වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවිතේ කවියක්

ජීවිතේ කවියක්

බණ්ඩාර ඇහැළියගොඩ

ආදරේ එහි සොඳුරු බර වදනක්

කඳුළැලි බිඳක් හසරැලි පොදක්

එකට එක් වූ විට දැනේ

පෙර නොවිඳි රසයක්”

ඔහු අපට කියනවා ජීවිතේ කවියක් කියලා. ඔහුගේ ජීවිතේ දිහා බලනකොට අපිට දැනෙනවා කවියක් වගේ ජීවිතයකට සැබෑ උරුමකම් කියන්නෙකු එහෙම ලියන්නෙ නැතුව කොහොමද? කියලා. ගෙවුණු තිස් පස් වසරක කලා දිවිය තුළ මෙවන් නිර්මාණ රාශියක් ඔහු අපේ ගීත ක්ෂේත්‍රයට දායාද කළා. 80 දශකයේ මෙරට ගීත සාහිත්‍යය තුළ ඔහුගේ ගී පද රචනා කැපී පෙනෙන්නට තම ජීවන අත්දැකීම් අරභයා ඔහු ලද සංවේදී හැඟීම් ගී පද බවට පත් වීම සුවිශේෂ කාරණාවක් වුණා. මේ අපි කතා කරන්නේ මෙරට ගීත සාහිත්‍යය තුළ අමරණීය නිර්මාණ සළකුණු තැබූ ගීපද රචක බණ්ඩාර ඇහැළියගොඩ පිළිබඳව.

ඔහුගේ කලා දිවියට තිස් පස් වසරක් සපිරීම නිමිත්තෙන් සහෘද සංවාද කේන්ද්‍රය විසින් පවත්වනු ලබන උත්සව මාලාව එළඹෙන අගෝස්තු 20 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වෙනවා. ‘ජීවිතය කවියක්’ නම් බණ්ඩාර ඇහැළියගොඩ සෞන්දර්ය චරිතාවලෝකනයට ගීත ප්‍රසංගයක්, නව ගීත සමුච්චයක් ඇතුළත් සංගත තැටියක් දොරට වැඩුමක් සහ ඔහු පිළිබඳ ලියූ ග්‍රන්ථයක් දොරට වැඩුමක් ද ඇතුළත් වෙනවා. ‘ජීවිතය කවියක්’ ගීත ප්‍රසංගයේදී බණ්ඩාර ඇහැළියගොඩ විසින් රචනා කරන ලද ජනප්‍රිය ගීත 25 ක් ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් විසින් ගායනා කරනු ලබනවා. ආචාර්ය වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, නිරෝෂා විරාජිනි, ලක්ෂ්මන් විජේසේකර, බන්දුල විජේවීර, එඩ්වඩ් ජයකොඩි, ජානක වික්‍රමසිංහ, ක්‍රිශාන්ත එරන්දක, ජයලත් මනෝරත්නගේ සිට ජිප්සීස් සුනිල් පෙරේරා දක්වා වූ ගායක ගායිකාවන් පිරිසක් මේ සඳහා ගායනයෙන් එක්වෙනවා. ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ වන අතර නර්තන නිර්මාණය චන්න විජේවර්ධනගෙන්ය. මෙම ප්‍රසංගය ඉදිරිපත් කරනුයේ ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනි විසින්ය.

බණ්ඩාර ඇහැළියගොඩ විසින් රොඩ්නි වර්ණකුල හා සමන් ලෙනින් වෙනුවෙන් රචනා කරන ලද ගීතයක් මෙහිදි ගායනා කරනු ලබන අතර ඒ සඳහා නර්තනයෙන් ගිරිරාජ් කෞශල්‍ය හා ප්‍රියන්ත සෙනෙවිරත්න දායක වෙනවා.

සංයුක්ත තැටිය සහ ග්‍රන්ථය දොරට වැඩුම ද ප්‍රසංගය අතරතුරම සිදු කෙරෙනවා. කුල ශ්‍රී කාරියවසම් විසින් සංස්කරණය කරන ලද එම ග්‍රන්ථයට විවිධ විද්වතුන්, හිතවතුන්, සහෘදයින් විසින් රචනා කරන ලද ලිපි රැසක් ඇතුළත් වෙනවා.

බණ්ඩාර ඇහැළියගොඩ සුභාවිත ගීතය වෙනුවෙන් හැමදාමත් පෙනී සිටියෙක්. ගීත සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වශයෙන් ඔහු කවදත් තමන්ට හැකි අයුරින් ක්ෂේත්‍රයට නිර්මාණ දායක කළා. වර්තමාන ගීත සාහිත්‍යය තුළ සිදු වී ඇති විපර්යාසයන් කොතෙක් වුව ද ඔහු ඒවාට ශාප කර කර හෝ බැණ අඬ ගසමින් නිහඬව සිටීම පුරුද්දක් කර ගත්තෙක් නොවෙයි. අඳුරට ශාප කරනවාට වඩා එක පහනක් දැල්වීම වටී යැයි සිතමින් නිර්මාණ කාර්යයේ යෙදුනෙක්. මෙවර එළි දක්වන සංයුක්ත තැටිය ද එකී පරමාර්ථයම පෙරදැරි කර ගත්තක්.

