වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




බොම්බාය මඟහැර සිනමාව සොයා ගියෙමි - අවසාන කොටස

බොම්බාය මඟහැර සිනමාව සොයා ගියෙමි - අවසාන කොටස

නාකි බල්ලන්ට අලුත් දේ

කියා දිය නොහැකි මුත්...

හතරවන සතියේ ආරම්භයටත් අපි පැමිණියෙමු. ඉහත සති මෙන් නොව හතරවන සතියේ ආරම්භය අලුත් එකක් විය. එමෙන්ම ජවසම්පන්න එකක් විය. ඉගෙනුම්කරණයෙහි ද යම් යම් විශේෂිතා විය. සෘජුවම සිනමාවේ නොවන මුත් ඒ පරිවාරයේ සිනමාව හා ගැටෙන අලුත් දේ ඉගෙනීමට අපට අවස්ථාව උදා විය.

සතියේ මුල් දින දේශනය යෙදී තිබුණේ අතිනාට්‍ය කලාව සහ ඉන්දියානු නවරැල්ලේ සිනමාව ගැනය. දේශනය බාර වූයේ මහාචාර්ය අයිරා භාස්කර් මැතිනියටය. ඇය පියකරු කාන්තාවක් වූවාය. දිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ සිනමා අධ්‍යයන අංශයේ මහාචාර්යවරියක් වන ඇය ඒ මොහොතේ ඉන්දීය චිත්‍රපට ආයතනයට ආවේ ඉමහත් කැමැත්තෙනි. භාස්කර් මැතිනිය ඉගැන්වීමට අතිශය දක්ෂකමක් තිබුණු තැනැත්තියකි. එමෙන්ම මා එතෙක් මෙතෙක් කාන්තාවක් විසින් කරන ලද ඉගැන්වීමකට එතරම් අවධානයක් දුන් ප්‍රථම අවස්්ථාව ද එය විය. එතරම්ම ඇගේ ශෛලිය ආකර්ෂණීයය.

අපට ලැබුණු තවත් අති දක්ෂ ගුරුවරයෙකු වූයේ මහාචාර්ය කේ. හරිහරන්ය. දෙමළ සිනමාව ඇතුළු විෂයන් කිහිපයක් එතුමන්ට බාර විය. තමන්ගේ විෂය ඉතාමත් සියුම් ලෙස සැකිලි ගත කරමින් උගන්වන මහාචාර්ය හරිහරන් මා මෙතෙක් දුටු මට හමු වූ හොඳම ගුරුවරයා යැයි කිව හැකිය. මහාචාර්ය හරිහරන් දිර්ඝ කලක් ඉන්දීය චිත්‍රපට ආයතනයේ සේවය කොට විශ්‍රාම ගත්තෙකි. මේ කාලයේ ඔහු තවත් ඉන්දීය විශ්වවිද්‍යාලයක සේවය කරමින් සිටී. එමෙන්ම චෙන්නායි හි එල්. වී. ප්‍රසාද් චිත්‍රපට ඇකඩමියේ ආරම්භකයා ලෙස ද ඔහුට විශාල ගරුත්වයක් හිමිව ඇත.

