වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපටයක් දුවනවාද නැතිද කියා තීරණය කළ යුත්තේ ප්‍රේක්ෂකයා පමණයි

චිත්‍රපටයක් දුවනවාද නැතිද කියා තීරණය කළ යුත්තේ ප්‍රේක්ෂකයා පමණයි

පුංචි අපිත් බය නෑ දැන් නිපද වූ ප්‍රියජනක ගමගේ

සරසවිය පත්තරේ නිසා රංගන වරම හිමිකරගත් අයගෙන් කෙනකු මං. 2002 වසරේ සරසවියේ දැන්වීමක් දැකලා එයට අයැදුම් කරලයි මං කලා ලොවට පිවිසුණේ. මං රඟපාපු පළමු චිත්‍රපටය ලාල් ප්‍රියදේවගේ අනේ සාදු. අවාසනාවට ඒක තිරගත වුුණේ නැහැ. මං එහි හොඳ චරිතයක් කළා. පසුව දම්සාරි, වැස්ස නුඹ වාගේ ආදී ටෙලි නාට්‍යවලත්, පීටර් වන්, දෝනි, රජ හොරු, වීර්යා, බන්ධනය වගේ චිත්‍රපටවලත් රංගනයේ යෙදුණා. නිෂ්පාදකවරයකු වන්නේ දෙවනුවයි.

චිත්‍රපටයක් හදනවාට වඩා අමාරුයි ඒක ප්‍රදර්ශනය කරන එක. ඒ අවස්ථාවට මුහුණ දීලා බලන්න ඕනෑ. නිෂ්පාදකවරයකු විදිහට මං ඒ අත්දැකීම විඳිමින් තමයි මේ දිනවල කාලය ගත කරන්නේ. වෙලාවකට හරිම කටුකයි.

හිත් වේදනාවක් සහිතව ඒ අන්දමින් කතාව ඇරැඹුවේ ප්‍රියජනක ගමගේ. මේ දිනවල තිරගතවන පුංචි අපිත් බය නෑ දැන් සිනමාපටයේ එක් නිෂ්පාදකවරයකු වන හෙතෙම රංගන ශිල්පියකු වශයෙන් ද කටයුතු කරයි.

අපට මේ මණ්ඩලයෙන් චිත්‍රපට ශාලා විස්සක් විතර දෙනවා කිව්වා. ඒත් ලැබුණේ දහයකට ආසන්න ප්‍රමාණයක්. ඒවාවලත් එක් දිනකදී ෂෝ ටයිම් එකක් හෝ දෙකක් තමයි අපට ලැබුණේ. අනෙක් වෙලාවන්වලදී වෙනත් චිත්‍රපට පෙන්වනවා. එතකොට චිත්‍රපටය නරඹන්නන්ට තමයි ගැටලුව. ඇයි තමන් බලන්න හිතාගෙන ශාලාවට එන චිත්‍රපටය නෙවෙයිනෙ බලන්න වෙන්නේ. වෙන එකක්නේ.

ඔබ චිත්‍රපටය පෙන්වන දර්ශන වාරවලට සෙනඟ හිිටියද?

ඇත්තම කිව්වොත් හිතපු මට්ටමට නම් සෙනඟ හිටියේ නැහැ. නමුත් සති අන්ත දිනවලදී සැලකිය යුතු මට්ටමකට ප්‍රේක්ෂකයන් හිටියා. ඒ ප්‍රමාණය ඇති.

පුංචි අපිත් බය නැ දැන් චිත්‍රපටය තිරගත වුණේ ඊට සුදුසු කාලයේ කියලා ඔබ හිතනවාද?

ඔව් අපි මේ චිත්‍රපටය රූගත කරලා වසර හතරකට ආසන්නයි. වසරින් වසර චිත්‍රපටය ප්‍රදර්ශනය වන කාලය පමා වුණා. තවත් බලාගෙන ඉන්නත් බැහැ. ඒ නිසා අවස්ථාව ලැබුණ ගමන් ප්‍රදර්ශනය කළා.

ඔබ චිත්‍රපටය ඇතුළුව ළමා චිත්‍රපට දෙක තුනක්ම මේ දිනවල තිරගත වෙනවා?

ඒක නම් ඇත්ත. මිනිස්සුන්ට දැන් පැටලිලා ඉන්නේ මොකක්ද බලන චිත්‍රපටය කියලා තේරා ගන්න බැරුව. නිසි කළමනාකාරිත්වයෙන් යුතුව චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමවේදයක් තිබුණ නම් එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ වගේ එකම වර්ගයේ චිත්‍රපට එළියට එන්නේ නැහැ.

චිත්‍රපට ප්‍රදර්ශන අර්බුදයට ඔබ යෝජනා කරන විසඳුම මොකක්ද?

පළමුව චිත්‍රපට වර්ගීකරණය කළ යුතුයි. ඒකට නිසි ක්‍රමෝපායක් භාවිත කරන්න ඕනෑ. එලෙස වර්ගීකරණය කරලා අවශ්‍ය කාලයට ඉක්මනින් චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න ඕනෑ. චිත්‍රපටයක් දුවනවාද නැත්ද කියලා තීරණය කරන්නේ ප්‍රේක්ෂකයෝ. නැතුව වෙනත් පුද්ගලයෝ නෙවෙයි. පේ‍්‍රක්ෂකයන් තිරණය කරනවා චිත්‍රපටයක් හෝල්වල තිබිය යුතුද නැද්ද කියලා. නැතුව එක එක අයට ඕනෑවට නෙවෙයි ශාලාවලින් චිත්‍රපට ඉවත් කරන්න ඕනෑ.

