වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවියට පනස් පහයි

සරසවියට පනස් පහයි

මගේ මාධ්‍ය ඉස්කෝලෙ සරසවිය යි

ලේක් හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි

සරසවිය පුවත්පතේ 55 වෙනි උපන් දිනයට පළමුව සුබ පතමි. ඒ වර්තමාන ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ලෙස නොවේ. එහි සේවය කළ මාධ්‍යවේදියකු වශයෙනි. මා 1966 දී සරසවිය පුවත්පතට සම්බන්ධ වනවිට සරසවිය පත්‍රයේ වයස අවුරුදු තුනකි. ඒ කාලයේ සරසවිය පත්‍රයේ කතුවරයා විමලසිරි පෙරේරාය. ප්‍රධාන උප කතුවරයා ලක්ෂ්මන් වික්‍රමසිංහය. කලා හෝ ඡායාරූප සංස්කාරකවරයා ලෙස නිමල් පෙරේරා ද, කුමාරදාස වාකිෂ්ට, සෝමවීර සේනානායක, අර්නස්ට් වඩුගේ, සිරි කහවල, නන්දසේන සූරියාරච්චි, සිරි කුලරත්න ආදීහු විශේෂාංග ලේඛකයන් ලෙස සම්බන්ධව සිටියහ. සිරි කහවල, නන්දසේන සූරියාරච්චි හා සිරි කුලරත්න කැලණි සරසවියේ මගේ සමකාලීනයන් බව මෙහි විශේෂයෙන් සඳහන් කළ යුතුය. අප කිහිප දෙනා අතුරෙන් සරසවිය පුවත්පතට කලින්ම එක්ව සිටි සගයා සිරි කහවලය.

ලේඛන කලාව කෙරෙහි මා තුළ පැවතියේ දැඩි ඇල්මකි. ඒ නිසාම පුවත්පත් කලාවටම ප්‍රවේශ වීමේ සිහිනයක් මා සතුව තිබිණ. එහෙත් ඒ කාලයේ ලංකාවේ අද මෙන් පුවත්පත් ආයතන රැසක් නොතිබිණි. එකල ලේක්හවුස් ආයතනය සහ ටයිම්ස් ආයතනය ප්‍රමුඛ විය. දවස ආයතනය ආරම්භයේදීම සතියේ දින හතට පුවත්පත් 7 ක් නිකුත් කරන තරමට ශක්තිමත්ව සිටියාය. මා පළමුව සම්බන්ධ වුණේ දවස ආයතනයටය. දවස නිවෙසින් සතිපතා පළ කළ විසිතුර නම් සිනමා හා කලා සංග්‍රහයට සම්බන්ධවීමේ අවස්ථාව මට උදා විය. එය කාලයේ හැටියට, මහා ජයග්‍රහණයක් ලෙස මම අදත් සලකනු කැමැත්තෙමි. දවස නිවෙසේ දොර මට විවර කළේ ආතර් යූ. අමරසේන විසිනි. ඔහු යටතේ මාස ගණනක් විසිතුර පුවත්පතට ලිපි සපයමින් සිටි මට නොසිතූ ලෙස ලේක්හවුස් ආයතනයේ දොර විවර විය. ඒ පණිවිඩය මට ගෙන ආවේ සිරි කහවලය. සිරි කහවල කී පරිදි සරසවිය පුවත්පතේ ප්‍රධාන උප කර්තෘ ලෙස සේවය කළ ලක්ෂ්මන් වික්‍රමසිංහ මා කැඳවනු ලැබී යයි ඒ සංසිද්ධිය සටහන් කරනු කැමැත්තෙමි.

සිරි කහවල හරහා ලැබුණ පණිවිඩය අනුව මම ලේක්හවුස් ආයතනයට පැමිණ ලක්ෂ්මන් වික්‍රමසිංහ හමුවීමි. ලක්ෂ්මන් සමඟ ආගිය තොරතුරු කතා කළ පසුව, මා විමලසිරි පෙරේරා වෙත යොමු කෙරිණ. විමලසිරි පෙරේරා ඒ වන විට සරසවිය පුවත්පතේ මෙන්ම නවයුගය සඟරාවේ ද ප්‍රධාන කතුවරයා විය.