පෙර දිනක මා දිවා ආහාරය අනුභව කොට රාමතෙල් අරිමින් අපට පන්ති පැවැත් වූ පන්ති කාමර තියටරය වෙත පිය නැගුවේ මඳක් ප්‍රමාද වීලාය. ඒ වන විටත් රසවින්දන පාඨමාලාවේ අය මෙන්ම චිත්‍රපට ආයතනයේ විද්‍යාර්ථීන් ද කාමරයේ අහුමුලුවල සිටගෙන මෙන්ම හිඳ ගෙන ද සිටියෝය. ඒ වන විටත් හිඳ ගැනීමට ආසනයක් නොතිබූ හෙයින් මා හිට ගැනීමට මුල්ලක් සෙවීය. එවිට මා දුටුවේ එතරම් උස නැති වයෝවෘද්ධ මිනිසෙක් සංධ්වනියක් මෙහෙය වන ආකාරයෙන් දේශනයක් පවත්වන ආකාරයයි. මට ක්ෂණිකව සිහියට නැගුණේ ලංකාවේ අපේ ගිවන්ත අර්ථසාද් මහතාය. අර්ථසාද් මහතාගේ හැඩහුරුවට ගැළපෙන බඩි වර්ෂන් එකක් ලෙස එතුමන් මගේ හිතේ ඇඳුණි. මා මෙතෙක් දුටු ඉතාම ඉහළ ඉංග්‍රීසි වාග්කෝෂය සහිත ගුරුවරයා වූයේ ඔහුය. එමෙන්ම ඕනෑම වචන දහසක සාහිත්‍යයක් වචන දෙකකට තුනකට ලඝු කොට කා වැද්දීමට තරම් ඔහු දක්ෂයෙක්ය. එතුමන් නමින් සමර් නඛාතේ විය.

ඒ කෙසේ වෙතත් භාස්කර් මැතිනිය තමන්ගේ දේශන හමාර කොට සමුගන්නා මොහොතට පැමිණි විට ඒ වෙනුවෙන් ස්තූති කතාව කරන්නට බාර වූයේ චිත්‍රපට ආයතනයේ පර්යේෂණ නිලධාරී ආචාර්ය චන්ද්‍රසේකර් ජෝශි හටය. ජෝශි මහතා විසින් ඇයට තුති උපහාර පුද කොට අප වෙත පැවසුවේ පුදුම සහගත ආරංචියකි. අයිරා භාස්කර් යනු අප නැරඹූ 'අනර්කලි ඔෆ් ආරා' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූත් අප ආසා කළ ස්වරා භාස්කර්ගේ මෑණියන් බවය. ඉන් පසු පන්ති කාමර තියටරය තුළ ඇති වූ තත්ත්වය මට දැනුදු මතකයට නැඟේ. එක්වරම හුස්ම ඉහළට අදින 50 ක් 60 ක් දෙනාගේ සුසුම් හඬත් ඊට පසුව එන 'වාව්' හඬත් ඉන් පසුව එන අත්පොළසන් නාදයත් වායුසමනය කරන ලද පන්ති කාමර තියටරයේ වා තලයේ සිර වී කනට දැනුණේ කුණාටුවක් කන හරහා ගමන් කළ ආකාරයෙනි. එවෙලේ මට නම් සිතුණේ ස්වරාටවත් නොමැති ප්‍රසාදයක් අපේ අය තුළ භාස්කර් මැතිනියට ඇති බවය. එය එසේ විය යුතු යැයි සිතුණි.

අවසන් දිනයට පෙර අප සියල්ලන්ම පෙනී සිටිය යුතු ඡායාරූපයක් විය.ඒ අපගේ 2017 කණ්ඩායමේ සමූහ ඡායාරූපයයි. එම ආරංචිය ලැබුණු පසු එදින කාන්තාවන් සියල්ලම පාහේ හොඳින් හැඳ පැලඳ ඇවිත් තිබුණි. එය හරියට සිල්ක් මෝස්තර ප්‍රදර්ශනයක් වාගේය. ගැහැනුන් කෙසේ වෙතත් ඒ මෝස්තර නම් සිත් ගන්නා සුලුය. නමුත් තරුණ කොල්ලන් පිරිස බහුතරය ඊට හාත්පසින්ම වෙනස්ය. වෙනදා අඳින පලඳින රබර් සෙරප්පු, කොට කලිසම්, ඩෙනිම් එදා ඒ ආකාරයෙන්ම විය. මේ වෙනස දුටු පීඨාධිපති අමිත් ත්‍යාගි විමසුවේ 'මොකද මේ කට්ටිය විකට ඇඳුම් තරඟයකට යන්නද සූදානම' යනුවෙනි. අවසානයේ අපූරු ඡායාරූපයක්ද ගැනුණි.