‘අලුතින් නිකුත්වන සංයුක්ත තැටියේ ගීත 17 ක් ඇතුළත් වෙනවා. වර්තමානයේ අලුත් ගීත නිර්මාණවලට තිබෙන ඉඩකඩ ඉතා සීමිතයි. අපි ක්ෂේත්‍රයට ආව කාලේ අපිට ඕන තරම් අවස්ථා තිබුණා නිර්මාණකරණයට පිවිසෙන්න. නව නිර්මාණ ඉදිරිපත් කරන්න. ගුවන් විදුලියේ සරල ගී වැඩසටහන්වලින් පටන් ගත්තම ‘මධුවන්ති, ප්‍රබුද්ධ ගී, ගී පදමාලා’ වැනි නොයෙකුත් වැඩසටහන් තිබුණා. වර්තමානයේ එහෙම නව නිර්මාණ බිහිවෙන වැඩසටහන් නැහැ. මම මේ වෙනකොට සංයුක්ත තැටි 06 ක් කරලා තිබෙනවා. ඒත් ඒ ගීත කොහේවත් ප්‍රචාරය වෙන්නේ නැහැ. ගී තැටි අලෙවි කරන්න තැනක් නැහැ. මාධ්‍ය තුළ ගීත ප්‍රචාරය වීමේ වෙනම වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඒ ක්‍රමවේදයට අපිට එකඟවෙන්න බැහැ. මේ තියෙන තත්ත්වයත් එක්ක මේ අලුතින් එළි දක්වන ගීත ටිකටත් ඒ සන්තෑසියම වෙන බව මම දන්නවා. සාමාන්‍යයෙන් මම කරන්නේ එළි දැක්වීම දවසෙදි අලෙවි වන ප්‍රමාණයෙන් පස්සේ ඉතිරි ටික ගෙදරට එන එයට නිකන් දෙන එකයි. එහෙම හරි කමක් නෑ මිනිස්සු අහනවනේ කියලා හිතෙනවා මට. මේ ගීත ටික එළි දක්වන්න නම් මට වෝල්ටර් අබේසුන්දර, කරුණාරත්න පීරිස් සහ තිලක් හේවාකපුුගේ යන සහෘදයෝ උදව් කළා.’

බණ්ඩාර ඇහැළියගොඩ ගීත රචනා ක්ෂේත්‍රයට පිවිසෙන්නට පෙර හොඳ නළුවෙකි. එසේම කවුරුත් ්නොදන්නවාට ඔහු වෙස් බැඳි නැට්ටුවෙකි. මේ කලා හැකියාවන් ඔහුට පිහිටන්නට ඇත්තේ සහජයෙන්ය. එසේම ඔහු කුඩා කල හැදී වැඩුණු පරිසරය මේ සඳහා තදින්ම බලපාන්නට ඇත. බණ්ඩාරගේ පියා හොඳ ගොවි මහතෙකි. ඔවුන් ජීවත් වී ඇත්තේ ඇහැළියගොඩ සුන්දර ගමකය. ගොවිතැන, පතල් කැපීම, කිරි කැපීම, තේ දළු නෙලීම මෙගම් වැසියන්ගේ ජීවනෝපායන්ය. ඇළ, දොල, ගංගා කෙත්වතු, කඳු වැටි මැද අතිශය සරල සුන්දර ගැමි දිවියක ආශිර්වාදය ඇතුව හැදුණු වැඩුණු ඔහුට මේ සියළු අත්දැකීම් පසු කලෙක කවි, සිංදු බවට පත්විම අරුමයක් නොවේ.

‘මම ඉස්කෝලේ යන කාලේ ඉඳලම තමයි කවි ලියන්න පටන් ගත්තේ. මුලින්ම මම ගියේ පරණගම රජයේ විද්‍යාලයට. ඊට පස්සේ උසස් පෙළ කරන්න ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයට ගියා. උසස් පෙළ සමත්වෙලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. හැබැයි එහිදී මම වැඩියෙන් අවධානය යොමු කළේ නාට්‍ය පැත්තට.’