“තවම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවාද” විමලසිරි පෙරේරා මගෙන් ඇසූ මුල්ම ප්‍රශ්නය එය විය. මම ඔහුට හිස සලා උත්තර දුනිමි. ඔහු මගේ ගම කොහේද කියාවත් ඇසුවේ නැත.

“සරසවිය කියවනවාද” ඔහු මගෙන් ඇසූ දෙවන ප්‍රශ්නය එය විය. එය කඩයිම් ප්‍රශ්නයක් බව තේරුම් ගත් මා ඊට නොපැකිළ ඔව් කීමට පරෙස්සම් වීමි.

“ඔයා බයිස්කෝප් කාරයෙක්ද?” ඔහු මතු කළ තෙවැනි ප්‍රශ්නය මම කිසි විටෙකත් අපේක්ෂා නොකළ එකකි. හේතුව බයිස්කෝප් ගැන පළ කරන සරසවිය පත්‍රයේ කතුවරයා සරසවිය පාඨකයෙකුගෙන් තමා බයිස්කෝප් කාරයෙකුදැයි මුහුණටම විමසීමය. මගේ උත්තරය වහා දිව අගට පැමිණිය ද එහි බරපතළකම තේරුම් ගත් මම මඳක් පසුබා සිටියෙමි. මා විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස හඳුනාගෙන සිටි හෙයින් වාසිදායක මෙන්ම අවස්ථාවාදී උත්තරයකට වඩා මගේ ආත්ම ගෞරවය රැක ගැනීම මැනවයි මට කල්පනා විය.

“මම කැමතිම විෂය සාහිත්‍ය. බලන්නේ තෝරාගත් චිත්‍රපට පමණයි. මම චිත්‍රපට සහ බයිස්කෝප් දෙක හොඳින් හඳුනනවා. මම සරසවිය බලන්නේ සරසවිය ෆෙස්ටිවල් කාලෙට විතරයි. හේතුව ඒ දවස්වලට චිත්‍රපට ගැන මිස බයිස්කෝප් ගැන ලිපි පළ නොවන නිසා” මා විරාමයක් ගෙන දුන් පිළිතුර අසා සිටි විමලසිරි පෙරේරා ද වහා ඊළග ප්‍රශ්නයට නොයා යම් කාලයක් නිහඬව සිටි බව මට මතකය.

“අපි ඔයාට එන්න කීවේ නළු නිළියන් ගැන ලියන්න නොවෙයි. මේ සරසවිය පත්‍රය කලා සාහිත්‍ය ගැන උනන්දු වන අය අතරට යවන්න ඕනෑ නිසා. ඔයාගෙන් අපිට අවශ්‍ය සාහිත්‍ය විශේෂාංග.” එසේ කියා සාකච්ඡාව අවසන් කළ ප්‍රධාන කතුවරයා මා ආපසු ලක්ෂ්මන් වික්‍රමසිංහ වෙත යොමු කළේය. මම පටන් ගත්තේ එහෙමය. පසුගියදා අප අතරින් වියෝ වූ සිරි කුලරත්න සරසවිය පත්‍රයට සම්බන්ධ වුණේ මට පසුවය. ඔහු වෙනුවෙන් කපුකම කළේ ද සිරි කහවලය. ඒ වන විට කහවලත්, කුලරත්නත් දෙදෙනාම විශ්වවිද්‍යාලයේ හින්දි විෂය හදාරමින් සිටියහ. සත්‍ය ලෙසම සිරි කුලරත්නගේ නම චන්ද්‍රසිරි කුලරත්න විය. චන්ද්‍රසිරි කුලරත්නගේ දෙවන හෝ තුන්වන ලිපිය ප්‍රමාද දෝෂයකින් චන්ද්‍රසිරි සෙනෙවිරත්න නමින් පළ විය. එය දෙදෙනාම චන්ද්‍රසිරිලා වීම නිසා සිදු වූ ප්‍රමාද දෝෂයකි. ඒ සිදුවීමට ආසන්න දවසක සරසවි කැන්ටිමේදී මට හමු වූ කුලේ අපූරු කතාවක් කීය.

