වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




විමෝදාත්මක සිනමාවේ හෙට දවස

විමෝදාත්මක සිනමාවේ හෙට දවස

ලෝකයට සිනමාව පැමිණියේ විනෝදාස්වාදය සඳහාය. නිහඬ චිත්‍රපට යුගයේදී චාලි චැප්ලීන්ගේ චලනයන් තුළින් මිනිසුන් ලැබුවේ උපරිම විනෝදයයි. ඒ අතරට චැප්ලින් සංවේදී සිදුවීම් පවා ඇතුළත් කළ ද, බොහෝ අය චැප්ලින්ව නැරඹීමට පැමිණියේ බඩ අල්ලා සිනාසී විමෝද වන්නටය. එහෙයින් සිනමාවේ මූලික හරය වුයේ විනෝදාස්වාදය ලබා ගැනීමය.

ලංකාව තුළ ද මුලිකත්වය ලැබෙනුයේ විනෝදාස්වාදය පෙරදැරි කරගත් සිනමාපටයන්ටය. කාලයෙන් කාලයට ඉදිරිපත් කෙරෙන, ක්‍රමය වෙනස් වුව ද, අවසානයේදී ප්‍රේක්ෂකයන්ට ලැබිය යුත්තේ ද විනෝදාස්වාදයයි.

ලාංකේය සිනමාවට කෙළින්ම බලපෑවේ ඉන්දීය සිනමාවය. එහෙයින් එහි තිබූ පෙම්වතා, පෙම්වතිය, දුෂ්ටයා, විකටයා, සිංදු, නැටුම්, සටන් යන සම්ප්‍රදායික වට්ටෝරු චරිත රැස අප සිනමාව තුළට ද රිංගා, එය සදාතනික විය. පෙම්වතා, පෙම්වතිය සිටින විට දුෂ්ටයා නොසිටියහොත් ඒ චිත්‍රපටය නොබලන තත්ත්වයකට වැටෙන්න තරම් අප මානසිකත්වය හැදී තිබුණි. ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ දුප්පත් රටක බහුතරය සිනමාපටයක් බැලීමට ගියේ එයින් හෝ වින්දනයක් ලැබීමටය. 1950 ගණන් සිට අද දක්වාම විනෝදාත්මක සිනමාව දෝලනය වනුයේ එම වට්ටෝරු අංග මතය. එය දමිළ සිනමාව වේවා, හින්දි සිනමාව වේවා සිංහල සිනමාව වේවා කතාන්තරය ගෙතුණේ එලෙසය.

මොන තරම් කලාත්මක චිත්‍රපට පසුපස දිව්වද අප දෙපා නවතින්නේ විනෝදාත්මක සිනමාව ළඟය. පුරාජේරුවට අප ඒවාට බැන්නත්, හදවතින් අප විනෝද වන්නේ එවන් චිත්‍රපට නරඹමින්ය. ඒ විනෝදාත්මක සිනමාව තුළින් අපට කෙලෙසකවත් මිදෙන්නට නොහැකි නිසාය.

එය ඉංග්‍රීසි වේවා, හින්දි වේවා, දමිළ වේවා නොඑසේ නම් සිංහල වේවා සතුට දනවන චිත්‍රපට බැලීමට අප ප්‍රිය කරයි. පළමුව විනෝදාත්මක චිත්‍රපට ද, දෙවනුව කලාත්මක චිත්‍රපට ලෙස ද අප ඉබේටම අප විසින් නරඹන චිත්‍රපට වර්ගීකරණය කෙරෙනු ලැබේ. ඒ කලාත්මක චිත්‍රපටවලට වඩා, විනෝදාත්මක චිත්‍රපටවලට අප ප්‍රිය කරන නිසාය.

ලෝකයේ සිනමාපට නරඹන්නන්ගෙන් බහුතරයකගේ කැමැත්ත විනෝදාත්මක චිත්‍රපටවලටය. එහෙයින් විනෝදාත්මක චිත්‍රපට යනු ිසිනමා ක්ෂේත්‍රය පවත්වාගෙන යෑමට දෙන ඔක්සිජන් යැයි කිවහොත් වැරැදි නැත.

