වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




මැණිකේ මම ආයේ ගෙදර එනවා

මැණිකේ මම ආයේ ගෙදර එනවා

පුද්ගලිකයි රහසිගතයි

ආරියවංශ ධම්මගේ

“පවුල ඇතුළේ තිබෙන ඊර්ෂ්‍යාව, ආත්මාර්ථකාමී බව, අනෙක් පැත්තෙන් ගත්තොත් ආදරය, ලිංගිකත්වය හරහා පැන නැඟෙන පොදු ගැටලු රාශියක් පිළිබඳයි වික්ටර්ගෙන් හෙළිවන්නේ. පෙම්වතුන්ට මෙය අපූරු පණිවුඩයක් වේවි.” වසන්ති රන්වල රඟන්නේ අමන්දාගේ චරිතයයි. “අමන්දා කියන්නේ නිදහස් විදියට හිතන කෙනෙක්. ඇත්තට ම අමන්දාගේ චරිත ලක්ෂණ මගේ ජීවිතයෙත් තිබෙන බවයි මට නම් හැඟෙන්නේ.”

බ්‍රිතාන්‍ය ජාතික නොයෙල් කොවාර්ඩ්ගේ ‘ප්‍රයිවට් ලයිව්ස්’ වේදිකා නිර්මාණයේ සිංහල අනුවර්තනය ‘පුද්ගලිකයි - රහසිගතයි’ නමින් ලාංකේය ප්‍රේක්ෂාගාරයට ගෙන එන්නේ ආරියවංශ ධම්මගේයි. වසර විසිඑකකට පසුව කෙරෙන ආරියවංශ ධම්මගේ මේ වේදිකා ආගමනය සිදුවන්නේ හෙට සහ අනිද්දා එනම් 18 හා 19 දිනවල පස්වරු 3.30ට සහ 6.30ට බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හිදියි. සමන් පුෂ්පකුමාරගේ අනුවර්තනයෙන් නිමල් රණවීර හා ඉඳුවරී ධම්මගේගේ නිෂ්පාදනයෙන් හා බයිල චක්‍රවර්ති එම්.එස්. ප්‍රනාන්දුගේ ගීත 16ක් භාවිත කරමින් ‘පුද්ගලිකයි - රහසිගතයි’ වේදිකා ගතවෙයි. එලෙස වේදිකා ගතවන ‘පුද්ගලිකයි - රහසිගතයි’ වේදිකා නාට්‍යය පිළිබඳ එහි අධ්‍යක්ෂ ආරියවංශ ධම්මගේ. නළු - නිළියන් ඇතුළු පිරිස සමඟින් කරන ලද සාකච්ඡාවක් ඇසුරින් සකසන ලද ලිපියකි.

“අම්මප මෙහෙම වුණේ ඇයි මටම
කටහැර කියන්නේ කාටද කොහොම
ජීවිතේ පදිරි වුණේ ඇයි මෙහෙම
තනිකඩයකුසේ සැහැල්ලු සැපසේ ඉඳුම
අහිමි කළේ ඇයි, උරුම කළේ ඇයි රිදුම
දෙවියනි ඇහුණේ නැද්ද ඔබ වහන්සේට මගෙ යැදුම
වෙච්ච දේ කියන්න ලැජ්ජයි
කාටවත් ඇහුණත් ලැජ්ජයි
පුද්ගලිකයි රහසිගතයි...

ආරියවංශ ධම්මගේ පදරචනයෙන්, සරත් ප්‍රනාන්දුගේ සංගීතයෙන් තනුවෙන් හා ගායනයෙන් හැඩවුණු ‘පුද්ගලිකයි රහසිගතයි’ වේදිකා නාට්‍යයේ තේමා ගීතය නිර්මාණය කර ඇත්තේ රූපරචනයක්ද සමඟිනි. ඔබට යූ - ටියුබ් හරහා නැරැඹිය හැකි මේ ගීතය වේදිකාවේ නව ආරක් සිහිපත් කරනු නියත ය.

