වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




The Hitman's Bodyguard

ඒකාධිපතියකුට එරෙහිව

 

මයිකල් බ්‍රයිස් නම් අංගාරක්ෂයාට පැවරෙන වගකීම වන්නේ ඩේරියස් කින්කේඩ් නම් කුලියට මිනී මරන්නා වෙත ආරක්ෂාව සැපයීමයි. ඩේරියස් කින්කේඩ්හට ආරක්ෂාව සපයමින් ඔහු එංගලන්තයේ සිට ජාත්‍යන්තර උසාවිය වෙත රැගෙන යාමේ කාර්යය මයිකල්හට පැවරේ.

මේ ගමන කවුරුත් සිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නම් වන්නේ නැත. ඒ අතරතුර මයිකල් සහ ඩේරියස්හට නොසිතුවිරූ ත්‍රාසජනක අත්දැකීම් රැසකට මුහුණ දෙන්නට සිදු වේ. වරෙක ඔවුන්

පසුපස හඹා එන්නේ මෝටර් රථයකි. තවත් වරෙක පිරිසක් බෝට්ටුවකින් ලුහුබඳීයි. එසේ පැමිණෙන්නේ වෙන කිසිවෙකුත් නොව, නැගෙනහිර යුරෝපයේ බලවත් ලේ පිපාසිත ඒකාධිපතියකු වන ව්ලැඩිස්ලෝ ඩකොවිච් ය. ඔහුගේ උත්සාහය ඩේරියස් කින්කේඩ් ඝාතනය කිරීමයි.

මෙම ත්‍රාසජනක අත්දැකීම් පෙළ අද (අගෝස්තු 17) වැනිදා සිට රිදී තිරයේ දිග හැරේ. අමෙරිකානු හාස්‍යමය ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙසින් නම්කර ඇති The Hitman's Bodyguard මිනිත්තු 118ක ධාවන කාලයකින් යුතු වේ. The Hitman's Bodyguard චිත්‍රපටයට රංගනයෙන් දායක වී සිටින්නේ ප්‍රවීණ නළු නිළි කැළකි. රයන් රෙනෝල්ඩ් මයිකල් ගේ චරිතයට පණ පොවන අතර සැමුවෙල් එල්. ජැක්සන් ඩේරියස් ලෙසත් ග්‍රේ ඕල්ඩ්මන් විසින් ඩකොවිච්ගේ චරිතයන් සල්මා හයේක් ඩේරියස්ගේ බිරිය, සෝනියා කින්කේඩ්ගේ චරිතයක් නිරූපණය කරති.

The Hitman's Bodyguard චිත්‍රපටය අධ්‍යක්ෂණය පැට්‍රික් හග්ස් විසිනි. 2000 වසරේ දී කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් සිනමාවට පිවිසි ඔහු තම පළමු වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ 2010 වසරේදීය. Red Hill  නම් වූ එය විචාරක අවධානය ඉහළින්ම දිනා ගන්නට සමත් විය. දෙවැන්න වූ he Expendables 3  චිත්‍රපටය විචාරක පැසසුම් නොලැබුණද බොක්ස් ඔෆිස් ආදායම් ලද චිත්‍රපටයක් විය.

The Hitman's Bodyguard චිත්‍රපටය රචනා කරන ලද්දේ ටොම් ඔ'කෝනර් විසිනි. 2011 වසරේදී රචනා කරන ලද එය කාලයක් පුරා සිනමා නිර්මාණයක් බවට පත් නොවී පිටපතක් ලෙසින්ම පැවති අතර චිත්‍රපට බවට පත් නොවූ හොඳ තිරරචනා ලැයිස්තුවක තිබූ The Hitman's Bodyguard පිටපතට අනුව රූගත කිරීම් ආරම්භ කෙරුණේ 2016 වසරේදීය. ලන්ඩනය, ඇම්ට්‍රඩෑම් සහ සොෆියා හිදී එය රූගැන්විණි.