“මචං මම නම වෙනස් කර ගත්තා.” මට එය අදහා ගත නොහැකි විය. මම කිසිවක් නොකියා ඔහු දෙස බලා සිටියෙමි. මගේ බැල්මේ තිබුණේ නම වෙනස් කිරීම මට දැනුම් දෙන්නේ ඇයි වැනි විතර්කයක් විය හැකිය.

“චන්ද්‍රසිරිලා දෙන්නෙකුට එක තැන වැඩ කරන්න බැහැ. මම මීට පස්සේ ලියන්නේ සිරි කුලරත්න නමින්.” මට බකස් ගා හිනා ගියා මතකය. කුලේත් මමත් සරසවි ප්‍රවේශ පන්තියේදී හමු වූ මිතුරන් වීමු. කුලේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ සතියේ වඩාත්ම ජනප්‍රිය ගීත කිහිපය සරසවිය පාඨක ඡන්දයෙන් වසර ගණනාවක් තෝරා දෙමින් එක දිගට සරසවිය සතිපතා විශේෂාංගයක් සකස් කළේය. ඒ කාලයේ හොඳම ගීතය සඳහා කැමැත්ත පළ කරමින් ගෝනි ගණන් කූපන් ඇල වූ තැපැල්පත් ලැබුණ බව මට මතකය. මිල්ටන් මල්ලවආරච්චි ගායනා කරන “පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ” ගීතය සිරි කුලරත්න ලියන ලද්දේ සරසවියේ සේවය කරන අතරය. සරසවිය පත්‍රය හෝ මා නිසා සිරි කුලරත්න නම් වූ චන්ද්‍රසිරි කුලරත්න කෙටි කලකින් සරසවිය පත්‍රයෙන් සහ පුවත්පත් කලාවෙන් ඈත් විය. ඒ ඔහු සිනමා කර්මාන්තයට ඇදී ගිය නිසාය.

සාහිත්‍ය ලිපි මට පැවරී තිබිණි. රජයේ සාහිත්‍ය උත්සවය විසින් තෝරා ගත් මාතෘකා සඳහා සාහිත්‍ය මාසයට අප තෝරා ගත් සාහිත්‍යධරයන්ගේ ලිපි ඇතුළත් වෙනම සාහිත්‍ය අතිරේක සරසවියේ පළ විය.

එක් දවසක් මට කතා කළ ලක්ෂ්මන් වික්‍රමසිංහ කීවේ මගේ සාහිත්‍ය විශේෂාංග ලිපි නිසා සරසවිය පුවත්පත පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර ජනප්‍රිය වී ඇති බවය.

මා දැනගත් පරිදි විමලසිරි පෙරේරා සාහිත්‍ය ලිපි පළ කිරීමට කල්පනා කළේ අරමුණු දෙකක් හිතේ තබාගෙනය. බයිස්කෝප් පත්තරයක් වන සරසවිය පාසල් දරුවන් අතර ගැවසෙනවාට ඒ යුගයේ සමහර වැඩිහිටියන් තුළ කැමැත්තක් නොතිබිණ. එය පත්‍රයේ අලෙවියට හා හොඳ නමට අවහිරයක් ලෙස ඔහු සැලකුවා විය හැකිය. ඊට යෙදූ ප්‍රතිකර්මය විශ්වවිද්‍යාල ප්‍රජාවගේ සහභාගිත්වයෙන් සාහිත්‍ය ලිපි පළ කිරීමය. ඒ නිසා අධ්‍යාපනික පුවත්පතක් ලෙස සරසවියට අලුත් වටිනාකමක් ලැබිණ.