පුංචි අපිත් බය නෑ දැන් චිත්‍රපයට පාදක වන්නේ ග්‍රීස් යකකු ගැන කතා පුවතක්. අද කාලයට ඒක පෑහෙනවාද?

මොකද නැත්තේ. මට ඔය පිටපත කියවපු මුල් දවසෙම ඒක හිතට දැනුණා. කතාවත් හොඳයි. සිද්ධීන් ඕනෑම කාලයකට අනුරූපියි. ඉතින් මං එහි නිෂ්පාදන කටයුතුවලට අත ගසන්නට හිතුවා. මේක සරල මාතෘකාවක් ඔස්සේ හැදුණ චිත්‍රපටයක්. ඒ වාගේම ආදර්ශවත්, පවුලේ සියලු දෙනා සමඟ එකට සිට රස විඳිය හැකියි.

චිත්‍රපටය නරඹන්න ආ ප්‍රේක්ෂකයින් මොන වගේ අදහස් ද ප්‍රකාශ කළේ?

හොඳයි කියලා තමයි කිව්වේ.

හිතපු තරම් ප්‍රේ්ක්ෂකයින් කණ්ඩායමක් චිත්‍රපටය නැරැඹුවේ නැති නිසා චිත්‍රපටය මඟින් ලබා දෙන පණිවුඩය හරියට සමාජගත කරන්න බැරි වෙන්න ඇති?

මං ඒක පිළිගන්නවා. මට අවශ්‍ය විදිහට මෙහි පණිවුඩය සමාජගත කරන්නට බැරි වුණා. ඒත් කනගාටුවක් නැහැ.

ඔබ චිත්‍රපටයේ රංගන ශිල්පියකු ද ලෙසින් කටයුතු කරනවා?

ඔව්.

ඔබ රංගනයට පිවිසි ආකාරයත් මතක් කළොත්?

සරසවිය පත්තරේ නිසා රංගන වරම හිමිකරගත් අයගෙන් කෙනකු මං. 2002 වසරේ සරසවියේ දැන්වීමක් දැකලා එයට අයැදුම් කරලයි මං කලා ලොවට පිවිසුණේ. මං රඟපාපු පළමු චිත්‍රපටය ලාල් ප්‍රියදේවගේ අනේ සාදු. අවාසනාවට ඒක තිරගත වුුණේ නැහැ. මං එහි හොඳ චරිතයක් කළා. පසුව දම්සාරි, වැස්ස නුඹ වාගේ ආදී ටෙලි නාට්‍යවලත්, පීටර් වන්, දෝනි, රජ හොරු, වීර්යා, බන්ධනය වගේ චිත්‍රපටවලත් රංගනයේ යෙදුණා. නිෂ්පාදකවරයකු වන්නේ දෙවනුවයි.

ඔබ රංගන ශිල්පියකු වන්නේ බොහෝ දුෂ්කරතා මැදයි. ඔබ කොළඹ එන්නෙත් රඟපාන්න බලාගෙන.

ඔව්. මගේ ගම හම්බන්තොට මිද්දෙණිය. රඟපාන්නම හිතාගෙනයි කොළඹ එන්නේ. එහෙම වැර වෑයමෙන් රඟපාන්න ඇවිත් කටු කාපු අවස්ථා අනන්තයි.

එහෙම මුහුණ පෑ අමතකම නොවන සිදුවීම මොකක්ද?

දවසක් රාජගිරියේ තිබුණු ෂූට් එකක් ඉවර වුණා. හරියට වෙලාව රෑ දොළහට ආසන්නයි. යන්න වාහනයක් තිබුණෙත් නැහැ. පාරට බැස්සම බස් එකක්වත් නැහැ. අන්තිමේ මොකද කළේ පයින්ම මං නැවතිලා ඉන්න මට්ටක්කුලියට ආවා. එදායින් පසුව මං හිතුවා මං ආයේ රඟපාන්න යන්නේ වගකීමක් ඇතුව වැඩ කරන පුද්ගලයින් එක්ක පමණයි කියලා.

මේතාක් කල් පැමිණි ගමන ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද?

අනිවාර්යයෙන්ම හිමින් පැමිණි ගමනක්. නමුත් එක් දෙයක් ගැන සෑහීමකට පත්වෙන්න අමාරුයි.

ඒ මොකක්ද?

මං ලද ජනප්‍රියත්වය ගැන මට හිතෙනවා මං ක්ෂේත්‍රයට පැමිණි කාලය සහ දායක වූ නිර්මාණත් එක්ක මීට වඩා ජනප්‍රිය වෙන්න තිබුණා.

ආයේ නිෂ්පාදන කාර්යයකට අත ගසන්නට බලාපොරොත්තුවක් නැතිද?

ප්‍රදර්ශන මණ්ඩල නිරවුල් කියලා දැනුණ දවසට නිර්මාණයක් කරන්න හිතාගෙන ඉන්නවා. දැන්මම නෙවෙයි. ඒ වාගේම නිර්මාණාත්මක ඇසක් තිබෙන වගකිව යුතු පිරිසක් බිහිවේවා කියාද පතනවා.