වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




‘මතක චාරිකාවක්ම විය’

‘මතක චාරිකාවක්ම විය’

‘මධුර චාරිකා’ සිනමා විමසුම

පිළිමාන සිට කොළඹට බසයෙන් විල්සන් තම මුනුපුරා සමඟ එන ගමන අතරමඟ දකින රූගත කිරීම් ඔස්සේ අතීත මතක රූප තිරය මත යා වන්නේ රූපවර්ණ භාවිතාවන් ද වෙනසකට බඳුන් කරවීමෙනි. අතීතයේ සීමාසහිත පහසුකම්වලින් සමන්විත ප්‍රාථමික යුගයේ සිනමා ශාලාවක (සකස් කළ) අභ්‍යන්තර දසුන් විචිත්‍ර ලෙස තිරය මත දිගහැරෙන්නේ අතීත ප්‍රේක්ෂක ප්‍රතිචාර මුසුවක් ද එකතු කරමිනි.

සිංහල සිනමා වංශ කතාවේ මුල් යුගයේ ඉතිරිව ඇති අපූරු මතක වස්තූන් කැටිව සර්වකාලීන වටිනාකමක ඔපය සමඟින් ලාංකික සිනමාවේ අක් මුල් පිළිබිඹු වන උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ 'මධුර චාරිකා' වින්දනීය සැබෑම මතක චාරිකාවකැයි හැඟේ. එසේම වත්මන් පරපුරට අතීත ලාංකික සිනමාවේ ශ්‍රී විභූතිය ආවර්ජනය කරදීමට දැරූ උත්සාහයක සලකුණක් ලෙසින් ද 'මධුර චාරිකා' චිත්‍රපටය ඉතිහාසයට එක්වන බව නිසැකය.

අතීත රූගත කිරීම් මුසු අවස්ථා නිරූපණ, ප්‍රේක්ෂක ආකර්ෂණ හැඩරූ එකල සිනමාහලේ වින්දනීය අපූරුතා නිරූපණ භාවිතාව ප්‍රේක්ෂකයාට නවමු අත්දැකීමක් ගෙන දෙයි. අතීත ලාංකික සිනමාවේ රිදී තිරය මත දිග හැරුණු ප්‍රාථමික යුගයේ දසුන් දැක ගැනීමට අහඹු අවස්ථාවන් අධ්‍යක්ෂවරයා ප්‍රේක්ෂකයින්ට උදා කර දී තිබේ. මෙතෙක් මෙවැනි ප්‍රස්තුතයක් පාදක කර ගනිමින් සිනමා තිරයේ දිග නොහැරුණු සංවේදී සුන්දර පසුබිමක් නිර්මාණය කරන්නට උදයකාන්ත වර්ණසූරිය වර්ණවත් ලෙස උත්සාහ දරා ඇති බව කිවමනාය.

සිංහල සිනමාවේ 68 වැනි සංවත්සරය වෙනුවෙන් කොළඹ දී පැවැත්වෙන චිත්‍රපට ප්‍රදර්ශනයේදී පළමු දිනයේදීම ප්‍රදර්ශනය වන්නේ විල්සන් ගොඩමාන්න නම් වූ මෙම චිත්‍රපටයේ කථානායකයාගේ චිත්‍රපටයකි. මේ සඳහා ඔහුට ඇරැයුම් ලැබෙන්නේ නැත. තොරතුරු දැන ගන්නේ 'සරසවිය' සිනමා පත්තරය කියැවීමෙනි. විල්සන්ගේ අපේක්ෂාව කොළඹට ගොස් චිත්‍රපටය නැරැඹීමයි. තමාගේ අට හැවිරිදි මුණුපුරා සමඟ කොළඹට එන්නේ ඒ වෙනුවෙනි.

එන ගමනේ සුන්දර මතක සටහන් එකතුව අමිහිරි අත්දැකීම් මතින් දිග හැරෙද්දී උපේක්ෂාවෙන් සියල්ල මුනුුපුරා සමඟ විල්සන් විඳ දරා ගනියි.

අද වන විට ජීවතුන් අතර සිටින සිනමා රංගධරයින් ඇතුළු ශිල්පීන් සමූහයගේ ගොනුවක් කොතැනක හෝ වගකිව යුතු තැනෙක සංරක්ෂණය වී තිබේ නම් සතුටට කරුණකි. අවසානයේදී විල්සන්ට රාජ්‍ය ගෞරවය ලැබෙන්නේ ඔහුගේ ආදාහන කටයුතු වෙනුවෙනි. විටෙක එය මෙවැනි හදිසි මරණයක් සිදු වූ නිසා රාජ්‍ය ගෞරව ලැබීමක් වැන්න. ඉන් අධ්‍යක්ෂවරයා සියුම් උපහාසයක් මුළු රාජ්‍ය තන්ත්‍රයටම නොපැකිළවම පිරිනමයි.

