වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




දැනුමෙන් ගයමු

දැනුමෙන් ගයමු

වසර හතරක් තිස්සේ සෑම මසකම හතරවැනි සෙනසුරාදා තමන්ගේ අතින් වියදම් කරගෙන ප්‍රසංගයක් පවත්වන එකම කෙනා සහන් රන්වල වෙන්න ඇති. අපේකම් මතු පරපුර වෙත ගෙන යන රන්වල පුරපුරේ පෙර මඟ පෙන්වන්නා වන ඔහු මෙලෙස සංවිධානය කරන ප්‍රසංගයක නම තමයි 'ගයමු'. මෙවර ගයමු පැවැත් වෙන්නේ විසි හය වැනි සෙනසුරදා සවස කොළඹ නිදහස් චතුරස්‍රයේදී. මේ ප්‍රසංගය සඳහා තේමාවක් ද නම් කොට තිබෙනවා. පෙර ප්‍රසංග සඳහා නම් තේමා තිබුණේ නැහැ. නමුත් සහන් කල්පනා කළාලු මෙවර ගයමු තේමාවක් යටතේ පවත්වන්න. හන්තාන පරිසරය සහ සරසවි ප්‍රේමය අන්තර්ගත වූ නිර්මාණවලින් තමයි මේ ගයමු ප්‍රසංගය සමන්විත වන්නේ. ගයමු ආරම්භය පිටුපස අපූරු කතාවක් තියෙනවා. 2013 වසරේ එක්තරා දිනයකදී සහන් තම නවක ශිෂ්‍යයන් කිහිප දෙනකුගෙන් අහලා තියෙනවා අපගේ ජ්‍යෙෂ්ඨ ගායක ගායිකාවන් ගැන. කවුරුවත් ඔවුන් ගැන දන්නේ නැහැලු. සහන්ට මහත් වූ සංවේගයක් සහ කේන්තියක් ඇති වෙලා තියෙනවා. ඊළඟ දවසේ ගෙදර ඉන්න ඔක්කොම කට්ටියව රැගෙන ශිෂ්‍යයන්ට බණ්ඩාරනායක සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ ඇති කමතට එන්න කිව්වලු. ඊට පස්සේ පැරැණි ගී අඩංගු කළ පොත්පිංචක් අච්චු ගහලා පැමිණ සිටි පිරිස සමග එම ගීත ගයන්නට පටන් ගත්තලු. එහෙමයි ගයමු ආරම්භ වී තිබෙන්නේ. එතැන් පටන් මාසයේ හතරවැනි සෙනසුරාදා ගයමු පැවැත් වුණා. පැරැණි සුභාවිත ගීතයන්හි පිටුපස ඇති සුන්දර කතා ආරාධිතයකු ද ගෙන්වා රස විඳින ගමන් ගයමු ප්‍රසංගය පැවැත්වෙනවා.