මම පූනේ හි 'පිටකොටුව' වෙත යාමට ද අමතක නොකළෙමි. එනම් පූනේ හි ප්‍රධාන වෙළෙඳපොළේ සවාරියකි. ඒ සඳහා මට විශාල සහයක් දුන්නේ සප්තිකාය. ඇයට දෙමළ හැරෙන්නට වෙනත් ඉන්දියානු භාෂා ගැන අවබෝධයක් නැත. නමුත් වෙළෙන්දන්ට හෙට්ටු කිරීමට ඇයට විශේෂ උපන් හැකියාවක් තිබුණි. වෙළෙන්දන් මරාටියෙන් ගණන් කියන විට සප්තිකා දෙමළෙන් හෙට්ටු කරයි. ඇත්තෙන්ම ඒ දර්ශනය බලා සිටීමට තරම් වටිනා විනෝදජනක එකකි.

කෙසේ වුවත් සප්තිකා මට අත්කර දුන් ලාබ නම් ඇත්තටම සුළුපටු නොවේ. සප්තිකා හැරෙන්නට චෙන්නායි සිට පැමිණි මට හිතවත් වූ තවත් දෙදෙනෙක් විය. එකෙකු වූයේ විෂාල් මෙනන්ය. අනෙකා දිවාකර්. දිවාකර් මෙන්ම විෂාල් ද ඊට පෙර ලංකාවට පැමිණි දෙදෙනෙකි. ඇත්තෙන්ම මටත් වඩා ලංකාව ගැන ක්‍රියාශීලීම ප්‍රකාශකයා වූයේ දිවාකර්ය. දිවාකර් සෑම අතින්ම ලංකාව පිළිබඳව තෘප්තියට පත්ව සිටියේය. ඔහු කණ්ඩායමේ බොහෝ දෙනාට ලංකාවේ ආකර්ෂණය ගැන කියා ඔවුන් ලංකාවට වසඟ කෙරුවේය.

එමෙන්ම ඔහු ලැවරියාවලට ප්‍රිය කළේය. බොහෝ විට අප දෙදෙනා කතාබස් කරන විට අපට වැඩියෙන්ම විහිළු කළේ අප මිත්‍ර කේෂව් අයින්ගර්ය. දිවාකර් හා මා කතාබස් කරන හැම විටකම වාගේ 'අහාහ් . . . ඊළම් ඊළම්' යනුවෙන් පවසන ඔහු මහ හඬින් සිනාසෙයි. එමෙන්ම දිවාකර් චිත්‍රපටයක් නිසා නමක් පටබැඳ ගත් අයෙකි. එක්තරා සංවාදයකදී ඔහු කමල් හසන් රඟපෑ 'මහානදී' චිත්‍රපටය ඉහළින් වර්ණනා කළ නිසා ඔහු එතැන් පටන් 'මහානදී' ලෙස නම් විය. ඇත්තෙන්ම ඔහු දිවාකර් බව දන්නේ කිහිප දෙනෙකු පමණි. මහානදී එතරම්ම ජනප්‍රිය විය.

