වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ළමා හා කෙටි නාට්‍ය උලෙළ

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ළමා හා කෙටි නාට්‍ය උලෙළ

ලයනල් වෙන්ඩ්ට් රඟහලේ

ළමයින් වෙනුවෙන් නිර්මාණය කරන ලද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම ‍ළමා සහ කෙටි නාට්‍ය කිහිපයක් ඇතුළත් ‘මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ළමා හා කෙටි නාට්‍ය උලෙළ’ මේ මස 18, 19, 20 යන දිනවල පස්වරු 3.30ට සහ 6.30ට කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගතවෙයි. ඒ අනුව 18 වැනිදා - වෙල්ලවැහුම්, 19 වැනිදා - කදා වළලු සමඟ එලොව ගිහින් මෙලොව ආවා, 20 වැනිදා - මඟුල් ප්‍රස්තාව සමඟ ඒකට මට හිනා හිනා යන නාට්‍ය ඊට ඇතුළත් ය.


තෙවැනි ඇස 2017

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී

ඡායාරූප උපාංග සහ සේවා හඳුන්වාදීමේ වා‍ර්ෂික වෙළෙඳ ප්‍රදර්ශනය ‘තෙවැනි ඇස 2017’ නමින් මේ මස 19 හා 20 යන දෙදින ඇතුළත කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි. හත්වන වරටත් පැවැත්වෙන මේ ප්‍රදර්ශනය පෙරවරු 10.00 සිට රාත්‍රි 08.00 දක්වා සම්මන්ත්‍රණ ශාලා භූමියේදී පැවැත්වෙන්නේ නොමිලේයි.

ලෝකයේ නවීන සහ උසස් තාක්ෂණයෙන් හෙබි කැමරා කාච වර්ග මෙන්ම ඡායාරූප අවශ්‍යතා සඳහා ඇවැසි උපකරණ ඇල්බම, මුද්‍රණ යන්ත්‍ර ඇතුළු දහසක් දෑ මේ ප්‍රදර්ශනයට එක් කොට ඇත.


සන්ථව කාව්‍ය විචාර සම්මාන උලෙළ 25

සිංහල කාව්‍ය විචාරය ඇතුළේ නව මාවතක් විවර කර ගැනීමේ අරමුණින් සහ නූතන සිංහල කවිය ඔස්සේ බුද්ධිය සමාජ කතිකාවක් ගොඩනැඟීමේ අරමුණින් සන්ථව ප්‍රකාශන ආයතනය සංවිධානය කරන සන්ථව කාව්‍ය විචාර සම්මාන උලෙළ මේ මස 25 වැනිදා මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී පස්වරු 3.00ට පැවැත්වෙයි. මෙහිදි තෝරාගත් ප්‍රශස්ත මට්ටමේ විචාර 10ක් සඳහා සන්ථව කාව්‍ය විචාර සම්මානය පිරිනැමෙයි. මෙයට අමතරව නව කවියේ කවිතාව සහ සාරාර්ථය’ යන මැයෙන් දේශනය පවත්වන්නේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසිනි.

එදිනට මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලියූ ‘2016 නූතනම සිංහල කවිය පිළිබඳ වින්දනාලෝචනය’ කෘතිය ජනගත වීමද සිදුවීමට නියමිතය. උත්සව මණ්ඩපය මෙහෙයවීම සඳුන් ප්‍රියංකර විතානගේගෙනි. මේ වටිනා අවස්ථාවට සහභාගි වන මෙන් සාහිත්‍යයට ලැදි සැමට සංවිධායක කමිටුව ආරාධනා කරයි.


මුතු සම්බා එළිදකියි

වෛද්‍ය ඉන්දික වන්නිනායක ලියූ ‘මුතු සම්බා’ අලුත්ම නවකතාව මේ මස 22 වැනිදා මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී එළිදකියි. මේ කෘතිය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි.

අපොයි මගේ ඉස්කෝලේ එළිදකියි

නවකතා රචකයකු වන ගුණරත්න ඒකනායකගේ නවතම යොවන් නවකතාව ‘අපොයි මගේ ඉස්කෝලේ’ මේ මස 31 වැනිදා පෙරවරු 9.30ට සොයිසාපුර නිපුන් පොත් මැඳුරේදී එළිදකියි.

බොක්ස් සහ තවත් කතා සහ හතරවෙනි ජයසිංහ කෘති එළිදැක්වෙයි

චාලක රණසූරියගේ ‘බොක්ස් සහ තවත් කතා’ (සම්මානනීය කෙටි නාට්‍ය පිටපත්) කෘතිය සහ සමිත බී. අටුවබන්දෑලගේ ‘හතරවෙනි ජයසිංහ’ කෘතිය මේ මස 20වැනිදා සවස 2.30ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී (නාඩා) එළිදැක්වෙයි. එදිනට චාලක රණසූරියගේ ‘බොක්ස්’ වේදිකා නාට්‍යය නොමිලයේ වේදිකා ගතවෙයි. උපුල් ශාන්ත සන්නස්ගල, කේ. කේ. සමන් කුමාර, සුදත් ගාමිණී බණ්ඩාර යන මහත්වරු එදිනට දේශන පවත්වති.