වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




දැන් සාම විනිසුරු

දැන් සාම විනිසුරු

පුරාණේ ඔබට පිදූ ආලේ ගීතයෙන් ජනාදරයට පාත්‍ර වූ රොහාන් ද සිල්වාට අලුත් තනතුරක් ලැබිලා. ඒ සාම විනිසුරු පදවියක්. ගායනයට අමතරව දැන් ඔහු ලියුම් අත්සන් කිරීමේ කටයුතුත් කරනවලු. කාලයක් තිස්සේ ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් අපූරු ගීත රැසක් දායාද කල රොහාන් ගායක ගායිකා සංගමයේ භාණ්ඩාගාරික ලෙස ද කටයුතු කරනවා. රොහාන් තමන්ට නව පදවියක් ලද මොහොත් ගත් සේයාරු රාශියක් මුණුපොතට එක් කොට තිබුණා.


මදැයි කොළා

අපේ පත්තර ලෝකයේ තිදෙනකුට වුණු සන්තෑසියක් තමයි මේ කියන්න හදන්නේ. ඒ සේරම අපේ මැංගො ෆ්‍රෙන්ඩ්ස්ලා නිසා නම් කියන්නේ නැහැ. හැබැයි ඒ තුන්කට්ටුවෙන් කෙනෙක් අපේ පත්තරේටත් ලියන කෙනෙක් කියලා නම් කියන්න වෙනවා. අනිත් එක්කෙනා පත්තර ලෝකේ කොඩි දාන අදහස් ඇති කෙනෙක්. තව කෙනෙක් කොණ්ඩ බැඳපු පරම්පරාවේ කෙනෙක්. මේ තුන් දෙනාට වෙච්ච සිදුවීම ගැන කියද්දී චාලි චැප්ලින්ගේ සිටි ලයිට් චිත්‍රපටය මතක් වෙනවා. ඒකේ සිටිනවා ධනවතෙක්. මේ ධනවතාට චාලිව මතක් වෙන්නේ හොඳට ඩෝප් වුණාට පස්සේ. හොඳ සිහියෙන් ඉන්න කොට චාලිව මතක නැහැ. අපේ උන්දලා තුන් දෙනාටත් වුණේ එහෙම දෙයක්. ඔවුන් තිදෙනා සහභාගි වූ උත්සවයකදී නාඳුනන තැනැත්තෙක් මුණ ගැහුණා. ඔහු මේ අයට ඉක්මනින් කුළුපඟ වුණා. මේ තුන් දෙනාත් එහෙමයි. මිතුරුකමනේ වැදගත්. ඒ හින්දම මේ තිදෙනා අර මිත්‍රයා එක්ක සැහෙන්න විවෘත වුණා. මේ හින්දම අර මිත්‍රයා යෝජනාවක් ගෙනවා. ඒ තමයි හතර දෙනා එක්ක ළඟම ඇති සුඛෝපභෝගි අවන්හලකට යමු කියන එක. එවලේ ඔහු මඳ පමණින් අරගෙනයි හිටියේ. කොහොම හරි අපේ ගජයො තුන් දෙනා මේ මිත්‍රයත් එක්ක අර කියූ තැනට ගියා. එතැන සුරලොවක් වගේලු. තුන්දෙනා වටපිට බල බල ඉද්දි අර මිත්‍රයා පේන්න නැහැලු. හෙව්වලු හෙව්වලු ඒත් නැතිලු. අන්තිමේ මේ තුන් දෙනා අච්චර සුඛෝපභෝගි තැනකට ගිහින් හුලං බිබී පයින්ම ගෙදර ආවලු. වෙච්ච සිද්ධිය පහුවෙනිදයි ආරංචි වෙලා තියෙන්නේ. අර තැනට ගියාට පසු මිත්‍රයගෛ් වෙරි හිඳිලා. ඊට පස්සේ ඔහුට මතක නැති වෙලා එතැනට ආවේ ඇයි, කාත් එක්ක ද කියන කාරණය. අන්තිමේ ඔහු හිමිහිට එතැනින් මාරු වෙලා.