වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




‘අන්න අද පත්තරේ තියෙනවා අලුත් නිෂ්පාදිකාවගේ නම’

‘අන්න අද පත්තරේ තියෙනවා අලුත් නිෂ්පාදිකාවගේ නම’

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුන් සොයාගනියි. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නේය. පිටකොටුවේ සාප්පුව තම අතට ගන්නට සිතන බිනරි නිවස අලුත්වැඩියාවට ඩික්සන් නම් තරුණයකුට පවරයි. අනතුරුව ඩික්සන් එම නිවසේම පදිංචි වෙයි. බිනරිගේ පැරැණි මිතුරෙකු වූ දර්ශන චිත්‍රපටයක් නිපදවීම ඩික්සන් පොලොඹවා ගැනීමට උත්සහා කරයි. එහි දුෂ්ටයා වනුයේ ඩික්සන්ය. නිෂ්පාදිකාව බිනරි.

අද එතැන් සිට...

බිනරි හිටිවනම ගල් ගැසුණාය.ඒ ඇය කිසිසේත් බලාපොරොත්තු තබා ගත්තක් නොවීය.සිනමාකෘතිය ආරම්භ කරන්නට සුළුවෙන් නමුත් මුහුරත් උලෙළක් පවත්වන්නට දර්ශන බලාපොරොත්තු වූයේය.

‘කොහේවත් නොවේ බිනරි ගෙදරම කරමු.එක සීන් එකක් අරන් නැකතට කැමරාව වැඩ කළා ගිවිසුම් අස්සන් කළා එච්චරයි“.

දර්ශන පැවසුවේ බිනරිගේ කටට උත්තරයක් දෙමිනි.

‘මෙච්චර කරපු එකේ ඕක නොකර වැඩක් තියෙනවා ද?.ඔය පත්තරවලට පින්තුරයක් දාන්ඩත් පුළුවන් නේ.පින්තූරයක් ගත්තම’

‘දැන් පත්තරවලටත් එදාට කියනවද ?’

බිනරි හිතින් අත ඇති ඉතිරි මුදල ගණනය කළාය.

‘පත්තරවලට එන්ඩ කියන්නේ නෑ.අපි ගිහින් පින්තූර ටික දෙනවා.ඕවයැ ඉන්නේ අපේ යාළුවොනේ’

දර්ශන බිනරි ගේ මුහුණට එබිකම් කළේය.ඔහුගේ ඉරියව්වේ තිබුණේ පාරම් බාන ස්වරූපයකි.බිනරි හිස වැනුවාය.

‘අන්න අද පත්තරේ තියෙනවා.අලුත් නිෂ්පාදිකාවගේ නම’

දර්ශන පැවසුවේය.ඇය මොහොතක් නිහඩ ව සිටියාය.දර්ශන පැවසුවේ කලින් දවසේය.ඒ දුරකතනයෙනි.හන්දියට ගිය ඇය පුවත්පත මිලයට ගත්තාය. ඇය පුවත්පත් දිග හැරියේ ගෙදර පැමිණි පසුවය.

අලුත් නිෂ්පාදිකාවක් සමග අලුත් චිත්‍රපටයක් පුවත්තේ සිනමා පිටුවේ කුඩාතීරුවක සදහන්ව තිබිණ. ප්‍රවෘත්තිය කුඩායැයි ඇයට මුලින් දුකක් ඇති විය.එහෙත් කිහිප වරක්ම ඉහළටත් පහළටත් තම නම කියැවීමෙන් පසුව ඇය ලොකුවට නමක් පස්සේ බැරියැයි හිත හදා ගත්තාය. එදින ඇය දහවල් හොදින් ඇඳ පැළද කඩ පිළට ගියාය.තවත් පත්තර තුනක්ම මිලයට ගත්තාය.තමා දන්නා හදුනන කිසිවකු හෝ පුවත්පත කියවා නැත්දැයි ඇය විමසා බලන්නට තැත් කළාය.මාමා නම් දිනපතා පුවත්පත් මිලයට ගනී.මාමා අම්මා සමග කලබලයෙන් කතා කරනු ඇතැයි ඇය සිතුවාය.එහෙත් කිසිවකු හෝ කතා කළේ නැත.ඊරිෂියාකාරයෝ ඇය තමාටම කියා ගත්තාය. ඇය යළි පුවත්පතත කියවා එය ඇද මෙට්ටිය යට සඟවා තැබුවාය.එහි ඩික්සන් ගේ නම නොවීය.එක් අතකින් එය හොඳය.නැත්නම් කයි කතන්දර වැඩි වන්නේය.ඩික්සන් පුවත්පත දැක ගතහොත් ඔහුගේ නම නොමැතිවීම ගැන කම්පා වනු ඇත එබැවින් පුවත්පත සඟවා ගැනීම හොඳය.

ඩික්සන් ගෙදර ආවේ රෑ බෝවෙමිනි.

ඔහු ද පුවත්පතක් මිලයට ගෙන තිබිණ.ඔහු පුවත්පත ගෙන ඇයට පෑවේය.

‘මම දැක්කා.’