“මුලින්ම මේ නාට්‍යය පිටපත ගැන අසන්නට ලැබෙන්නේ මගේ යහළුවකුගෙන්. ඒ අනුව මෙහි පරිවර්තන පිටපත කියැවීමට මට අවස්ථාව ලැබෙන්නේ මීට කලකට පෙරයි. ඒ ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල විතානගේ පරිවර්තනය කරන ලද පිටපතයි. ඔහු ඒ නාට්‍යය පරිවර්තනය කරන්නේ නිෂ්පාදනය කිරීම සඳහා වුවත් ඒ සඳහා ඔහුට කාලයක් නැතිව යනවා. මා පිටපත කියැවීමෙන් පසුව නාට්‍යය කරන්නේ නම් පිටපත ලබාදීමටත් ඔහු සිටියේ බොහොම කැමැත්තෙන්. ඒත් නිෂ්පාදකවරයකු සොයා ගැනීමට නොහැකි වීම නිසා ඒ කාරණය එහෙමම යට යනවා. මේ අතර බන්දුල විතානගේ මහත්තයා අප අතරින් සමු ගන්නවා. පසුව මගේ යහළුවකු වන නිමල් රණවීර නම් නිෂ්පාදකවරයා මුණ ගැසීමත් සමඟ මා මේ නාට්‍යය නිෂ්පාදනය කිරීමට සැරසුණත් මෙහි පිටපත සොයා ගැනීමට ලැබෙන්නේ නැහැ. ඒ නිසයි මා මේ නිර්මාණයේ අනුවර්තන කාර්ය සමන්ට පවරන්නේ.”

‘දොළහක්’, ‘සාදය මාරයි සල්ලි හමාරයි’ කියන වේදිකා නාට්‍ය පිටපත් අනුවර්තනය කළ සමන් පුෂ්ප ලියනගේ සිය කාර්ය අවසන් කිරීමෙන් පසුව ‘පුද්ගලිකයි රහසිගතයි’ වේදිකා නාට්‍යය පුහුණුවීම් ආරම්භ කිරීමට මූලික පදනම වැටෙයි.

“ඔබ මෙවැනි කතාවක් වේදිකාවට රැගෙන එන්න සිතුවේ ඇයි?”

“නොයෙල් කොවාර්ඩ්ගේ ‘ප්‍රයිවට් ලයිව්ස්’ කියන පිටපතේ කතා කළ අදහස් අපේ සමාජටත් පොදු කාරණා වුණා. ආදරය. විවාහය, එහි තිබෙන ගැටලු, හැමෝම ඒ සමඟ සම්බන්ධ වනවා වගේ ම ඒ නිසා පීඩා විඳීන, ඒ හරහා නැඟෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන, ඒකත් සමඟම හැප්පෙන, එහෙත් ගැලවීමක් නැති, ඉන්නත් බැරි මෙවැනි කාරණා රැසකුයි ඒ ඔස්සේ කතාබහට ලක්වුණේ. මේ සියලු අත්දැකීම් වැඩි පිරිසකට නැරැඹිය හැකි, ඒ අය අතර බෙදා ගත හැකි අත්දැකීම් වීම නිසයි මා මේ පිටපත අධ්‍යක්ෂණය කිරීමට තීරණය කළේ. එය හාස්‍ය මූලික කර ගනිමින් ඉදිරිපත් කිරීමට මා උත්සාහ ගත්තා. ඇත්තටම අපේ සත්‍ය ජීවිතයත් හාස්‍යජනකයි. ඒ හාස්‍ය මේ නාට්‍යය ඇතුළේ තිබෙනවා.”

ආරියවංශ ධම්මගේගේ ‘පුද්ගලිකයි රහසිගතයි’ වේදිකා නාට්‍යය සඳහා භාවිත කරන්නේ අපේ ජනහද දිනූ ප්‍රවීණ ගායකයකු වන එම්.එස්. ප්‍රනාන්දුගේ ගීතයි. මේ නාට්‍යයේ තිබෙන විශේෂත්වයක් වන්නේ ද එයයි.

“එම්.එස්. ප්‍රනාන්දුගේ ගීත ම වේදිකා නාට්‍යයට යොදා ගන්න ඔබ තීරණය කළේ ඇයි?”

