ෂිනිව මාධ්‍ය තුළින් අන් නිළියන් මෙන් ඔසවා තැබුවේ නැත. ඇගේ නිහඬබව එයට එක් හේතුවක් වන්නට පුළුවන. මේ ඒ තිලක්ෂිනිව ඔබ වඩාත් හඳුනාගන්නා මොහොතයි.

* තිලක්ෂිනි ඔබගෙ රංගන ජීවිතය ආරම්භවන තැන කොතැනද?

වේදිකාවෙන් තමයි මගෙ රංගන ජීවිතය ආරම්භවන්නෙ. හැබැයි රඟපාන්න මං හිතාගෙන හිටියෙ නැහැ. එක්තරා කෙටි නාට්‍යයකට පිටපත් රචනය පැත්තෙන් මට දායකවන්නට අවස්ථාව උදාවුණා. පිටපත් රචනයටත් වඩා මං ඊට එකතුවුණේ පිටපත් රචනය හදාරන්න. නමුත් මට ඒ අභිලාෂය ඉටුකරගන්න ලැබුණේ නැහැ. මට වුණේ රඟපාන්න. එක්තරා මොහොතක අදාළ නිළියක් ආවේ නැහැ. ඒ හිදැස පිරෙව්වෙ මං. ඒ කෙටිනාට්‍යයේ නම 'රියැලිටි'. එය රාජ්‍ය නාට්‍ය උළෙල ඇතුළු උළෙලයන් කිහිපයකට යොමු කළා. කියන්නට පුදුමයි මාව ඒවායින් සම්මානයට පාත්‍රවුණා.

* එතැන් පටන් ඔබ තීරණය කළාද රඟපාන්න.

නැහැ. මට හිතුණේ මං රංගනය ගැන කොපමණ දේවල් නොදන්නවාද කියන එක. ඉගෙන ගත්ත නම් කොපමණ දේවල් තියෙනවද කියලත් මට දැනුණා. ඊට පසුව හදාරමින් මේ ගමන යන්න තීරණය කළා. තවමත් මං රංගන කලාව ගැන දන්නෙ බොහොම පොඩ්ඩයි. පරතෙරක් නැති රංගන කලාව ගැන සෙමින් අධ්‍යයනය කරමින් දිගු ගමනක් යන්නටයි අපේක්ෂාව.

* ඔබ රඟපෑ නිර්මාණ පෙළ ගැන මතක් කිරීමක් කළොත්?

රියැලිටි නාට්‍යයෙන් පසුව හැපි ජර්නි කියලා නාට්‍යයකට එකතුවුණා. මගේම නිෂ්පාදනයකුත් එළිදැක්වූවා. ඒකෙ නම තටු එනකල්. කූඹියෝ නාට්‍යයේ රඟපෑවා. ආනන්ද අබේනායක මහත්මයාගේ ග්‍රැහැම් බෙල්වත් හිතුවද නාට්‍යයේ ප්‍රධාන චරිතයක් මැව්වා. රඟපෑ චිත්‍රපට නම් උසාවිය නිහඬයි සහ ඇගේ ඇස අග. ලලිත් රත්නායක අධ්‍යක්ෂවරයාගේ විශමභාග චිත්‍රපටය එන්න තියෙනවා.

* ඔබ රඟපෑ නිර්මාණ පෙළ සලකා බලද්දී තෝරාගත් අධ්‍යක්ෂවරු පිරිසකගේ නිර්මාණවලට පමණක් ඔබ කොටුවී ඇති ආකාරයක් පෙනෙනවා.

නැහැ. මට ඔවුන් ඔවුන්ගේ නිර්මාණවලට කතා කළා. මං සහභාගිවුණා. ඒත් ඒවා තෝරාබේරගෙන කළ නිර්මාණ නොවෙයි. මං එහෙම මේ මේ අධ්‍යක්ෂවරු එක්ක පමණයි වැඩ කරන්නෙ කියන මතයේ නැහැ. මේ කෙටි කාලය ඇතුළත මට හොඳ නිර්මාණවලට දායකවන්නට අවස්ථාව ලැබුණා. ඒක රංගන ශිල්පිනියකට ලැබෙන විරල අවස්ථාවක්.

* උසාවිය නිහඬයි සිනමාපටය තිරගතවන කාලයේදී ඔබ පිළිබඳ මාධ්‍යයන් ඔසවා තැබුවේ නැහැ. සාමාන්‍යයෙන් චිත්‍රපටයක් තිරගතවෙද්දී එහි රගපාපු නළුනිළියන් මාධ්‍යතුළින් කතාබහට ලක්වෙනවා. ඔබ එහෙම වුණේ නැහැ. ඒකයි මං ඇහැව්වෙ?