ඇය වැඩි ගණනක් නැතිවම පැවසුවේය.ඔහු පුවත්පත අකුළා ගත්තේය.

‘ඇයි මොකෝ බුම්මාගෙන?’

එම ප්‍රවෘත්තිය දැකිමෙන් ඇය සතුටු වනු ඇතැයි ඩික්සන් කල්පනා කළේය.එහෙත් මේ ගැහැනිය සතුටු වන්නේ නැතිද ?

ඇය ජීවිතය ලෙස දකින්නේ කුමක්ද ?

ඔහු සිතන්නට වන්නේය.

‘නෑ රත්තරං.මේකට මුල් වුණේ ඔයා.ඒ වුනට ඔයාගේ නම නෑ‘

බිනරි ඔහුට තුරුලු වුනාය.

‘පිස්සුද ළමයෝ.දැන්ම මගේ නම දාන්ඩ හොද නෑ කියලයි දර්ශන මහත්තයා කිව්වේ.‘

ඩික්සන් පැවසුවේ ඇය සිරුරට සමීප කරමිනි.

‘මගේ නම ඕනෑ කාලෙට එයි’.

ඔහු ඇය දෙස බලා අනුමාන කළේය..

‘ඔය ඊරිසියා කාරයෝ මොනවා කියයි කියලද හිතන්නේ සුදු නෝනේ’

ඩික්සන් පැවසුවේ පුවත්පත පසෙකට ලමිනි.චිත්‍රපටයේ මුහුරත් උළෙල දවසේ දර්ශන කැමරාව මෙහෙය වන්නට අලුත් ශිල්පියෙකු සොයා ගෙන තිබිණ.එදින බිනරි ගේ නිවසම අමුතු සිරියක් ගත්තේය.අහල පහල මිනිසුන්ටද යමක් සිදුවන බවට ඉව ඇති වී තිබිණ.සතියේ දවසක් බැවින් ගෙවල්වල සිටි බහුතරය ගැහැනු පමණකි.ඔවුන් එකිනෙකා දකින දේ ගැන කොදුරා ගත්තාය.පසුගිය දවස්වල බිනරි මේ බොහෝ දෙනා සමග වැඩි ඇයි හොඳයියකට නොගියාය.භාතිය නළුවකු නිසා කාටත් හුරු පුරුදුය.චිත්‍රපටයේ කැමරාව සමග දෙදෙනෙක් එහි පැමිණියහ.ආලෝක කරණ ශිල්පීන් දෙන්නෙකි.ඔවුන් දර්ශන සමග කතාවට වැටුනේ නැත.කැමරාව මෙහෙයවන්නට පැමිණි කුමාරට අවුරුදු හැටක් පමණ වන්නට ඇත.

‘මේ තමයි අපේ නිෂ්පාදිකාව’

දර්ශන බිනරි හදුන්වාදෙමින් පැවුසුවේය.

‘අපේ කට්ටියට බටා දෙන්ඩ ඕනෑ මල්ලි.වෙන ඒවායේ වගේ නෙවේ.උඹේ කට වචනේ අහක දාන්ඩ බැරි හින්දා ආවේ

කුමාර පැවසුවේය.දර්ශන ගේ මුහුණ වෙනස් වූයේ නැත.

‘යකෝ විහිලු කරන්ඩ වෙලාවක් තියා ගනිං.’

ඔහු කුමාර පැත්තකට කර ගෙන ගියේය.ඩික්සන් සහ භාතිය එකවර වෙලාව බැලුවේය.

‘දර්ශන මහත්තයා වෙලාව ළඟයි’.

දර්ශන කිසිවක්ගේ අතේ තිබුණ ක්ලැෆර් බෝඩ් එක බිනරි අතට දුන්නාය.ඒ අතරවාරයේ නිශ්චල ඡායාරූප ශිල්පියකුද පැමිණි තිබිණ.ඔහු තරුණයෙකි.මේ සියල්ලම දර්ශනගේ සැලසුම්ය.

‘බිනරි ඔයා වෙලාවට මේ ක්ලැෆර් බෝඩ් එක ගහලා පැත්තකට වෙනඩ’

දර්ශන උපදෙස් දුන්නේය.සියල්ල යහපත් අන්දමින් සිදුවිණ.බිනරි නියම වෙලාවට ක්ලැෆර් බෝඩ් එක ගැසුවාය.ඩික්සන් හා භාතිය එකට කතා කරන දර්ශනයක් කුමාරගේ කැමරාවට හසුවිණ.හැන්දෑවේ සාදයක් පවත්වන්නට ඩික්සන් කටයුතු කළේය.එයට පෙර අතිරේක ශිල්පින් පිටත් කරන්නට දර්ශන කටයුතු කළේය.සාදයට වුවමනා බීම වර්ග ද කටගැස්ම ද අහසින් පාත් වුණා මෙන් මේසයට පැමිණියේය.නිශ්චල ඡායාරූප ශිල්පියා ටික වේලවකින් කැමරා ශිල්පියාට චිත්‍රපටකරණය ගැන උපදෙස් දුන්නේය.බිනරි කාමරයට වී අද දවසේ වියදම් එකින්එක් සෑදුවාය.