“‘ප්‍රයිවට් ලයිව්ස්’ නාට්‍යයේත් පැමිණි ගීත ඒ සමාජය අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබෙනවා. අනෙක් කාරණය නම් නාට්‍යය ඇතුළේ සංගීත කණ්ඩායමක් වාදනය කරන අවස්ථාවක් තිබීම ඇතුළේ ඔවුන් ගයන ගීත මේ නාට්‍යයේ යම් යම් අවස්ථා තීව්‍ර කිරීමටයි භාවිත වන්නේ. උදාහරණයක් විදියට මෙහිදි හමුවන යුවළකට තමන්ගේ අතීත මතකය පිවිසෙන්නේ අර සංගීත කණ්ඩායම වාදනය කරන ගීතයක් හරහායි. එය අනුවර්තනයේදී අප කල්පනා කළේ මීට ගැළපෙන ම ගීතය කුමක්ද කියලයි. එහිදි මේ අවස්ථාව තීව්‍ර කරන ගීතයක් විදියට අපේ සිතට නැගෙන්නේ එම්.එස්. ප්‍රනාන්දුගේ ‘මැණිකේ මම ආයේ ගෙදර එනවා’ කියන ගීතයයි. මේ තෝරාගත් මූලික සින්දු හරහා අප කල්පනා කළේ ගීතවලින් ම මේ නාට්‍යයේ සංගීතය නිර්මාණය කිරීමටයි. ඒ අනුවයි අප තීරණයකට පිවිසෙන්නේ මුළු නාට්‍යයේ ම ගීත සඳහා අප එම්.එස්. ප්‍රනාන්දුගේ ගීත තෝරා ගන්න බව. ඒ වගේ ම මුළු නාට්‍යයම සංගීතවත් කරන්නේ ඔහුගේ ගීතවලින් බවත් තීරණයකට පැමිණියා. මේ අතර අප එම්.එස්.ප්‍රනාන්දුගේ පුතා සරත් ප්‍රනාන්දුව හඳුනා ගන්නවා. අප ඔහුට මේ නාට්‍යයේ සංගීතය කිරීමට භාර දෙනවා. එහිදි ඔහුගේ පියා පවුල, විවාහය, ආදරය ගැන එතුමා ගැයූ ගීතයි ‘පුද්ගලිකයි රහසිගතයි’ වේදිකා නාට්‍යයට යොදා ගැනෙන්නේ.”

එම්.එස්. ප්‍රනාන්දු ගැයූ ‘ඔබට තිබෙන ආදරේ’, ‘මැණිකේ මම ආයෙ ගෙදර එනවා’, ‘ඔබ පමණයි සිතත මාගේ හඳුනා ගත්තේ’, ‘සුන්දරයි සුපෙම්බරයි’, ‘කොවුල වගේ ලව් සින්දුව කියපු එකා මං’, ‘මුතු මැණික් ආදරේ නොවෙයි’ ආදී ඔහුට ආදරය කරන රසිකයන් අතර ජනප්‍රිය ගීත 16කුයි ‘පුද්ගලිකයි රහසිගතයි’ සඳහා භාවිතයට ගැනෙන්නේ. ඒ ගීත යොදා ගැනෙන්නේද නව සංගීත සංයෝජනයෙනි.

“අප අසා පුරුදු සංගීතය යොදා නොගෙන නව සංගීත සංයෝජනයකින් මේ ගීත නිර්මාණය වන්නේ ඇයි?”

“මෙතෙක් කල් නාට්‍යයකට සංගීතය නිර්මාණය කර ඇතත් මේ නාට්‍යයේදී නාට්‍යය සංගීතය විදියට යොදා ගැනෙන්නේද එම්.එස්.ප්‍රනාන්දුගේ ගීතයි. අප වෙනම සංගීතයක් නාට්‍යය සඳහා නිර්මාණය කළේ නැහැ. එහි තිබෙන ගීත, එහිම තනු, ඒවා ගැයෙන විවිධ ආකාරයි මේ නාට්‍යයේදී අප පර්යේෂණය සඳහා යොදා ගත්තේ.”

ඒ නව ආරේ සංගීතය නිර්මාණය කරන්නේ එම්.එස්. ප්‍රනාන්දුගේ පුත් සරත් ප්‍රනාන්දු ය. ඔහු ඒ නව සංගීත සංයෝජනය සිදු කරන්නේ මෙලෙසිනි.

