වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර සඳහා නවතම අංකයක්

ප්‍රතිචාර සඳහා නවතම අංකයක්

0728384283

තරුණ ක්ලීටස්

තවමත් තරුණ පෙනුමක් තරුණ ජවයක් ඇති සටන් ජවනිකාවල රඟපාන කඩවසම් නළුවකු ලෙස පෙනෙන ක්ලීටස් මෙන්ඩිස්ගේ රැඟුම් අගෙයි. ඔබ චිරාත් කාලයක් සවියෙන් ශක්තියෙන් නිරෝගිව සිට රඟපෑම් කිරීමට සියලු දෙවි දේවතාවුන්ගේ වරම් ලැබේවා.

මැණිකේ විල්වල
තිලකරත්න විල්වල
තටාකය පාර
කෑගල්ල

රිදී ටිවී වෙත

රිදී ටිවී, තිස්ස නාගොඩවිතාන, ඩයලොග් සමාගම සමඟින් ප්‍රේක්ෂක අපට සිංහල චිත්‍රපට පෙන්නවා. එහෙත් අද පෙන්වන චිත්‍රපටය නැවත පසු දින උදය වරුවේදීත් නැවතත් දෙදිනකට පසුවත් විකාශය කිරීම නම් කනගාටුවට කරුණනකි. සිංහල චිත්‍රපට සීමා සහිත නම් පැරණි හින්දි චිත්‍රපට විකාශය කරන්නට කටයුතු යොදනු මැන.

ආතර් ජයකොඩි
රියෝ සිනමා
කොම්පඤ්ඤ වීදිය
කොළඹ 02

ලස්සන කෙල්ල ගීතා කුමාරසිංහ

ලස්සන කෙල්ල චිත්‍රපටයෙන් සිනමා ගමන ආරම්භ කළ ඔබ අද වනතුරු සිංහල සිනමාවේ කළ රංගනයන් අගෙයි. පසුගියදා දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ දිනා ලස්සන කෙල්ල අදත් ලස්සන බව ඔප්පු කළා.

එස්. සායගම්
මාවලවත්ත
උඩපේරාදෙණිය

එදා නිවැරදි තේරීම

පැරණි ටෙලි නාට්‍ය විකාශය කිරීම පිළිබඳ රිදී ටීවි සහ හිට් ටීවි වෙත අපේ ප්‍රණාමය. එදා එම ටෙලි නාට්‍යවල තරුණ චරිත වෙනුවෙන් රංගනයෙන් දායක වූ නළු නිළියන් අද ටෙලි නිර්මාණවල වැඩිහිටි චරිතවලට පණ පොවනවා. එදා නිර්මාණ වෙනුවෙන් චරිත නිරූපණය සඳහා දක්ෂ නළු නිළියන් තෝරා ගන්න අධ්‍යක්ෂවරුන් සමත් වී ඇති බව එයි තහවුරු කෙරෙනවා.

කේ. ඩී. කේ කරුණාරත්න
ඇන්ඩර්සන් පාර
නැදිමාල
දෙහිවල

විජය නන්දසිරි ඔබට උපහාර වේවා

වේදිකාව, පුංචි තිරය සහ සිනමාව යන භූමිකාවන් ත්‍රිත්වයේම එක සේ දිග්විජය කළ හාස්‍යයෙන්, ගාම්භීර හඬින් අප පිනවූ, නාඩගම්, තාත්වික, ශෛලිගත තෙවැදෑරුම් සම්ප්‍රදායේ දස්කම් පෑ විජය නන්දසිරි කලාකරුවාණෙනි ඔබ නමට උපහාරයක් වේවා.

පුරා අවුරුදු විසිහතක් තුළ
මනමෙ කුමරුට දුන් ජීවය
කරළියෙන් ඔබ සැඟවිලා ගොස්
පුරා අවුරුද්දක්ම ගත විය
පුදා බැතිමල් සිහි කරන්නෙමි
මැතිඳුනේ ඔබේ ගුණ කදම්බය
සදා නොමැකෙන නමක් තැබු ඔබ
අපේ හද තුළ ජීවමානය

එස්. ඒ ප්‍රේමලතා
රුක්ගහතොටුපොල
බණ්ඩාරගම

අමරණීය විජය නාමය

විජය නන්දසිරි නම් වූ විශිෂ්ට රංගවේදියා මිය ගොස් වසරක් ගත වීය. තවමත් ඔහුගේ රුව හඬ අප අභියස මැවි මැවී පෙනෙනවා සේය. ඔහු නොමැති වේදිකාව, රිදී තිරය, රූපවාහිනිය තවමත් පාළුවෙන් පිරී ඇත. විජය නන්දසිරි නාමය අමරණීය යි.

