වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




ධර්ම යුද්ධය දින 31 යි ලක්ෂ 535 යි

ධර්ම යුද්ධය දින 31 යි ලක්ෂ 535 යි

ධර්ම යුද්ධය සිනමාපටය තිරගතවීම ආරම්භ වී මේ වන විට දින 31 ගත වී තිබේ. එම කාලය තුළ එය ලක්ෂ 535 ක ආදායමක් උපයා ඇති බව සිනමාපටය තිරගතවන සී. ඊ. එල්. මණ්ඩලය සරසවියට දන්වා සිටියේය. කැපිටල් මහරාජා ආයතනයේ නිෂ්පාදනයක් වන එය ඉන්දීය අධ්‍යක්ෂ චෙයියර් රවීගේ අධ්‍යක්ෂණයකි. සුප්‍රකට මලයාලම් සිනමාපටයක් වන දෘෂ්‍යම් ඇසුරෙන් නිර්මාණය වූ ධර්ම යුද්ධය ජැක්සන් ඇන්තනි, දිල්හානි අශෝකමාලා, තිසුරි යුවනිකා, රොෂාන් පිලපිටිය, කුසුම් රේණු, විනුම් වන්සදි, ධනුක දිල්ෂාන්, ඩග්ලස් රණසිංහ, කුමාර තිරිමාදුර ආදී නළු නිළියන් රංගනයෙන් දායක වූහ. මේ වන විට ධර්ම යුද්ධය නැරැඹූ ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව දෙලක්ෂ තිස්පන් දහසකි.


ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප සම්මාන උලෙළ හා ඡායාරූප ප්‍රදර්ශනය

නෙළුම් පොකුණ රඟහලේ

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලය එක්ව දෙවැනි වරටත් සංවිධානය කරන ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප සම්මාන උලෙළ මේ මස 19 වැනිදා පස්වරු 4.00ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙයි.

ඡායාරූප සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ සහභාගිත්වයෙන් අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට නියමිත ය.

ජීවන රටා සහ සංස්කෘතික අංග, සොබාදහම, වනජීවී සහ භූමි දර්ශන, ජනමාධ්‍ය, ප්‍රවෘත්ති, ක්‍රීඩා, මංගල අවස්ථා, විවෘත අංශය යන අංශ යටතේ තෝරාගත් තරගකරුවන් මෙහිදි සම්මාන ලබන අතර ප්‍රදර්ශනය සඳහා තෝරා ගන්නා ලද ඡායාරූප ප්‍රමාණය 150කි. මේ උලෙළේදී මෙවර ජීවිතයේ එක්වරක් පිදෙන යාවජීව සම්මානයෙන් පිදුම් ලබන්නේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී වෛද්‍ය ටී.එස්.යූ.ද සිල්වා මහතායි.

රාජ්‍ය ඡායාරූප සම්මාන උලෙළට සමගාමීව ජයග්‍රාහී ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිත අතර එය පැවැත් වෙන්නේ මේ මස 20 සහ 21 දිනවල පෙරවරු 8.00 - පස්වරු 5.00 දක්වා නෙළුම් පොකුණ පරිශ්‍රයේදීය. මේ ප්‍රදර්ශනය නොමිලේ පැවැත්වෙන බැවින් ඕනෑම අයකුට එහි පැමිණ නැරැඹිය හැකිය.


එක දවසක අපි ජාත්‍යන්තර උලෙළ රැසකට

ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ නවතම චිත්‍රපට නිෂ්පාදනය එක දවසක අපි මේ වනවිට ජාත්‍යන්තර චිත්‍රපට උලෙළවල් ගණනාවකට ලොව වටා මේ වන විට සහභාගී වෙමින් පවතියි. අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වූ මෙම සිනමාපටයෙහි පුබුදු චතුරංග සහ නයනතරා වික්‍රමආරච්චි ප්‍රධාන චරිත නිරූපණය කරති. එක දවසක අපි සිනමාපටය මෙම වසර අගදී තිරගතවීමට නියමිතය.