“මම එම්.එස්. ප්‍රනාන්දුගේ පුතා වුණාට ඒ කාලයේ ඉඳලා ම තාත්තාගේ ගීත ඒ ආකාරයෙන්ම නොවෙයි ගායනා කරන්නේ. ඒක තාත්තා ඉන්න කාලයේදීම සිදුවුණු දෙයක්. මා සංගීතඥයකු විදියට, ගිටාර් වාදන ශිල්පියකු විදියට, බටහිර සංගීතයත් එක්ක වඩාත් ජීවත් වූ කෙනෙකු විදියට තාත්තාගේ ගීත මා අරගෙන ඒ ගීතයට පොඩ්ඩක්වත් හානියක් නොවන විදියටයි මා ගයන්නේ. ඒ ගීත මා ගිටාර් එක වයමින් වාදනය කරද්දි තාත්තා ගැයූ ආකාරයට වඩා වෙනස් විදියකටයි එළියට එන්නේ. එය අද සමාජයට නියම විදියට ගැළපෙනවා. ඒ සඳහා මට ලැබෙන ප්‍රතිචාරයත් බොහොම හොඳයි. ඒ අනුව ධම්ම ඇතුළු පිරිසට හැඟුණේ මං ගායනා කරන විලාසය මේ නාට්‍යයට වඩාත් උචිත බවයි. මෙහි තේමා ගීතය ගැනත් යමක් කිව යුතුයි. එය නිර්මාණය වන්නේ මගේ තාත්තාගේ ගීතවලින් නොවෙයි. ඒ සඳහා තනුව, සංගීතය, ගායනය යොදන්නේ මගේ ම රටාවකටයි. ”

මෙහි රංගනයෙන් සහභාගි වන්නේ ජගත් චමිල, වසන්ති රන්වල, උමයංගනා වික්‍රමසිංහ, සරත් කරුණාරත්න යන වේදිකාවේ දක්ෂ නළු නිළියන් කිහිපදෙනෙකි. එහි හෙන්රිගේ චරිතයට පණ පොවන්නේ ජගත් චමිල ය.

“පවුල ඇතුළේ තිබෙන කතා කර විසඳා ගත හැකි දේ කතා නොකර සිටීම නිසා ඇතිවන ගැටලුවටයි හෙන්රිට යළිත් මුහුණ දීමට ලැබෙන්නේ. හෙන්රි ගැන හරියටම දැන ගන්න නම් 18 වැනිදාට එන්න.”

හෙන්රි ගැන ජගත් එහෙම කියන විට සරත් මෙහෙම කියන්නේ වික්ටර් ගැනයි.

“පවුල ඇතුළේ තිබෙන ඊර්ෂ්‍යාව, ආත්මාර්ථකාමී බව, අනෙක් පැත්තෙන් ගත්තොත් ආදරය, ලිංගිකත්වය හරහා පැන නැඟෙන පොදු ගැටලු රාශියක් පිළිබඳයි වික්ටර්ගෙන් හෙළිවන්නේ. පෙම්වතුන්ට මෙය අපූරු පණිවුඩයක් වේවි.”

වසන්ති රන්වල රඟන්නේ අමන්දාගේ චරිතයයි.

“අමන්දා කියන්නේ නිදහස් විදියට හිතන කෙනෙක්. ඇත්තට ම අමන්දාගේ චරිත ලක්ෂණ මගේ ජීවිතයෙත් තිබෙන බවයි මට නම් හැඟෙන්නේ.”

මායා ලෙස රඟන උමයංගනා පවසන්නේ එළිපිට කතා කළ නොහැකි බොහෝ දේ ගැන කතා කරන එක් චරිතයක් වන්නේ මායා බවයි.

එහෙම නම් ඔබට කිව නොහැකි වූ දේ කියන, ඔබට එළිපිට කතා කළ නොහැකි වූ දේ ගැන කතා කරන ‘පුද්ගලිකයි රහසිගතයි’ නරඹන්න හෙට පුංචි තියටර් එන්න. ඔවුන් ඔබ එනතුරු බලාගෙන ඉඳීවි.