කල්‍යාණ ජයනෙත්ති
මැටරඹ
උණවටුන

කේ. ගුණරත්නම් නාමය

පැරණි චිත්‍රපට වැඩිම සංඛ්‍යාවක් නිෂ්පාදනය කළ කේ. ගුණරත්නම් නාමය සිංහල සිනමාවේ අමතක කළ නොහැකි සදාතනික නාමයක් වේ. සුජාතා, රදළ පිළිරුව, වන මෝහිනි, සූරයා, සංදේශය, ධීවරයෝ, චණ්ඩියා, සුර චෞරයා, අල්ලපු ගෙදර, ඔබ දුටු දා, අප්සරා, ආත්ම පූජා, ඒ අතරින් කිහිපයකි. කේ ගුණරත්නම් නාමය සිංහල සිනමාවේ රිදී ඉරකි. එතුමන් සිහිපත් කිරීම කලා ලැදි කාගේත් වගකීමකි.

ඩබ්ලිව්. චන්ද්‍රකාන්ති
දළුගම
කැළණිය

සදා අමරණීය ප්‍රේමකීර්ති

ප්‍රවීණ ගීත රචක, නිවේදක, මාධ්‍යවේදී ප්‍රේමකිර්ති ද අල්විස් සදා අමරණීය යි.

අතුල රම්‍යසිරි
පානදුර

දේදුන්නෙන් ආ සමනලිය

දේදුන්නෙන් ආ සමනලියක් සිනමා පටයෙන් අප හමුවට ආ පුංචි ශ්‍රී දේවිය දිල්හානි අශෝකමාලා එදා වාණිජ සිනමාවේ ප්‍රබල චරිතයකි. එසේම විකට චිත්‍රපට රැල්ලේ ද ඇයගේ රංගනයන් කැපී පෙනුණි. පසු කලෙක සිංහල සිනමාවේ චරිතාංග රංගන දක්ෂතා පෙන්වූ ඇය ධර්ම යුද්ධය චිත්‍රපටයෙන් යළිත් දැක ගන්නට ලැබීම සතුටකි.

ආනන්ද වික්‍රමආරච්චි
ඉහළතල්දූව

එදා ඔවුන් නොවන්නට අද

වර්තමානයේ සිංහල සිනමාවට යම් තැනක් තිබේ නම් එයට උරදුන් පැරණි නළු නිළියන්ට ප්‍රමුඛ ස්ථානයක් අනිවාර්යයෙන්ම හිමිවිය යුතුව ඇත. එදා ඔවුන්ගේ කැප වීම නොවන්නට අද අපට සිංහල සිනමාවක් නොවන්නට ඉඩ තිබුණි.

ගාමිණි මහවෙලගේ
පිළියන්දල

සිනමාවට සවිය සුනිල්

සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩිම චිත්‍රපට ගණනක් නිෂ්පාදනය කරමින් සිනමා කර්මාන්තයට සුවිශේෂි යුග මෙහෙවරක් ඉටු කරන සුනිල් ටී. ප්‍රනාන්දු සිනමාවේ ගමන් මඟට සවියක් වූ නිෂ්පාදකයෙකි. එදා මෙදාතුර වැඩිම චිත්‍රපට ගණනක් නිෂ්පාදනය කර ඇති එකම නිෂ්පාදකයා වන්නේද ඔහු ය. සිනමාවේ ගමන් මඟට සුනිල්ගෙන් සේවාව අනභිබවනීය යි. ඔබට සදා ජය.

එච්. ඉන්ද්‍රපාල
ශ්‍රී සංඝමිත්තා මැවත
මුංහේන

සැබෑ දුෂ්ඨයා

විල්සන් කරුණාරත්න සිංහල සිනමාවේ චිත්‍රපට රාශියක සැබෑ දුෂ්ඨයාගේ චරිතය ඉතාම තාත්විකව ඉදිරිපත් කරන නළුවෙකි.

ජගත් චන්ද්‍රසිරි
පූජා ජගත්සිරි
මීරිගම පස්යාල

හේමරිසිරි හල්පිට

ප්‍රබුද්ධ ලේබලය නම ඉදිරියේ නොඇලවුණ ගුණේ අයියාගේ කාමරේ බජව් දාන අපට නම් ඔබ ප්‍රබුද්ධයෙකි.