හැත්තෑව දශකය වන විටත් චිත්‍රපට සිනමා ශාලාවල ප්‍රේක්ෂක ආකර්ෂණයෙන් ජනප්‍රිය වන්නේ අද මෙන් විවිධ ඉලෙක්ට්‍රෝනික විනෝදාංශ ක්‍රමවේද දුලබව පැවති යුගයකදීය.

'මධුර චාරිකා' තුළින් සංවේදී අරුතක්, තුලිත ආදර්ශයක් මෙන්ම අපූරු සංවේදී ජීවිතාවබෝධයක් සියුම් ලෙස නිරූපණය වේ. ඒ අතරේ සියුම් උපහාසයක් ද ප්‍රබල ගැටුමක් ලෙස පාලන තන්ත්‍රණයට එල්ල වන්නේ පුවත්පතක පුවත් සිරස්තලය පමණක්ම දර්ශනය කිරීමට සැලැස්වීමෙනි.

අතීත ඉඟි වර්තමානයට කෙතරම් අවැසි ද යන කරුණ ඉස්මතු කරන්නට අධ්‍යක්ෂවරයා 'මධුර චාරිකා' චිත්‍රපටය තුළින් ප්‍රස්තුතයට උචිත සංවර්ධනීය සාධක විවිධ මාන ලෙස භාවිතයට ගෙන තිබේ.

උඩරට සුන්දර නුවරඑළිය නගරයේ උදෑසන කාලය අඳුර ආලෝකය අතර තුලිතයකින් ඈත කඳුකර දර්ශන හා මුසුවන නිවසක ඇතුළත මුළුතැන් ගෙය තුළ ක්‍රියාකාරකම් මත දිවෙන කැමරාවේ මාන ඔස්සේ අවදි වූ විල්සන් ගොඩමාන්නගේ සමීප රූපයකින් ප්‍රවිෂ්ටය සිදු වේ. ගමේ සුහද මිතුරු සබඳතා සමඟින් විල්සන් තම ජීවිතය සරල ලෙසින් ගත කරමින් සිටින්නෙකි. උදෑසනින් කඩ මණ්ඩියට පිවිසෙන්නේ 'සරසවිය' සිනමා පත්තරය මිලදී ගෙන යාමේ අදහසිනි. තේමාව එතැන් සිට ඉදිරියට තිරයේ දිග හැරෙයි.

'පුතා තාත්තාව බලා ගනීවි'

දියණියගේ ප්‍රකාශය තුළ ඇත්තේ හුදකලා වන සිය පියා වෙනුවෙන් කරන භාව කම්පනයකි.

විල්සන්ගේ අවිහිංසක ප්‍රියමනාප බව සිහිපත් කිරීම අතීතය මෙනෙහි කිිරීම අතරින් නගරයට පැමිණ ඇඳුමක් අලුතින් මිලදීගෙන එන අතරේ වර්තමාන සිනමා ප්‍රචාරණය ඔස්සේ අතීත සිනමා ප්‍රචාරණ ප්‍රදර්ශන ක්‍රියාකාරකම් එකතුව ඇසට අපූරු දසුන් පෙළකි.

පිළිමාන සිට කොළඹට බසයෙන් විල්සන් තම මුනුපුරා සමඟ එන ගමන අතරමඟ දකින රූගත කිරීම් ඔස්සේ අතීත මතක රූප තිරය මත යා වන්නේ රූපවර්ණ භාවිතාවන් ද වෙනසකට බඳුන් කරවීමෙනි. අතීතයේ සීමාසහිත පහසුකම්වලින් සමන්විත ප්‍රාථමික යුගයේ සිනමා ශාලාවක (සකස් කළ) අභ්‍යන්තර දසුන් විචිත්‍ර ලෙස තිරය මත දිගහැරෙන්නේ අතීත ප්‍රේක්ෂක ප්‍රතිචාර මුසුවක් ද එකතු කරමිනි. සිනමාවේ මුල් යුගයේ ප්‍රේක්ෂකයින් චිත්‍රපටයට ප්‍රතිචාර දක්වමින් සිදුවන හැඬීම්, සතුටින් ඉපිල යාම, සටන් ජවනිකාවලදී ප්‍රතිචාර, ආල රැඟුම් වැනි දසුන්වලදී දක්වන භාවතීය ප්‍රතිචාර මිනිස් සබඳතාවන් හි විවිධත්වයන් සිහිපත් කරවයි. ආල රැඟුම් අවස්ථාවකදී, මවක් තම දරුවාගේ ඇස් වසා තිරයෙන් තමාගේ පැත්තට දරුවාගේ මුහුණ හරවා ගැනීමේ අවස්ථාව නිදසුනකි.