එදා ලංකාවේ බොහෝ චිත්‍රපට විනෝදාස්වාදය නොඅඩුව ගෙන දුනි. ඒවා යථාර්ථවාදී නොවුණ ද, එහි හොඳ රසයක් තිබුණි. ගී, නැටුම්, සටන් යන වට්ටෝරු ක්‍රමය තිබුණ ද, පවුල් පිටින් ගොස් නරඹන්නට ආශා කළේ එවැනි චිත්‍රපටය.

ප්‍රධාන නිළියට කුමක් හෝ අකටයුත්තක් සිදු වුවහොත් අපේ අම්මලා හඬයි. කුඩා අප ද අම්මලා හඬනවාදැයි හොරෙන් බලා, ඔවුන් ඇත්තටම හඬනවා නම් අපිත් හඬයි. බොහෝ විට තාත්තලා චිත්‍රපට බලන්නට යන්නේ නැත. එහෙයින් චිත්‍රපටය බලා නිවසට ගිය පසු අම්මලත් අක්කලත් හැඬූ හැටිත්, ඒ නිසා අපත් හැඬු බවත් තාත්තලාට කී විට අප සිතන්නේ තාත්තලා ද හඬනු ඇත කියාය.

එහෙත් තාත්තලා කියන්නේ ‘උඹලා ඔක්කෝටම පිස්සු’ කියාය. ඒවා හරි සුන්දර සිදුවීම්ය. ඒ අත්දැකීම් අප ලැබුවේත්, අර විනෝදාත්මක චිත්‍රපට නැරැඹූ නිසාය. එහෙත් දැන් තත්ත්වය වෙනස්ය. එය එසේ වෙනස් විය යුතුමය.

60 දශකය 60 දශකයට අයත් දෙයකි. එලෙස හැම දශකයක්ම ඒ ඒ දශකවලට අනුරූපිත ඒවාය. දැන් 2017 වර්ෂයයි. එයට සාපේක්ෂව බලන විට නම් ලාංකේය විනෝදාත්මක සිනමාව තිබෙන්නේ එතරම් හොඳ තැනක නොවේ.

තවමත් 60 - 70 දශක තුළ තිබෙන යල්පැන ගිය රූපමය රාමු එලෙසම ඇතුළත් කර ඇත. වෙනසකට ඇත්තේ වෙනස් නළු නිළියන් යෙදවීමය. ගැලරි මානසිකත්වයෙන් චිත්‍රපට නිර්මාණය කරන අය තවමත් ඇත. අප කාලය අනුව වෙනස් විය යුතුය.

1960 දශකය මැද භාගයේ සිඩ්නි පොයිටර් කියා නළුවෙකු හොලිවුඩ් චිත්‍රපටවල රඟපෑවේය. ඔහු කළු ජාතික නළුවෙකි. එහෙත් ඔහු ඔස්කාර් සම්මානලාභී අති දක්ෂ රංගධාරියෙකි. ඔහු මෙල්ල කළ නොහැකි සිසුන් පිරිසක් සිටින පාසැලක ගුරුවරයෙක් ලෙස අපූරු වූද සම්මානනීය වූද රංගනයක් ඉදිරිපත් කළ ලොව වඩාත්ම කථාබහට ලක් වූ චිත්‍රපටයක රඟපෑවේය. ඒ ‘ටු සර් විත් ලව්’ නම් චිත්‍රපටයයි.

ඔහුගේ තවත් විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් වූ ‘ගෙස් හූ කම් ටු ඩිනර්’ ද ලංකාවේ ප්‍රදර්ශනය විය. ඔහුව පිළිගැනුයේ සම්භාව්‍ය රංග ශිල්පියෙකු ලෙසටය. ඉතාමත් විශිෂ්ට ගණයේ චිත්‍රපට ගණනාවක රඟපෑ ඔහු හඳුන්වනු ලැබුවේ ලොව ශ්‍රේෂ්ඨතම රංගධරයකු ලෙසය. 1980 දශකයේ මැද භාගයේදී ඔහු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය.