බී. ස්ටැන්ලි ප්‍රනාන්දු
කිරිපත්ගොඩ
කැළණිය

නිළි රැජන මාලිනිය

සිනමාවට පිවිසයෙ ඈ පුංචි බබෙක් විලසින්
සිතුවද කවුරු හෝ ඇය වේ යැයි
හෙළ සිනමා නිධානය
පතාක යෝධයකු හා සිනමාවේ එක්ව
රැඟුවද මුල් රැඟුම
අප හට නොතේරුණේ
ඔබ එහි රඟන්නේ මුල් රැඟමද කියා
හැත්තෑව දශකයේ සූරයන් හට
වැඩිපුර පෙම් බැන්ද
යුගයක් එයිද නැවතත් ඒ යුගය වගේ
අසෙනා විටදී එකල ගී
දෙසවනට අපේ
සිත දිව යනවා එම යුගයට ඉබේටම
තිරයේ ඔබ ගයා රඟනාවිටදී
නැහැ අමතක වෙන්නේ කිසිදාක
සුජාතා, ලතා, ඇන්ජි
හඬ දුන්නා ඔබේ චරිතයට
ඔබෙ රූ සපුව නම් එලෙසයි තවම
හෙල සිනමාවේ පිනටයි ඔබ
පහළ වුණේ සිරිලක
චිරං ජයතු
ඔබහට නිළි රැජණියේ

ඩී. කේ. කේ. ඈපාසිංහ
ගොරකපිටිය
පිළියන්දල

සිනමාවේ සංවේදි චරිත

හිත හොඳ මිනිහෙක් - ගාමිණි ෆොන්සේකා
හිතේ දුකක් නැති මිනිහා - සොමී රත්නායක
හිත හොඳ කොල්ලා - ජීවන් කුමාරතුංග
දුප්පතාගේ හිතවතා - බැප්ටිස්ට් ප්‍රනාන්දු
රත්තරන් අම්මා - ශ්‍රියාණි අමරසේන
මාතර ආච්චි - දෙනවක හාමිණේ
හිතත් හොඳයි වැඩත් හොඳයි - රවීන්ද්‍ර රන්දෙණිය
හොඳීන් නැත්නම් නරකින් - සනත් ගුණතිලක
සත්‍ය - මාලිනි ෆොන්සේකා
ඔබට දිව්රා කියන්නම් - අනෝජා වීරසිංහ

ඊ. දයානන්ද ද සිල්වා
සීනිගම
හික්කඩුව

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සැමරුම

පේරාදෙණිය සරසවියේ මහ ඇදුරු වූවා
මනමේ බිහි කරමින් වේදිකාවෙ දස්කම් පෑවා
56 සංස්කෘතික විප්ලවයේ නියමුවා වූවා
විශ්‍රාමික යුගයේ ලේක්හවුස් උපදේශක වූවා

1996 අගෝස්තු 16 වැනි දින අපෙන් සමුගත් එදිරිවීර රෙජිනෝල්ඩ් සරච්චන්ද්‍ර කලාකරුවාණන්ගේ 21 වැනි ගුණ සැමරුම වෙනුවෙනි.

ඩඩ්ලි ගෝමස්
කටුබැද්ද
මොරටුව

සදා දිළෙන චාන්දනීය

චාන්දනී සෙනෙවිරත්න තරු අතරේ දිළෙනවා
සෝමලතා ගුරුතුමියට නමස්කාර කරනවා
ශාන්ත පෝල් මිලාගිරියෙ නම තවමත් කියනවා
විකෘති නාටකයෙන් ඇය මුල් අත් පොත් තබනවා

ලක් දෙරණෙන් පිටරටවල චාන්දනී දිළෙනවා
හොඳම දක්ෂ නිළිය ලෙසින් සම්මානත් ලබනවා
කරුණාගති වලින් සපිරි ඇයහට සුබ පතනවා
කෙතරම් දස්කම් තිබුණත් අහංකාර නොවනවා

උපතින් ආ හැකියාවක් ඇයට හිමිව තිබෙන්නේ
පිටිසර ගම්මාන සමඟ නගර චරිත කරන්නේ
මිනිස්කමින් ගති ගුණයෙන් ඉහළයි ඇය සිටින්නේ
දිනෙන් දිනම බැබළි බැබළි චාන්දනිය දිළෙන්නේ

ආර්. ඒ. සෝමා රණසිංහ

ජෝති ප්‍රණාම

කවුරුත් කොහොම කීවත් ඔබ නමට හිමී
තැන එහෙමමයි කිසි දවසක නොවන නිමී
නිරතුරු ඇසෙන ඔබගේ ගී ගඟුලෙ කිමී
ගී සක්විතිට මේ කවි මල් කළඹ දෙමී

විශ්වය පුරා විහිදෙන නැතුවට නිති
මැදුරෙත් පැලෙත් ඇසෙනා ගානේ විති
කඳුළෙන් වුවත් ලැබදෙන සැනසුම ප්‍රීති
සමරමු සදාකල් හදවත රන් ජෝති

නන්දා මාම්පිටිය
පොත්නේගම
අනුරාධපුර