කොළඹට එන ගමනේදී සිදුවන බාධාවන්, අතීත මතක රූප රචනය තුළින් ප්‍රේක්ෂකයාට කිසියම් මානයකින් කා වැද්දීමට අධ්‍යක්ෂවරයා උත්සාහ දරා තිබේ. එකල සිනමා ශාලාවකින් ප්‍රවේශපතක් ලබා ගැනීමට සිනමා ශාලා ඉදිරිපිට තිබූ දිග පෝලිම් හා එහි සිදු වූ අතීත අකටයුතු මැර ක්‍රියාකාරකම් ආවර්ජනය කරවයි.

පෝලිමේ සිටින ප්‍රේක්ෂකයින්ගේ කාංසිය නිවන්නට සිනමා ශාලාව ඉදිරිපිට සිදුවන ක්‍රියාකාරකම් රිළා නටවන්නන් වැනි දසුන් එකල සුලබ විය. එවැනි අතීත මතක එකතුව තුළ ඇත්තේ මතක ප්‍රබෝධය ජනිත කරවීමකි.

සිනමාපටය බැලීමෙන් පසු විල්සන්ට, ඈන් විනිප්‍රීඩා නම් වූ සමකාලීන නිළිය හමුවීම එකම එක සන්තුෂ්ටිය පමණක්ම වීම ද එක් හරයකි.

'අපරාදෙ හොඳ වෙල්කම් එකක් ගන්න තිබුණා'

ඈන් විනිප්‍රීඩාගේ ප්‍රකාශය හමුවේ වුව ද අපහසුතාවයට පත් වන්නේ විල්සන් ගොඩමාන්නගේ පෞරුෂයයි. නමුත් නොලැබෙන අවස්ථාව පිළිබඳව කිසි විටෙක කලකිරීමක සේයාවක් හෝ නොදක්වන ඔහු සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගන්නා අයුරු රූප සංචලන ඉඟි කරයි. අහිංසක නිහතමානීකම විල්සන්ගේ මුවෙහි රැඳෙන චලන ඉරියව් ප්‍රේක්ෂකයාට නිහඬව කතා කර කියයි.

තේ පානය අවස්ථාවේදී පවා විල්සන් තම මුණුපුරා සමඟ තරංගනී සිනමා ශාලාවේදී හුදෙකලා වීම සංවේදී අවස්ථාවකි. කොළඹ බස් නැවතුම්පළේ තනිවීම ද රූපණ සංවේදිතාවේ උච්චතම ප්‍රති නිර්මාණයකි.

'පුතා මොනව හරි කන්න'

'සීයට?'

අහිංසකත්වය ඉස්මතු වූ අසරණ වීමක් වැන්න.

'උදේ වෙනකම්ම අපි මෙතනද ඉන්නෙ'

'තාත්තලා අල ගැලෙව්වද දන් නෑ . . .'

සිතිවිලි මතක අවදිවීමේ මුණුපුරාගේ ප්‍රකාශ හා බැඳුණු හුදකලාවේ සංකේත ඉස්මතුවකි. මුණුපුරා වැස්ස නිසා ප්‍රහර්ෂයට පත්වීමත්, විල්සන් වැසි පින්නෙන් පීඩා විඳීමත් අතරේ දෝලනය වන්නේ ද මානුෂීය හරයකි. රූප වෙන් වෙන් වශයෙන් ඡේදනය වෙමික් තිරය මත දිස්වන අතරේ විල්සන්ගේ ප්‍රකාශය කම්පනයක ලකුණු ඉස්මතු කරයි.

'වතුර තියෙනවද පුතේ'

අසරණවීම තවදුරටත් කම්පනය කරවමින් සීයාගේ කුඩය රැගෙන මුණුපුරා වැසිබර අවස්ථාවකදී යන ගමන කැමරා රූපණ තුළ අපූරුවක් වුව ද අවස්ථාවට අනුකූලව අනුචිත යැයි හැඟේ. විල්සන් වෙව්ලද්දී මුණුපුරා වැස්සේ තෙමීම තුළින් අර්ථ දැක්වීමට ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇතැයි සිතේ.