සරසවිය ගැන තවත් බොහෝ දේ මට සිහිපත් කළ හැකිය. ඒ යුගයේ සිංහල චිත්‍රපට ලෝලීන් වඩාත්ම ඇසුරු කළ පුවත්පත සරසවිය බව ආඩම්බරයෙන් සඳහන් කළ යුතුය . සරසවිය පුවත්පතේ පිටු දෙකක් පුරා පළ කළ කුමාරදාස වාකිෂ්ට ලියූ තිර තරු තොරතුරු සිනමා කර්මාන්තයට මහත් පිටිවහලක් විය. සරසවිය පුවත්පතෙන් ලැබෙන සහාය එකල ප්‍රදර්ශනය වු සිංහල චිත්‍රපටවල පැවැත්ම කෙරෙහි බෙහෙවින් බල පෑ බව නොරහසකි. ඊට හොඳම නිදසුන මහගම සේකර නිර්මාණය කළ තුංමං හන්දිය චිත්‍රපටයයි. තුංමං හන්දිය විශිෂ්ට කලාත්මක නිර්මාණයකි. එහෙත් එය ගැලරි වාසි සිනමා ලෝලයන්ගේ රුචිකත්වය සමඟ ගැළපුණේ නැත. මුල් සතියෙම තුංමං හන්දිය අසාර්ථක වන බවට පෙරනිමිති පහළ විය. තුංමං හන්දිය නිෂ්පාදක චිත්‍රා බාලසූරිය සරසවියට පැමිණ මේ තත්ත්වය පැහැදිලි කළා මට මතකය. ඒ වහාම සරසවිය කර්තෘ මණ්ඩලය ගොඩගැනීමේ මෙහෙයුම ආරම්භ කළේය. මුලින්ම කළේ මමත්, ඒ. ඩී. රන්ජිත් කුමාරත් සේකර වෙත යැවීමය. මගේ මතකය නිවැරැදි නම් පුරා මාසයක් සරසවිය පුවත්පත තුංමං හන්දිය කර තබාගෙන ගොඩ දැම්මා කීම සත්‍යයකි. ඒ යුගයේ සිංහල චිත්‍රපට කර්මාන්තය කෙරෙහි සෘජුව බල පෑ සිනමා පුවත්පත් අතර සරසවිය ඉදිරියෙන් සිටි බවට තවත් සාක්ෂි උවමනා නැත. එසේම සරසවිය චිත්‍රපට උලෙළ සිංහල චිත්‍රපට කර්මාන්තය කෙරෙහි ලබා දුන් දායකත්වය අති මහත්ය.

එසේම පරසතු මල් චිත්‍රපටයේ දර්ශන රූගත කිරීම පිළිබඳ සරසවිය පත්‍රයේ පින්තූර සහිත පිටුව සැකසෙන අතර චිත්‍රපටයේ කථා රචක පී. කේ. ඩී. සෙනෙවිරත්න නම් ප්‍රකට කවියා සරසවිය කර්තෘ මණ්ඩලයට පැමිණ තිබේ. ඔහු මෙම ඡායාරූප සහිත වාර්තාව දැක ඊට කවියක් එක් කිරීමට කැමැත්ත පළ කර තිබේ. පී. කේ. ඩී. සෙනෙවිරත්න විසින් ලියූ එකී කවිය චිත්‍රපටයට ද ඇතුළත් කළ බව බොහෝ දෙනා නොදනී.

බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ
දෙනිපෙත අඬන හිරියා මල් පිපුණාවේ
මා ආදරය දුටු බව නොම හැඟුණාවේ
මා නැති කලක උන් සුවඳක් දැනුණාවේ

සරසවිය චිත්‍රපට උලෙළකදී හොඳම චිත්‍රපට අධ්‍යක්ෂ ලෙස සම්මාන ලද සිනමාකරුවා සොයා නිෂ්පාදකයන් පෝලිමේ පැමිණි බව රහසක් නොවේ. ඒ යුගයේ හොඳම සිංහල චිත්‍රපට පිළිබඳ සහතික නිකුත් කළේ ලියන ලද්දේ සරසවිය පුවත්පත විසිනි. වරක් හොඳම ගායකයා ලෙස එච්. ආර්. ජෝතිපාල ද, හොඳම ගායිකාව ලෙස නන්දා මාලිනී ද සම්මානයට පාත්‍ර විය. ඒ යුගයේ නිෂ්පාදකයන් කිහිප දෙනෙකු නන්දා සහ ජෝතිපාල යොදා යුග ගීයක් නිර්මාණය කිරීමට මහත් වෙහෙසක් ගත් බව ප්‍රකට කතාවකි. ඒ උවමනාව ව්‍යර්ථ වුණේ කා නිසා ද යන්න මම මෙහි සටහන් කිරීමට නොකැමැත්තෙමි.

සරසවිය චිත්‍රපට උලෙළේ චිත්‍රපට තේරීම් සහ විනිශ්චය පිළිබඳව පැවතියේ විශ්වසනීය මට්ටමේ ඉහළ තක්සේරුවකි. සරසවිය චිත්‍රපට උලෙළේ සම්මාන ප්‍රදානය ආසන්න දිනවල සරසවිය සාමාජිකයන්ට සිනමා කර්මාන්යේ නියැළි සිනමා ශිල්පීන් කතා කළේ සම්මාන ගැනය. “අපිටත් වාසි තියෙයි නේද” සමහර ජ්‍යෙෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් නළු නිළියන් පවා ඉතා අහිංසකව එසේ විමසූ බව එකී පුරෝගාමීන්ට ගෞරවයෙන් සඳහන් කළ යුතුවේ. සරසවිය ජූරියට තිබුණේ ඉහළ පිළිගැනීමකි. සත් සමුදුර හොඳම චිත්‍රපටය ලෙස තේරී ඇති බව සම්මාන ප්‍රදානය කළ දවසේ සවස් වන තෙක් සිරි ගුනසිංහ දැන සිටියේ නැත. විශේෂයෙන් සිරි ගුනසිංහ ගැන සඳහන් කළේ මේ කාලයේ සරසවියේ ප්‍රධාන උප කර්තෘව සිටි සුද්දා හෙවත් ලක්ෂ්මන් වික්‍රමසිංහ නිසාය. පේරදෙනිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත ගෞරව උපාධිධාරියෙකු වූ සුද්දා සිරි ගුනසිංහගේ සමීප සිසුවෙකි. මේ අතීතය සිහි කරන්නේ අද මෙන් එදාත් සරසවිය සම්මාන ප්‍රදානය ස්වාධීන ජූරියකට පැවරුණ රහස්‍ය භාවයකින් මෙන්ම අපක්ෂපාත භාවයකින් යුක්තව පැවති බව සිහි කිරීම සඳහාය.

මෙතෙක් සිහිපත් කළේ මා සේවය කළ සරසවිය සම්බන්ධ අතීත කතාය. සරසවිය පුවත්පතේ ඇසුර නිසා අපට ලැබුණ දේ බොහෝය. මා පත්තර කලාව උගත්තේ සරසවිය මාධ්‍ය පාසලෙනි. වරක් මට කොළඹ යුගයේ කවි ගැන සිරි ගුණසිංහගේ මතවාද සරසවිය පත්‍රයට සකස් කළෙමි. ඒ ලිපියේ විමලරත්න කුමාරගම හැර කොළඹ යුගයේ ප්‍රකට කවීන් සියල්ලන්ම ගුණසිංහගේ නිර්දය විවේචනයට ලක් කර තිබිණි. පිටුවේ ආකෘතිය කිය වූ ලක්ෂ්මන් වික්‍රමසිංහ මා අමතා “ලොක්කාගේ තාත්තාගේ නමත් තියනවා නේද?” විමසා සිනාසිණි. අපේ ප්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරා ප්‍රකට කවියෙකු වූ බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරාගේ වැඩිමහල් පුතාය. ලක්ෂ්මන් කළේ විහිළුවකි. ඒ විහිළුව මා තුළ මොකක්දෝ දෙගිඩියාවක් ඇති කිරීමට සමත් විය. මම හෙමිහිට වැඩ අංශයට ගොස් පිටුව සැකසූ බාස් හමු වී මගේ ලිපියෙන් ජී. එච්. පෙරේරාගේ නම සහිත ඊයම් කොටස ගලවා ඉවත් කළෙමි. ඉන්පසුව මට යම් පහසුවක් දැනිණ. පසුවදා මුද්‍රණය වූ පුවත්පත පෙරළා බලමින් සිටි විමලසිරි පෙරේරා මා කැඳවීය.

