වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman

වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman

බොහොම සෘජු ගති ගුණ ඇති බැංකු සේවිකාවක සහ අත්භූත ගති ලක්ෂණ ඇති ආකර්ෂණීය තරුණයකු හමුවීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා මුහුණ දෙන ත්‍රාසජනක අත්දැකීම් බොලිවුඩ් රිදී තිරයෙන් දිග හැරුණේ මීට දෙවසරකට පමණ පෙරදීය. A Bang Bang චිත්‍රපටයෙනි. රිතික් රෝෂන්, කත්‍රිනා කයිෆ් සමඟින් හැඩ කළ Bang Bang චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 53ක් උපයා ගනිමින් ඉහළ ආදායම් අතරට ද පැමිණි අතර එය නිර්මාණය කෙරුණේ, Knight and Day හොලිවුඩ් චිත්‍රපටය ඇසුරිනි. Bang Bang අධ්‍යක්ෂණය කරන ලද්දේ සිද්ධාන්ත් ආන්න්ද් විසිනි.

දැන් එහි දෙවැන්න රිදී තිරයේ දිගහැරීමට සූදානම්ය. රාජ් නිධිමොරු සහ ක්‍රිෂ්ණා ඩී. කේගේ අධ්‍යක්ෂණයෙන් එය  A Gentleman ලෙසින් නම් වී ඇති අතර අගෝස්තු 25 වැනිදා සිට ලොවපුරා තිරගත කිරීම ඇරඹේ. එයින් කියවෙන්නේ ගෞරව් සහ කාව්‍යාගේ කතාවයි.

ගෞරව්ගේ එකම බලාපොරොත්තුව කාව්‍යා සමඟින් විවාහපත් වී සාර්ථක, සුන්දර ජීවිතයක් ගත කිරීමයි. කාව්‍යා යනු ගෞරව්ගේ සිහින කුමරිය යි. නමුත් කාව්‍යා වඩාත් ප්‍රිය කරන්නේ, බොහොම ත්‍රාසජනක අත්දැකීම් ලබන්නට කැමැති පුද්ගලයකු තම අනාගත සැමියා වනු දැකීමටයි. නමුත් අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක් නිසා ගෞරව් මුහුණ දෙන අභියෝග  A Gentleman ලෙසින් රිදී තිරයේ දිගහැරේ. මෙහි සිද්ධාර්ත් මල්හෝත්‍රා ගෞරව් ලෙසින් ද ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් කාව්‍යා ලෙසින්ද චරිත නිරූපණය කරයි.

මෙම චිත්‍රපටයේදී එකම චරිතය ස්වරූප දෙකකින් ඉදිරිපත් කරන්නට තිබීම සිද්ධාර්ත්හට අතිශය ප්‍රීතිජනක සිදුවීමක් බවට පත් වූ බව බොලිවුඩ් ආරංචි ගෙන එනවා. "එකම චිත්‍රපටයේ චරිත දෙකක් නිරූපණය කරන එක හිතනවාට වඩා ගොඩක් අමාරු දෙයක්. මම ඒ වගේ නිරූපණයක් කල පළමු අවස්ථාව මෙය යි. මෙහි තිරරචක වගේම අධ්‍යක්ෂවරුන් වන රාජ් සහ ඩී.කේ එය අපූරුවට නිර්මාණය කර තිබුණා. මේ කතාව ද්විත්ව චරිත ගැන කතාවක් විතරක්ම නෙවෙයි. ඒක හිතාගන්න බැරි වෙනස් කතාවක්" සිද්ධාර්ත් පවසනවා. මෙහි එන ගෞරව්ගේ චරිතයේ එක් පැත්තක් බොහොම ආදරණීය, ගෙදර දොර පිළිවෙළට පිරිසිදුව තබා ගන්නා, ඉවුම් පිහුම්වලට කැමැති සාමාන්‍ය දිල්ලි පන්ජාබ් තරුණයකු ලෙසින් නිරූපණය වන අතර අනෙක් පස බොහොම සටන්කාමී චරිතයක් නිරූපණය වෙනවා. වේගවත් චරිතයක් හිමි ඔහු තට්ටු හැටක් උස ගොඩනැඟිල්ලක ඉහළම තට්ටුවේ සිට බිමට පැනීමට වුව ද ඔට්ටුයි.

 A Gentleman චිත්‍රපටයේ ක්‍රියාදාම ජවනිකා ද ඇතුළත්. ඒ නිසා සිද්ධාර්ත් සටන් පුහුණුව ලැබුවේ සෙරෝ නම් සටන් අධ්‍යක්ෂවරයා වෙතින්.  A Gentleman චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන් වන රාජ් නිධිමොරු සහ ක්‍රිෂ්ණා ඩී. කේ විසින් මීට පෙර 99, Shor in the City  ඇතුළුව බොලිවුඩයේ ප්‍රථම සොම්බි චිත්‍රපටය වන Go Goa Gone අධ්‍යක්ෂණය කළා.

මේ දිනවල සිද්ධාර්ත් සහ ජැක්ලීන්  A Gentleman චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවල නියැළෙමින් සිටින්නේ. එම කටයුත්තද තරමක් විලාසිතා බවකින් යුතුව කරන්නට චිත්‍රපට කණ්ඩායම කටයුතු යොදලා.  A Gentleman චිත්‍රපටයේ සහ 1973 වසරේදී තිරගත කෙරුණු රිෂි කපූර් සහ ඩිම්පල් කපාඩියා රංගනයෙන් දායක වුණු Bobby චිත්‍රපටයේ යම් යම් සමානකම් දැකිය හැකි බවත් ඇතැමුන් පවසනවා. Bobby චිත්‍රපටයේ රාජ් නාත් චරිතය සතු ඇතැම් ලක්ෂණ  A Gentleman චිත්‍රපටයේ ගෞරව් හෙවත් රිෂිගේ චරිතය තුළත් දකින්නට හැකි බවත් එයින් කියවෙනවා.