මේ ලොව ශ්‍රේෂ්ඨ එමෙන් සම්භාව්‍ය රංග ශිල්පියා තම චිත්‍රපටයට තෝරා ගත් තේමාව වූයේ එවකට පිබිදී ආ තාරුණ්‍යයත් එලෙසම මයිකල් ජැක්සන්ගේ උන්මාදනීය රැගුම් රටා වූ බ්‍රේක්ඩාන්ස්, ස්ට්‍රීට් ඩාන්ස් ශෛලිය අනුගමනය කළ භද්‍ර යෞවනයේ පසුවන තරුණයන්ගේ කථාවකි. සිඩ්නි පොයිටියර් ඒ වන විට වයසින් මුහුකුරා ගොස් තිබුණ ද ඔහු 80 දශකයේ තාරුණ්‍යය හඳුනාගෙන තිබුණි. ඔහුට අවශ්‍ය වූයේ විනෝදාත්මක චිත්‍රපටයක් කිරීමටය.

ඔහු තරුණයන් දෙදෙනකු හා තරුණියන් හතර දෙනකු ඇමරිකන් උසස් අධ්‍යාපනයක නිරත කළේ චිත්‍රපටයට අලුත් තේමාවක් එකතු කිරීමටය. නියමිත කාලය අවසන් කරන්නට ඔවුන් ඔවුන්ගේ විය හියදම් සපුරා ගත්තේ සමාජ ශාලා, ආපන ශාලාවල රැඟුම් රඟමිනි.

අවසානයේ ඔවුන් එහි තිබූ නැටුම් සංදර්ශනයකින් ද ප්‍රථම ස්ථානය දිනා ගනී. සිඩ්නි පොයිටියර් එවකට ජනප්‍රිය වී තිබූ බ්‍රේක් සහ ස්ට්‍රීට් නැටුම් ශෛලිය මෙයට එකතු කර ගනී. චිත්‍රපටය පුරාම තිබුණේ නැටුම්ය. එහෙත් ඒ නැටුම් සියල්ලම වෘත්තීය මට්ටමේ නැටුම් විය.

මෙය ‘ෆාස්ට් ෆොර්වර්ඩ්’ ලෙස තිරයට පැමිණියේය. ලොව ඉතාමත් විනෝදාත්මක චිත්‍රපටයක් ලෙස මෙය හැඳින්විය හැක. මා මෙය හුවා දැක් වූයේ අප ද තාරුණ්‍ය පෙරදැරි කරගෙන විමෝදාත්මක චිත්‍රපට සෑදිය යුතු බව පෙන්වීමටය. එහෙත් ඒවා නව තේමාවන් උඩ නිර්මාණය විය යුතුය.

එකල නැටුම් කියා කීවේ එක් දෙයකි. ප්‍රධාන නිළිය ඉතාමත් වේගයෙන් ගීතයක් ගයමින් මල් වත්තක හෝ මුහුදු වෙරළක දුවයි. ඒ දිවීමට සාපේක්ෂ වේගයකින් නළුවා ද දිවිය යුතුය. ඔහු ටිකක් හෝ පමා වුණා නම් ඔහුට නිළියව අල්වා ගැන්මට නොහැකි වනු ඇත.

ඇතැම් විට නිළියත් නළුවාත් දිවීමෙන් පසු නටමින් ගී ගයයි. ඔවුන්ගේ නැටුම් හරි සරලය. අතක් කකුලක් වම් අතට හරවා ඉස්සුවොත් යළිත් එය දකුණු අතටත් හරවා උස්සන බව ප්‍රේක්ෂකයා අත්දැකීමෙන් දනී. එහෙත් එකල එවැනි ජවනිකාවල කිසියම් චමත්කාරයක් තිබුණි. නමුත් කාලයත් සමඟ ඒවා වාත්තීමය තත්ත්වයකට පත්වේ. අද ලොව නැටුම් කලාව ඇත්තේ ඉතාමත් උසස් තත්ත්වයෙනි. ලංකාවේ ද චිත්‍රපට නැටුම් ජවනිකා උසස් ප්‍රමිතියකින් ඇත.

