වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මේ අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?

මේ අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?

සරසවිය සිනමා සම්මාන උලෙළ මෙවර ද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. එහිදී ඉකුත් සරසවිය සම්මාන උලෙළේ හඳුන්වා දුන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය සඳහා මේ දිනවලදී අයැදුම්පත් කැඳවනු ලැබේ.

* අධ්‍යක්ෂවරයාගේ කුලුඳුල් සිනමාපටය වීම.

* 2016 ජනවාරි 01 සිට 2017 දෙසැම්බර් 31 දක්වා කාලය අතරතුරදී ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ලැබී තිබීම.

* එම කාලය ඇතුළත චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හරින ලද්දේ නම් මෙම සම්මානය සඳහා ඉදිරිපත් කළ නොහැකිය.

මෙම චිත්‍රපටයන් සඳහා අයදුම් කරන නිර්මාණකරුවන් චිත්‍රපටයේ මූලික විස්තර (චිත්‍රපටයේ නම, නිෂ්පාදක, අධ්‍යක්ෂ, දුරකතන අංකය, චිත්‍රපටයේ ධාවන කාලය, රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ලැබූ දිනය) ඇතුළත් කොට අයැදුම්පතක් රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකයේ ඡායා පිටපතක් ද සමඟ කාර්යාල වේලාවන් තුළදී සරසවිය කර්තෘ මණ්ඩලයට ගෙනවිත් බාරදිය හැකිය. එසේත් නැතිනම් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය යනුවෙන් ලියුම් කවරයේ සඳහන් කොට සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට පුළුවන.

2016 හා 2017 දෙවර්ෂ සඳහා වෙන වෙනම සම්මාන පිරිනැමේ.


සංගීතාගේ මව සමුගනී

ජනප්‍රිය නිළි සංගීතා වීරරත්නගේ ආදරණීය මෑණියන් වූ ඩේසි අයිරංගනී වීරරත්න මහත්මිය පසුගිය 03 වැනිදා අභාවප්‍රාප්ත විය. 1938 උපත ලැබූ ඇය මිය යන විට අසූව වැනි වියට එළඹ තිබුණාය. ප්‍රවීණ කැමරා ශිල්පී සහ චිත්‍රපට අධ්‍යක්ෂ තිමති වීරරත්නගේ භාර්යාව වූ ඩේසි මහත්මිය ඔහුගේ සිනමා නිර්මාණවලදී මෙන්ම සංගීතාගේ රංගන ජීවිතයේදී ද පිටුපසින් සිටි දැවැන්ත සෙවණැල්ලක් වූවාය.

අවසන් කටයුතු ඇගේ ඉල්ලීම පරිදි මරණයෙන් පැය 24 ක් ඇතුළත නිම කරන ලදී. සංගීතා මෙන්ම ඇගේ වැඩිමහල් සොයුරිය නයනතාරා ද ඩේසි වීරරත්න මහත්මියගේ වියෝවෙන් ශෝකයට පත් වූවන් අතර සිටියි. සරසවියට ඉතා ළබැඳි කාන්තාවක වූ ඩේසි අයිරාංගනී මහත්මියට නිවන් සුව පතමු.


කේ. පී.කේ. බාලසිංහම්ගේ බිරිය මියයයි

සරසවිය සම්මාන දිනූ ශබ්ද පරිපාලක කේ. පී.කේ. බාලසිංහම්ගේ බිරිඳ වන ඉන්ද්‍රා දේවි බාලසිංහම් පසුගිය දින අභාවප්‍රාප්ත විය. ඇයගේ අවසන් කටයුතු පවුලේ ඥාතීන් හා කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් යාපනේදී සිදු කරන ලදී.


කිඩ්නැප් එළියට

සුරංග සමඟ ඔහුගේ සිනමා සගයා අර්ජුන කමලනාත් සහ අමීෂා කාවින්දි

මංගල පහන් සිල දැල්වූ මොහොත

සුරංග ද අල්විස්ගේ නවතම චිත්‍රපටය වු කිඩ්නැප් සිනමාපටයේ විශේෂ මංගල දර්ශනයක් පසුගියදා සැවෝයි පි‍්‍රමියර් සිනමාහලේදි පැවත්විණි. මේ එහි අවස්ථා කිහිපයකි.


අනුර මාධවගේ අපිටත් අවුරුදු 13 දා

සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ අනුර මාධව ජයසේකර විසින් රූපවාහිනී රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද අපිටත් අවුරුදු ඒකාංගික නාට්‍යය අප්‍රේල් මස 13 වැනිදා එනම් හෙට රාත්‍රී 9 ට ජාතික නාලිකාව ඔස්සේ විකාශය වේ.

ගීතා කාන්ති ජයකොඩි, බර්ටි නිහාල් සුසිරිපාල, නිරෝෂන් ඉලේපෙරුම, යොහානි හංසිකා, වෙනුක ජෝශප් ඇතුළු පිරිස මෙහි චරිත මවති. අපිටත් අවුරුදු ජොන්සෝ සෝලා ආයතනයේ ඉදිරිපත් කිරිමකි.


පුංචි අන්දරේ මංගල දර්ශනය

සිංහල වංශකථාවේ විකටයන් ගැන කියැවෙන කථා අතර නමගත් අයෙකි කවට අන්දරේ. අන්දරේගේ ළමාවිය අලළා තැනූ පුංචි අන්දරේ සිනමා පටයේ මංගල දර්ශනය පසුගියදා වැල්ලවත්ත රොක්සි සිනමා ශාලාවේදී පැවැත්විණි. මෙදින පුංචි අන්දරේට පණපෙවූ නළු නිළියන් ඇතුළු කලාකරුවන් රැසකගේ සහභාගීත්වය දැකගැනීමට හැකිවිය. පසුගිය පස්වැනි දින සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්වල පුංචි අන්දරේ ප්‍රදර්ශනය ඇරැඹිණි. සුමිත් රෝහණ තිත්තවැල්ලගල අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටයේ මංගල දර්ශනයේ සරසවිය කැමරා ඇස රැඳවූ තැන්. සටහන - නිශ්ශංක විජේරත්න - සේයාරූ - ශාන් රඹුක්වැල්ල