වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




පෙනුම පක්ෂියෙක් ඇතුළේ කොටියෙක් The Jungle Bunch

පෙනුම පක්ෂියෙක් ඇතුළේ කොටියෙක් The Jungle Bunch

පරිගණක, වික්‍රමාන්විත, හාස්‍යමය චිත්‍රපටයක්
ඩේවිඩ් ඇලෙක්ස්ගේ අධ්‍යක්ෂණයක්

ලොව නිෂ්පාදිත පරිගණක සජීවකරණ චිත්‍රපට අතර අතිශය ජනපි‍්‍රයවූ මැඩගස්කාර් චිත්‍රපට පෙළෙහි පෙන්ගුයින් පක්ෂීන් විසින් කළ වික්‍රමයන් ඔබට අමතක නැතුව ඇති. අද අපි කතා කරන්නේ තවත් එවැනි වූ පෙන්ගුයින් පක්ෂියෙකු පිළිබඳවයි. ඔහු නමින් මෞරිස් ය.

මෞරිස්ගේ පෙනුම සැබැවින්ම පෙන්ගුයින් පක්ෂියෙකු වැනිය. නමුත් ඔහු තුළ සිටින්නේ කොටියෙකි. එයට හේතුවක් ඇත. ඒ මෞරිස් හදා වඩා ගන්නේ කොටි දෙනක විසින් වන නිසාය. මෞරිස් යනු වනාන්තරයේ සිටින දක්ෂතම කුංෆු සටන් ශිල්පියා ද වේ. ඔහු තම මිතුරන් පිරිසද සමඟින් වනයේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට කැපවී සිටින්නේ එය තම රාජකාරිය සේ සලකමිනි. මෞරිස්ගේ මව ද මීට පෙර එම වගකීම මැනවින් ඉටු කළාය. නමුත්, ඊගෝර් නම් දරුණු කෝලා වලසාගේ අභිප්‍රාය වී ඇත්තේ වනාන්තරය විනාශයට පත් කිරීමයි. ඒ වෙනුවෙන් ඔහු සමඟන් පෙළ ගැසී සිටින්නේ බැබුන් වානරයන් පිරිසකි. මෞරිස් ඇතුලුව ජුනියර්, මිගෙල්, ගිල්බර්ට්, ගිල්බට්, බැට්‍රීෂියා, අල්, බොබ් යන මිතුරන් පිරිස ඊගෝර් පරදා වනාන්තරය ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න අපට දැකගත හැකි වන්නේ The Jungle Bunch චිත්‍රපටයෙනි.

පරිගණක, වික්‍රමාන්විත, හාස්‍යමය ප්‍රංශ චිත්‍රපටයක් වන The Jungle Bunch ප්‍රංශ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ඇලෙක්ස්ගේ අධ්‍යක්ෂණයකි. පිලිප් බෝසෝ, ලෝරන්ට් මෝරටෙව්, සෙලයින් මොන්සාර්ට්, එමානුවෙල් කර්ට්ල්, පෝල් බෝර්න්, මේරි ක්‍රිස්ටියන් ඇතුළු පිරිසක් මේ වෙනුවෙන් හඬදායකත්වය ලබාදී ඇත. අධ්‍යක්ෂ ඩේවිඩ් ඇලෙක්ස් ඇතුළුව එරික් ටොස්ටි සහ ජීන් ෆ්‍රැන්සිස්ගේ තිරරචනයකට අනුව නිර්මාණය වී ඇති The Jungle Bunch ළමා ලොවට තවත් අපූරු වික්‍රමයක් ගෙන එන චිත්‍රපටයක් ලෙසින් විශේෂ වේ.

එය IMDb දර්ශකයේ 5/10ක් ලබා ගෙන ඇත් අතර රොටෙන් ටොමැටෝස් විචාරක මනාපය 41%ක් ලබා ගෙන ඇත. හොලිවුඩ් රිපෝටර්හි විචාරක ජෝර්ඩ්න් මින්ට්සර් පවසන්නේ, විශාල නිර්මාණාත්මක පරිකල්පනයකින් නිර්මාණය නොවුවද මෙම චිත්‍රපටය ගලා යාමේ වේගය අනුව එම තතත්වය මඟහැරී ඇති බවයි. ඉතා උසස් තලයේ චිත්‍රාගාරයක නිෂ්පාදනය නොවුනද මෙය උසස් මට්ටමේ පරිගණක සජීවකරණ චිත්‍රපටයක් ලෙසින් නම් කළ හැකි බවත් ඔහු සිය විචාරයේ සඳහන් කරයි. ඩේවිඩ් ඇලෙක්ස් එරික් ටොස්ටි සහ ජීන් ෆ්‍රැන්සිස්ගේ එකතුවෙන් නිවාඩු කාලයේ ලොකු කුඩා කාහටත් සතුට ගෙන දෙන චිත්‍රපටයක් නිර්මාණය කර ඇති බව ජේම්ස් ක්රූට් නම් විචාරකයාගේ අදහසයි. එහි හොඳ විහිළු ඇතුළත් දසුන් ඇතුලත්වීමද ඔහුගේ ඇගයුමට ලක් වී ඇත.