මම දන්නෙ නැහැ ඊට හේතුව. ඒක එහෙම වෙන්න යම්කිසි බලපෑමක් තිබෙන්නත් පුළුවන්. එක අතකින් මං නිළියක් කියලා මහලොකු ප්‍රතිරූප මවාගෙන සිටින කෙනෙක් නොවෙන හින්දා වෙන්න ඇති. මං හරිම සරලයි. අදාළ තැන්වලදි පමණයි කැපිලා පෙනෙන්නෙ. මේ මේ කරුණු කාරණා මත මං ගැන කතාකරනවා අඩුවෙන්න පුළුවන්.

* ඔබ සම්ප්‍රදායික රංගන ශිල්පිනියක් නොවන වග පේනවා. ඒ තත්ත්වය මත නිරුවත් දර්ශන ඔබ ප්‍රතික්ෂේප නොකරනවා වෙන්න පුළුවන්.

ප්‍රතික්ෂේප කරනවාට වඩා බෙදා වෙන් කිරීමක් නැහැ කියලා කියන්න පුළුවනි. ඒක නිසා පිටපතට අදාළ නම් මා තුළ කිසිදු දර්ශන සඳහා වාරණනැහැ. අපට තියන ශරීරය කවදාහරි දිරලා වලපල්ලට යනවා. මගෙ නිරුවත මං දකිනවා. අනික මට තියෙන්නේ මාර ඇඟක් නෙවෙයි. අප ඒ ගැන දැනගෙන කටයුතු කළොත් හරි. ඒ නිසයි මා තුළ නිරුවත් හෝ වෙනත් දර්ශන බෙදාවෙන්කිරීමක් නැත්තෙ.

* එතකොට ලිංගික දර්ශන?

අන්න එතනදිනම් දෙවතාවක් හිතන්න වෙනවා. නිරුවත් දර්ශනවලදි මං මගේ නිරුවත සමඟයි ගනුදෙනු කරන්නෙ. ලිංගික දර්ශනවලදි එහෙම බැහැ. තවත් සහායකයකු සමඟයි රඟපාන්න වෙන්නෙ. එතකොට එම දර්ශන රඟපාන්න කලින් සැලකිය යුතු කාරණා කිහිපයක් තියෙනවා.

* ඔබේ රංගන කටයුතුවලට ගෙදරින් ලැබුනේ මොනවගේ සහායක්ද?

මම පවුලේ එකම ළමයා. ඒ නිසාත් රංගනය ගෞරවනීය වෘත්තියක් විදිහට ඇතැම් අය පිළිගන්නෙ නැති නිසාත් ගෙදරින් මට ලොකු බලපෑමක් ආවා. ආර්ථිකය හදාගන්න ගමන් රඟපාන්න කියලත් කිව්වා. මව්පියන්ට දැනෙන්න ඇති රඟපාලා හම්බකරන්න බැහැ කියලා. නමුත් පසුකාලීනව අම්මා සහ තාත්තා මාව තේරුම් ගත්තා.

* ඔබේ පෙම්වතාගෙන් රංගනයට වාරණ නැතිද?

ඔහුත් කලාලොව නියෝජනය කරන කෙනෙක්. සාම්ප්‍රදායික පෙම්වතා, පෙම්වතියට වඩා එහාගිය බැඳීමක් අප දෙදෙනා අතර තියනවා. ඒ තේරුම් ගැනීම තුළ වාරණ බැමි නැහැ.

* ඔබේ පදිංචිය කොහෙද?

මං කොළඹ.

* ඉගෙන ගත් පාසල?

බම්බලපිටිය ශුද්ධවු පවුලේ කන්‍යාරාමය.

* මොනවද අනාගත බලාපොරොත්තු?

අත්දැකීම් ලබමින් කලාකාරිණියක් හැටියට ක්ෂේත්‍රයට හොඳ දෙයක් කිරීමයි අපේක්ෂාව. මේ වනවිට මං ප්ලේ හවුස් ආයතනයටත් සම්බන්ධවෙලා ඉන්නවා. විකෘති ඇතුළු වේදිකානාට්‍ය කිහිපයක චරිත මවනවා. ඒ ගැනත් මේ වෙලාවෙ මතක් කරන්න කැමැතියි.