“කවුද අපේ තාත්තාගේ නම පත්‍රයෙන් කපලා දැම්මේ. මට දෙලෝ රත් විය. දිය හැකි උත්තරයක් තිබුණේ නැත. තමා හමුවේ සිටගෙන සිටි මට වාඩිවෙන්න කියා විමලසිරි පෙරේරා අතින් සන් කළේය.

“චන්ද්‍රසිරි තමුසෙලා තවම පොඩි ළමයි. කර්තෘලට ඕනෑ විදියට පත්තර කළාට කමක් නැහැ. කර්තෘලා කැමති දේවල් විතරක් ලියන්න පුරුදු වෙන්න එපා. අපේ තාත්තා කවියෙක් කියලා පේරාදෙණියේ කට්ටිය කියන බව කවුරුත් දන්නවා. ඒ වාගේම තාත්තා කොළඹ කවියෙක් කියලා ලංකාවම දන්නවා. ඒ නිසා තීරණයක් ගන්න පාඨකයාට භාරදීලා හොර ඇරලා ලියන්න පුරුදු වෙන්න.” අදත් අත දිගහැර යමක් බය නැතිව ලියන අභ්‍යාසය මා ලබා ගත්තේ සරසවිය නිසා බව ගෞරවයෙන් සිහිපත් කරමි. අපේ කාලයේ වැඩිහිටි පත්‍ර කලාවේදීන් අප හසුරුවන ලද්දේ එසේය.

සරසවිය පුවත්පතට එක්වන විට මා නව යොවුන් සිසුවෙකි. අප එදා සමාජගත වුණේ ලේක්හවුස් ආයතනයේ ලේඛකයන් හැටියටය. ඒ හරහා ලැබු සැලකිල්ල මා තුළ සුවිශේෂ පෞරුෂයක් නිර්මාණය කළාට සැක නැත. මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සරච්චන්ද්‍ර, මහාචාර්ය සිරි ගුනසිංහ, හෙන්රි ජයසේන ආදී ඒ යුගයේ දැවැන්තයන් අපට සමීප වුණේ සරසවිය පත්‍රය නිසාය. ඒ යුගයේ විමල් දිසානායක, සෝමරත්න බාලසූරිය, චන්ද්‍රසිරි පල්ලියගුරු වැනි තරුණ කථිකාචාර්ය වරුන්ගේ ඡායාරූප ලේක්හවුසියේ තිබුණේ නැත. එකල අපේ ඡායාරූප ශිල්පීන් වූ රෙජි බුලත්සිංහල හා බන්දු එස්. කොඩිකාර මගේ සිහියට නැගේ. අප ළඟ එදවස කැමරා ෆෝන් ද නොවීය. ඉහත නම් සඳහන් බොහෝ විද්‍යාර්ථීන් ඡායාරූප ගැනීමට සරසවිය කර්තෘ මණ්ඩලයට පැමිණෙන තරමට එදා සරසවිය පුවත්පතට විදග්ධයන්ගේ පිළිගැනීමක් විය. අදටත් මම සරසවියට ආදරය කරමි. ඒ මගේ මාධ්‍ය පාසල සරසවිය නිසාය.