බණ්ඩාර ඇහැළියගොඩ වයස අවුරුදු 10 - 12 ක් වෙත්දී පාසල් ගමන නවතා දැමුවා. ඒකට හේතුව වුණේ ඔහුගේ පියාගේ සහෝදරයෙක් හොඳ නැට්ටුවෙක් වී සිටිය නිසා ඔහුටද නැටුම් ඉගෙන ගන්න සිතීමයි. ඔහු නර්තනය කෙතරම් ප්‍රගුණ කළේ ද යත් කලඑලි මංගල්‍යය පවත්වා වෙස් බැඳ නැටුවා. මේ අතර ඔහුගේ පියා වියෝවීම නිසා නැටුම අතහැර යළි පාසල් යන්නට පටන් ගත්තා.

‘විශ්ව විද්‍යාලේ ප්‍රථම වසර ඉන්නකොට මට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රැකියාවක් ලැබුණා. අධ්‍යාපනයයි, රැකියාවයි දෙකම එකට තමයි කර ගත්තේ. ඔය අතරේ තමයි මම කොළඹ ආවේ. කොළඹ ඇවිත් ඉස්සරවෙලාම මම සම්බන්ධ වුණේ නාට්‍යවලට. ‘න්‍යෂ්ටිකා හෙවත් මහ බල හටන’ නාට්‍යයේ මම ප්‍රධාන චරිතය රඟපානවා. ඒ අතරම ලයනල් වෙන්ට් රංග ශිල්ප ශාලිකාවේ හෙලේනා ලෙහ්තිමතී වැනි අයගෙන් නාට්‍ය කලාව හදාරනවා. 1984 යෞවන සම්මාන නාට්‍ය උලෙළේ දී මම හොඳම නළුවා වෙනවා. ඔය අතරෙදි මම ගීත රචනා පැත්තටත් අවධානය යොමු කරනවා. පුවත්පත්වලට කවි ලියනවා. විශේෂයෙන්ම ධර්මසිරි ගමගේ මහතාගේ යොවුන් ජනතා පුවත්පතට, පහන් වැට නිර්මාණ කවයට සම්බන්ධ වෙලා වැඩ කරනවා.’

‘තිරය ඇරෙනවා - තිරය වැහෙනවා

ඔල්වරසන් හඬ පැතිරෙනවා

සඳළු තලෙන් බැස මානවිකාවන්

තාලෙට ඉඟ සුඟ නටවනවා . . .’

සුනිල් එදිරිසිංහයන් ගයන මේ ගීතයත් ‘ලෝකයක් නසන්නට රුදුරු අවි අත දරා’ ගීතයත් තමයි බණ්ඩාර ඇහැලියගොඩයන් එක රැයෙන් ගීත රචකයෙකු වශයෙන් අභිසෙස් ලබන්නට හේතු කාරක වූ ගීත දෙක වුණේ. සුනිල් එදිරිසිංහයන්ගේ සරල ගී වැඩසටහනකට ගැයූ මේ ගීත දෙක එකල ගුවන් විදුලියේ බොහෝ වැඩසටහන් වෙනුවෙන් ප්‍රචාරය වුණා. එතැන් සිට ඔහු ගීත රචකයෙකු වශයෙන් තම අත්දැකීම් ඇසුරින් බොහෝ නිර්මාණ කළා.

‘අන්න බලන් බෙර හඬින් උදම් වී

දෑත දෙපා සෙලවෙන අන්දම්

අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ

මාලත්තම කැරකෙන අන්දම්’

නර්තනයක අපූර්වත්වය සේම නර්තනය නරඹන්නාට දැනෙන ප්‍රීතිය යටින් නර්තනයේ යෙදෙන්නාගේ දුක්ඛ දෝමනස්සයන් පිළිබඳ කියවෙන මෙම ගීතය ලියන්නට ඔහු ලැබූ ජීවන අත්දැකීම් ද හේතුවක් වෙන්නැති.

‘මගේ අමල් බිසෝ

දොර හරින්නෙපා

හරි පරෙස්සමෙන් හිටපන්

මම දීපංකරේ - ලතැවුලෙන් මෙසේ

නුඹ මූදුකරේ තනියෙන්’

‘මගේ ජිවිතේ දිහා ආපස්සට හැරිලා බලත්දී ලොකු සතුටක් දැනෙනවා. ගමෙන් ඇවිත් කොළඹ පදිංචි වුණාට අදටත් මගේ ගමේ සබඳතා අත ඇරලා නෑ. විවාහ වෙලා දරුවෝ තුන් දෙනෙක් ලබලා අද ඉන් දෙදෙනක් විවාහපත් වෙලා මුනුපුරු මිණිපිරියන් පස් දෙනෙක් ඉන්නවා. අපි සියළු දෙනාම හුඟාක් සතුටින් ජීවිතය ගෙවනවා.

‘දුවේ නුඹ මගේ ප්‍රාණයයි

හැබෑ වුණ සුබ සීනයයි

සෙනෙහසින් කුලගෙට පිය නඟන්නේ

සනුහරේ අභිමානයයි’