අද පූජා උමාශංකර් මල්ගස් වටේ හැටට හැටේ දුවන්නේ ද, රොෂාන් රණවන ද ඒ පසුපස හැටට හැටේ එලවන්නේ ද නැත. ඒ වෙනුවට ඔවුන් ක්‍රමානුකූලව නැටුමක් ඉදිරිපත් කරයි. අද හතර දෙනාම සූරයෝ මුල් චිත්‍රපටය හැර, නව චිත්‍රපටය නැරැඹීමට කවුරුත් කැමති නැත. තුෂාරා මුල් චිත්‍රපටය හැර නව චිත්‍රපටය නැරැඹීමට කිසිවෙක් කැමති නැත. අප ඒවා තේරුම් ගත යුතුය.

උදයකාන්ත වර්ණසූරිය මෙම තත්ත්වය හරි හැටි වටහාගෙන සිටින අධ්‍යක්ෂවරයෙකි. විනෝදාත්මක සිනමාව යළි ඇති කළ යුත්තේ කෙසේ ද යනු ඔහු ඔහුගේ ‘සිරි පොද වැස්ස’, ‘චැලෙන්ජර්ස්’, ‘රෝස වසන්තය’, ‘ආසයි මං පියාඹන්න’, ‘කොස්තාපල් පුණ්‍යසෝම’ වැනි චිත්‍රපට තුළින් පෙන්වා දුනි.

ඉන්පසු යුගයට ගැළපෙන විනෝදාත්මක චිත්‍රපට කීපයක් මෙලෙස පැමිණියේය. ‘අංජලිකා’, ‘සුපර් සික්ස්’, ‘ප්‍රවේගය’, ‘සුවඳ දුනුණා ජීවිතේ’, ‘සමනල සංධ්වනි’, ‘සිකුරු හතේ’, ‘ආදරණීය කථාවක්’, ‘කිංග් හන්තර්’, ‘සුහද කොකා’, ‘වන් ෂොට් වන්’, ‘රන් කෙවිට’, ‘බහුභූතයෝ’, ‘ගින්දරී’, ‘සරිගම’, ‘ඇඩ්‍රස් නැහැ’ වැනි චිත්‍රපට තුළ යම් තරමක විනෝදාස්වාදයක් ප්‍රේක්ෂකයාට ලැබුණි.

අද ප්‍රේක්ෂක මනස වෙනස්ය. ඒ වෙනසට ගැළපෙන ලෙස විනෝදාත්මක සිනමාව ද වෙනස් වේ. මෑතකදී තිරගත කළ ‘මායා’ චිත්‍රපටය ද විනෝදාත්මක සිනමාවට අයත් වූවෙකි. එයට ප්‍රේක්ෂකයාගේ ප්‍රතිචාර ද ඉමහත්ය. මා ඉහත සඳහන් කළ හැම චිත්‍රපටයක්ම ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳ ගති. ආදායම් අතින් ද අති සාර්ථක විය.

මේ හැම චිත්‍රපටයකම සුන්දර මියුරු ගීත තිබුණි. ‘නීල නිම්නයේ’ (හිරිපොද වැස්ස) ‘පායනා සඳපාන කාගේ’ (අංජලිකා), ‘සමනල් හැඟුමන්’ (ආසයි මං පියාඹන්න), ‘රොන් සුවඳ දෙන මල්’ (සුවඳ දැනුණා ජීවිතේ), ‘සමනලයනි පාට පාට’(සරිගම), ‘රැය පිබිදී තරු ද දිලුනි’ (සුපර් සික්ස්) ‘සිහිලැල් වූ‘ (ප්‍රවේගය) ‘කොන්ක්‍රිට් වනන්තරේ’ (බහුබූතයෝ) ‘මේ බජාර් එකට මල්ලි‘ (එඩ්‍රස් නැහැ) ‘ඉකි ගසා හඬන’ (සමනල සංධ්වනි) වැනි ගීත ඉතාමත් ජනප්‍රිය විය.

රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, නදීක ගුරුගේ, භාතිය සන්තුෂ්, මහේෂ් දෙනිපිටිය, දර්ශන රුවන් දිසානායක වැනි දක්ෂ සංගීත අධ්‍යක්ෂවරුන් විනෝදාත්මක සිනමාවට අද යුගයට ඔබින ගී තනු ලබා දෙන්නට සිටින අතර ශිහාන් මිහිරංග, උරේෂා රවිහාරි, නිරෝෂා විරාජිනී, දුමාල් වර්ණකුලසූරිය, සුරේන්ද්‍ර පෙරේරා, අමිල නදීෂානි, භාතිය සන්තුෂ්, උමාරියා සිංහවංශ, රුවන් හෙට්ටිආරච්චි, භාවි සුශාන් වැන්නන්ගේ හඬ විනෝදාත්මක සිනමාවට ගායනයෙන් සහාය වන්නට සිටිනු ඇත.

අද යුගයට ගැළපෙන නළු නිළියන් රැසක් අප සතුව ඇත. එලෙස දක්ෂ විකට නළු නිළියන් ද, හොඳ තරුණ ජවයෙන් පිරි සටන් නළුවන් ද සිටින විට, බොක්ස් ඔෆිස් වර්තා තබන්නට හැකි විනෝදාස්වාද චිත්‍රපට තැනීම අපහසුවක් නොවේ.

අප නව විනෝදාත්මක සිනමාවේ මා දකින අනෙක් අඩුව නම් දිගුකල් වීරයෝ බිහි නොකිරීමය. හොලිවුඩ් හි එක් කලෙක හැරී කැලැහාන් බිහි විය. එයින් ‘ඩර්ටි හැරී’ වෘත්තාන්තය බිහි විය. ‘බොන්ඩ්’ බිහි විය. රම්බෝ, රොකී, කරාටේ කිඩ්, ස්පෛඩර් මෑන් වැනි දිගුකාලීන වීර චරිත බිහි කළෝය.

එකල අපේ ද ‘සූරයා’ වීර චරිතයක් වී ගාමිණී ෆොන්සේකා පමණක් යොදා ‘සූරයන්ගෙත් සූරයා’, ‘එදත් සුරයා අදත් සූරයා’, ‘සූරයා සූරයාමයි’ බිහි කළේය. ඉන්පසු එසේ දිගුකාලීන වීරයෝ බිහි වුයේ නැත. දර්ශන් ධර්මරාජ් වැනි නළුවෙකු යොදවා ටර්මිනේටර් වැනි දිගුකාලීන චරිතයක් හරහා චිත්‍රපට කීපයක් කරන්නේ නම් එය විනෝදාත්මක සිනමාවට නැවුම් අත්දැකීමක් දේවි.

අප ළග තිබෙන සම්පත් තුළින් අද තිබෙන නව තාක්ෂණයත් යොදවා ගනිමින් දින සීය නොව දින දෙසීය හෝ ප්‍රදර්ශනය විමට, බොක්ස් ඔෆිස් වර්තා තැබීමට හැකි හොඳ විනෝදාස්වාදය ලැබෙන චිත්‍රපට කිරීමට හැකිය.

එවිට අප චිත්‍රපට ශාලා ඉතිරී යනු ඇත. චිත්‍රපට සාර්ථක වන්නේ නම් ඇති තරම් නිෂ්පාදකයන් සොයාගෙන එනු නිසැකය. අවශ්‍ය වන්නේ නිසි සැලසුමක් පමණි. එලෙස සැලසුම් සහගතව කළහොත් ලාංකේය සිනමා කර්මාන්තය දියුණුවෙන් දියුණුවට පත්වීම කිසිවෙකුටත් නැවැත්විය නොහැකිය.