‘ආලෝකය දැකීම 2017 - විවරණ’

අද සිට තෙදිනක් කොළඹදී

‘ආලෝකය දැකීම 2017 - විවරණ’ සමස්තලංකා පාසල් ඡායාරූප තරගය, ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය අගෝස්තු 17 සහ 20 යන දෙදින තුළ කොළඹ 07, ජේ. ඩී.ඒ පෙරේරා කලාගාරයේදී පැවැත්වීමට Round Table Camera Club කටයුතු යොදා ඇත.

මෙහිදී පාසල් දරුවන් වෙනුවෙන් පැවැත්වෙන සම්මන්ත්‍රණය 19 වැනිදා පෙරවරු 8.30ට ආරම්භ වන අතර ත්‍යාග ප්‍රදානෝත්සවය පෙරවරු 11.00 සිට 12.00 දක්වා ද පැවැත්වෙන අතර ඡායාරූප ප්‍රදර්ශනය දහවල් 12.00ට ප්‍රවීන සිනමාරූපණ ශිල්පී එම්. ඩී මහින්දපාල ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

Round Table Camera Club විසින් ලෝක ඡායාරූප දිනය වෙනුවෙන් ‘ආලෝකය දැකීම’ තේමාව ඔස්සේ අධ්‍යාපනික වැඩසටහන් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙවර ඒ වෙනුවෙන් අනුග්‍රහය දක්වන්නේ

Institute of Multimedia Education, Herpetological Foundation of Sri Lanka, Camoron Trade Connections, Jeewa Education, Future World, Debug (Epson) ~ƒ State Pharmaceutical Corporation යන ආයතනයන් විසිනි.


සීමා නෑ ආකාසේ මේ මස අග

නිහාල් බණ්ඩාර විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ සීමා නෑ ආකාසේ සිනමාපටය මෙම මස අග සිට තිරගතවීම ආරම්භ වේ. පුබුදු චතුරංග, ධනංජි තාරුකා, සංගීතා තදානි, සංජුල දිවාරත්න, කේෂාන් ශෂින්ද්‍ර, කල්ප කැළුම්, ගයාන් හෙට්ටිආරච්චි, අරුණි මල්ලවාරච්චි මෙහි රංගන දායකත්වය සපයති. බුද්ධදාස විතානාච්චි සමඟ ශ්‍රියාණි අමරසේන මේ සඳහා අරාධිත රංගනයෙන් දායක විය. අයේෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරා අධ්‍යක්ෂවරයාය. දීප්ති මංගලසෝම කලා අධ්‍යක්ෂණයෙන් දායක විය. නලීන් ප්‍රේමරත්නගේ අංග රචනයකි. වර්ණ සංයෝජනය ප්‍රවීන් ජයරත්නගෙන්ය. සුනෙත් රසාංග සහාය අධ්‍යක්ෂවරයාය. සීමා නෑ ආකාසෙ සංගීත අධ්‍යක්ෂණය සංඛ රුවන්දිකගෙනි. ඉමේෂා මුතුකුමාරි, කෞෂික් මලින්ද, චමරි පෙරේරා සහ ඩිල්ෂාන් සමරසිංහගේ මියුරු ගැයුමෙන් හැඩවන සීමා නෑ ආකාසේ ඇක්ටිව් මෝෂන් පික්චර්ස් වෙනුවෙන් තිස්ස බාලසූරියගේ නිෂ්පාදනයකි. චිත්‍රපටයේ ප්‍රචාරක සැලසුම් නෙක්ස්ට් කණ්ඩායමෙනි.


කිරිඳිවැලට නව සිනමාහලක්

ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල ප්‍රදේශයට මෙතෙක් පැවති සිනමා ශාලාවක අඩුව නිම කරමින් නව සිනමා ශාලාවක් පසුගියදා ආරම්භ කෙරිණ. එය නම් කොට ඇත්තේ ඛ්.ම්. නමිනි. එහි කළමනාකරු ලෙස චරිත කේ. රාජකරුණා කටයුතු කරන අතර හීන හොයන සමනල්ලු චිත්‍රපටය තිරගත වීම සමඟින් සිනමා ශාලාව ආරම්භ විය.