සිනමා දර්ශනය නිමවීමට පෙර අතරමඟදී ප්‍රධාන අමුත්තා පිටව යාම තුළින් ප්‍රධාන අමුත්තාගේ ප්‍රවිෂ්්ටය සාමාන්‍යකරණය වීම, ඉස්මතු කරලීම අධ්‍යක්ෂවරයා උත්සාහ දරා තිබේ.

බාධක සංකේත විටින් විට තිරය මත මතු වී සැඟවෙයි. මාර්ග සංඥාවන් පවා විල්සන්ට හරස් වෙයි. උත්සවය අවස්ථාවේ දැල් වූ පහන ඉවත් කිරීම, සිනමා ශාලාව අසලදී පඩි පෙළ නඟිද්දී විල්සන්ගේ පා පැටලී යාම, එපමණක් ද නොව මළ මිනියක් රැගෙන යන මල් ශාලාවක මිනී කාරය අධ්‍යක්ෂවරයා විසින් ඉඟි කර පෙන් වන්නේ පූර්ව අනතුරක සේයාවක්දැයි හැඟේ.

තමාගේ රංගනය තිරය මත දකිමින් විල්සන් අත්විඳින ප්‍රහර්ෂය ඉඟි මඟින් පිළිබිඹු වේ.

'පුතේ අන්න සීයා'

මුනුපුරා අසුනින් නැඟිට බැලීම, විඳීම දැක්මකි. ඒ අතරේ තම අතීත රංගන ගැන ආඩම්බරයෙන් යාබද අසුනේ ප්‍රේක්ෂකයා සමඟ මේ තමා බව පැවසීම මුහුණු ඉරියව් තුළින් ඉස්මතු වන අහිංසක ආඩම්බරය දිස්වෙන අයුරු අපූරුවකි. සියල්ල තුළින් ප්‍රේක්ෂකයාට ඉතිරි වන්නේ මතක සමූහයකි.

අසාධ්‍ය වූ විල්සන් කාරයෙන් රෝහල කරා යන ගමන සිතිවිලි මතක මුසුවක් ලෙස දිග හැරෙයි. පහන දැල්වීමට අවස්ථාව නොලැබීමෙන් නොලද අභිමානය යළි ලැබීමේ සිතිවිලි ස්මරණ රූප භාෂාවක් බවට පත් වෙයි.

ඈන් විනිප්‍රීඩාගේ උත්සාහයෙන් රාජ්‍ය තන්ත්‍රය දක්වා සියල්ල වාර්තා වීම සමඟින් විල්සන් ගොඩමාන්න නම් වූ රංගනවේදියාට ලංකාවේ ජනප්‍රිය පත්තරයක මුල පිටුවේ ඉඩක් ලැබෙයි. ඒ විල්සන් ගොඩමාන්නගේ ආදාහන කටයුතු වෙනුවෙන් රාජ්‍ය ගෞරවය පිරිනැමෙන බවට වූ ප්‍රවෘත්තියයි.

විල්සන් ගොඩමාන්න ලෙස චරිතයට පණ පොවන හේමසිරි ලියනගේ ගේ රංගන කෞශල්‍යය, අත්දැකීම් සහිත ප්‍රතිභාව ඔහුගේ නළු ජීවිතයේ පරිසමාප්තියක් ලෙස උදයකාන්ත වර්ණසූරියගේ 'මධුර චාරිකා' චිත්‍රපටය තුළින් දැක ගත හැකිය.

එසේම අවසානයේ දිග හැරෙන අතීත සිනමා රූපපෙළ චිත්‍රපටය අතරට එකතු වූ පුවත්පත් දැන්වීමක් සමඟ චිත්‍රපටය නිමා වූයේ නම්, සාධනීය සංස්කරණ ශිල්පීය කුසලතා ඉස්මතුවක් ද සමඟින් ක්ෂණික නිමාවක සලකුණක් දකින්නට තිබුණු මාහැඟි අවස්ථාවක් අහිමිවීමත්, නිර්මාණ සාරයට ලැබෙන්නට තිබුණු ඉඩ ඇහිරී යාමත් සංවේදනාවට හේතුවකි.

'මධුර චාරිකා' අර්ධ සිනමා වෘතාන්තයක රූප සොබා පිළිබිඹුවකි. අප්‍රකටම වුවත් ප්‍රකටව සිදුවන යථාර්ථය කුළුගැන්විමක් ද උදයකාන්ත වර්ණසූරියගේ 'මධුර චාරිකා' චිත්‍රපටය තුළින් සිදු වී තිබේ.