අපගේ අවසාන දිනයේ නිඛිල් ගෝර්පද්කර් සමඟ ගමන් ගන්නේ පූනේ හි සුප්‍රසිද්ධ ගුඩ්ලක් කැෆේ වෙතය. ඒ සන්ධ්‍යා සමුගැනීමේ උත්සවයට පෙර දවල් භෝජනය සඳහාය. ගුඩ්ලක් හි ඇති විශේෂයක් මට නම් නැත. බොරැල්ලේ උපවංශය හෝ මරදානේ බුහාරියේ ඊටත් වඩා රස කෑම ඇත. අපි පිටතින් ලුණු දැමූ දෙහි යුෂ වීදුරුවක් ද විටමින් කූරක් ද පානය කොට සංරක්ෂණාගාර ශ්‍රවණාගාරයට ආවේ ඒ අවසන් උත්සවයටයි. ජාතික සංරක්ෂණාගාරයේ අධ්‍යක්ෂවරයා, චිත්‍රපට ආයතනයේ අධ්‍යක්ෂවරයා සේම ආරාධිත අමුත්තියකුත් ඒ සමුගැනීමේ උත්සවයට සහභාගි වුණි. පිඨාධිපති ත්‍යාගි මහතා මෙවර ප්‍රගතිය සමාලෝචනය කළේය. එමෙන්ම ඔහු හරි අපූරු අනාවරණයක් කළේය.

'මට ලැබී තිබූ අයදුම්පත්‍ර වලින් එක් අයදුම්පතක් විශේෂ වුණා. ඔහුට වයස 70 ක්. ඔහු නමින් වසන්ත් තක්කර්. බොම්බායේ කෙනෙක්. ඔහුගේ අයදුම් පත්‍රයේ එක තැනක මෙහෙම ලියලා තිබුණා. 'නාකි බල්ලන්ට අලුත් දේ ඉගැන්විය නොහැකි මුත් යම් කිසි පොඩි දෙයක් හෝ අවබෝධ කොට දිය හැකියි’ කියලා'. ඇත්තෙන්ම වසන්ත් තක්කර් මහතා අප සමඟ සිටියේය. ශ්‍රවණාගාරය දෙවනත් වන තරමට අත්පොළසන් නාදයක් ඇසුණි. එමෙන්ම මහාචාර්ය රබින්ද්‍රනාත් එදා කිහිලිකරු මතින් පැමිණ සිටියේය.

එදින සන්ධ්‍යාවේ අප අපගේ ආදරණීය සමුගැනීම ශාන්තාරාම පොකුණ අසළ සිද්ධ කළෙමු. මම රාත්‍රියේ මගේ මිතුරන්ගෙන් සමුගැනීමට ඔවුන්ගේ කාමරවලට ගියෙමි. මාගේ හිතවත් සුමිහිරි පාන හා පුෂ්ප කණ්ඩායම එකම කාමරයක රැස්ව සමුගැන්ම සමරමින් සිටියෝය. පුදුමයක මහත නම් පානයෙන් පසු දේශපාලන න්‍යායාචාර්යවරුන් වන මගේ හිතවත් හේමන්ත් ෂර්මා හා අමිත්වා සෙන් ගුප්තා එකම කාමරයක විසූවන් බව මම දැනගැනීමයි. මම පැමිණ තිබුණේ ඔවුන්ගේ කාමරය වෙතටයි. ඒ උදේ පාන්දරකි.

මා අනිත් පැත්තට සූදානම් වූයේ අජන්තා ගල් ගුහා සංකීර්ණය නැරඹීමට යාමටයි. එය දිර්ඝ ගමනකි. ඔබ මහාරාෂ්ට්‍රයට පැමිණෙන්නේ නම් අමතක නොකළ යුතු ස්ථානයකි අජන්තා ගුහා සංකීර්ණය. එය යුනෙස්කෝ ලෝක උරුමයකි. මා බොම්බායෙන් නැවතත් කොළඹට එන්නට ආවෙමි. ඒ එතරම්ම හිතකින් නොවන බවත් කිව යුතුය. මා නැවතත් කියන්නේ පූනේ හි මේ අධ්‍යාපන වරම ගැනීමට www.nfai.gov.in  වෙබ් ලිපිනය සමඟ යාවත්කාලීනව සිටිය යුතුය. තවත් සිනමාව ගැන අධ්‍යාපන වරම් ඇතොත් ඒ ගැන සරසවියෙන් පැවසීමට ඔබට පොරොන්දු වෙමින් මම සමුගනිමි.