වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




පුංචි තිසර අනුසර සඳට කියන සඳ 24 දා

පුංචි තිසර අනුසර සඳට කියන සඳ 24 දා

‘සඳට කියන සඳ’ සංයුක්ත තැටිය එළිදක්වමින් එච්. එච්. සී. තිසර අනුසර හේරත් ළමා ගායන ශිල්පියකු ලෙස ගී ලොවට පිවිසෙන ප්‍රසංගය අගෝස්තු 24 වැනිදා සවස 4.00 ට වත්තල නගර සභා ශාලාවේදී පැවැත්වේ.

ළමා පරපුර උසස් රස වින්දනයෙන් මෙන්ම පුළුල් ජීවන දර්ශනයක් කරා යොමු කිරීම මෙම ප්‍රයත්නයේ අරමුණය. ගී තැටිය රසාලිප්ත මෙන්ම හරවත් ළමා ගීත 10 කින් සමන්විත වේ.

සෞන්දර්ය විෂයයන්ට පුංචි සන්ධියේ පටන්ම කැමැත්තක් මෙන්ම දස්කම් දැක් වූ තිසර අනුසර බප/ කැල/ වත්තල ශාන්ත අන්තෝනි ජාතික පාසලේ 9 වැනි ශ්‍රේණියේ ඉංගිරිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසුවෙකි.

මෙවැනි ගීත එකතුවක් එළිදැක්වීම සඳහා තම සිතට මුලින්ම අදහසක් ඇති කළේ ද දිරිමත් කළේ ද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මුල් ළමා විය සංවර්ධන නිලධාරිනියක ලෙස රාජ්‍ය සේවයේ නියුතු සිය මව ගංගා හේමන්ති මහත්මිය බව අනුසර පවසයි.

ගායනයට අමතරව සංගීත භාණ්ඩ වාදනය සඳහා ද ඔහු නැඹුරු කර ඇත්තේ විද්‍යාලයේ සංගීත ආචාර්ය විශාරද උදිත රුවන් විජේරත්න මහතාය.

තම හැකියාවන් හඳුනාගත් සන්ධ්‍යා ගුරුතුමිය, පන්ති භාර ලීඩියා ඩැනියෙල්ටත්, විදුහල්පති ශාන්ත ප්‍රනාන්දු පියතුමන් දක්වා විදුහලේ සංගීත ආචාර්ය භවතුන් ඇතුළු සමස්ත ඇදුරු මඩුල්ලට අනුසර සිය ප්‍රණාමය පුද කරයි.

අනුසරගේ කුලුඳුල් ගීත එකතුවට ඇතුළත් සියලු ගීත රචනා කළේ ප්‍රතිභාපූර්ණ ගීපද රචකයකු වන ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිංහල ආචාර්ය කීර්ති අශෝක මහතාය.

‘සඳට කියන සඳ’ ගී තැටියේ සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ වයල්ස් වාද්‍ය ශිල්පී ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සංගීත ආචාර්ය විශාරද උදිත රුවන් විජේරත්න මහතායි. ඔවුන් දෙදෙනා නොවන්නට මෙම ගීත එකතුව එළිදැක්වීම සැබෑවක් නොවන්නට ඉඩ තිබුණු බව අනුසර පවසයි.

තිසර අනුසර සංගීත ක්ෂේත්‍රයේ ජයග්‍රහණ ගණනාවක් දැනටමත් අත් කරගෙන ඇත. ගීපද රචක කීර්ති අශෝක මහතා හොඳම ගීත රචකයා ලෙස යෞවන සම්මාන ද, කැලණි සරසවිය බිහිදොර අබියස කලා උලෙළේ හොඳම ගීපද රචකයා ලෙස ද සම්මාන ලබා ඇති නිර්මාණකරු වෙති.

විශාරද උදිත රුවන් විජේරත්න මහතා බෙල්වුඩ් ආයතනයේ අභ්‍යාසලාභියකු සහ සංගීත උපදේශකවරයකු ලෙස දස වසරක් කටයුතු කර ඇති අතර මේ දක්වා චිත්‍රපට, ටෙලි නාට්‍ය හා ප්‍රසංග රැසකට වාද්‍ය වෘන්දයෙන් දායක වී තිබේ.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් පටන් ඉහළ පෙළේ සංගීතඥයන්ගේ නිර්මාණවලට ඔහු දායකත්වය ලබා දී ඇත. තනු නිර්මාපකයකු ලෙස ඔහු තනිම සංගීත අධ්‍යක්ෂණය කළ පළමු ගීත එකතුව මෙයයි.

තමා කුඩා කල පටන් ඉතා පි‍්‍රය කළ විශාරද හර්ෂණ දිසානායක අයියා සමඟ මෙම ගීත එකතුවේ එක් ගීතයක් ගායනා කිරීමට හැකි වීම ගැන අනුසර බෙහෙවින් සතුටු වෙයි. ‘සඳට කියන සඳ’ නාද ශික්ෂණය ප්‍රවිණ වාද්‍ය ශිල්පි තරිඳු ජයතික මහතාගෙනි.